[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

මෙවර ජයග්‍රාහී කවිය

මෙහෙණ සස්න

දෙදහස් දහ නවය වසර ද නිම වෙනවා
වසරේ අවසන් පුන් පෝ දිනය වුණා
උඳු වපුරන මස උඳුවප් නම් කෙරුණා
උඳුවප් පුර පසළොස්වක සඳ නැගුණා

පෑතිස් රජ ඇරයුම වී අනු බුදු අවසර ලැබුණා
සඟමිත් තෙරණිය සමඟින් තෙරණි පිරිස වැඩම වුණා
අනුලාවන් ඇතුළු පිරිස පැවිදි බිමට පත් කෙරුණා
උඳුවප් පුන් පෝ දිනයේ මෙහෙණි සස්න ඇරැඹුණා

****

සඟමිත් රහත් මෙහෙණිය

සංඝමිත්තා රහත් මෙහෙණින්
සිරි ලංකා ධරණී තලයේ
අනුරපුර හා මිහින්තලයට
වැඩම කළ උඳුවප් දිනේ
මහත් වූ බැති හරසරින් ඒ
උතුම් මෙහෙවර සමරමු
ජය මහ බෝධී දක්ෂිණ ශාඛා
වැඩමෙව්වා වැඩමෙව්වා

දරමිටි පෝයේ ආරම්භය වූ
උතුම් උඳුවප් පෝය සමරමු
අනුලා දේවිය කුල කතුන් හා
පැවිදි කරවා හෙළ බිමේ
මෙහෙණ සස්නක් පිහිටුවා ලූ
උතුම් පෝ දින සමරමු

****

භව ගමන

මතු පිටින් පෙනෙන දේ
උපාදානය කර ගනී
සැපත සතුටට මුළා වී
භවය දිගුකර ගනී
නොනිමි මෙම ගමනට
මහඟු පිළිසරණ බුදුදම
කුසල් අකුසල් මනසින්
නිසි හඳුනාගන්න
අකුසල් නොකරන්න
කුසල් කරන්න

****

ගතට වඩා සිත හදන්න

මත් වෙන විටදි භෞතික සැප සම්පත්
වෙත නොම ඇලී වැඩියෙන් සිටිනට හැකි නම්
උත්සාහයෙන් ලද දෙයකින් තුටු වෙන්නත්
හැකිනම් දිවි මඟේ ඔහු අපරාජිතයෙක්

ගැට ඇති දර කැබැල්ලකි ගත සිත නොමැතී
ඇවිලෙනු නොමැත ළිප තුළදිත් දර එවැනී
එනිසා ගතට වැඩියෙන් සිත වඩා නිති
මරණෙට මුහුණ දෙන්නා ලොව දිනයි නිති

****

යොවුන් දිවිය

රහමෙර පානයෙහි කිසිවිට නොගැලෙන්න
කේළම බොරුව වංචාවෙන් දුරුවෙන්න
ඉසි කෝ මද මාන සිතිවිලි බිඳ ලන්න
හොඳ දේ නොහොඳ දේ මැනවින් දැන ගන්න

ඉගෙනුම දෙසට සිත එඩිතර කර ගන්න
වැඩිහිටි උදවියගෙ ඔවදන් පිළිගන්න
සම්බුදු දහම තුළ සැමවිට කිමිදෙන්න
යහපත් අනාගතයක දොර ඇරගන්න

****

සංසාර ගමන

ලෝභය තරහ වෛරය සිත දරාගෙන
ජීවය රැගෙන යන ධර්මය පිටු දකින
නීතිය නැතුව අවනීතිය රජ කරන
නිරය තමයි ඒ අය යන එකම තැන

දහමට සිත යොමා කරමින් හොඳ නිතින
අවැඩට පිට යොමා නිවැරැදි දේ දකින
කරනට උතුම් දේ බුදු බණ හැදින ගෙන
නිවනට යන්න පාලම ගොඩ නගනු මැන

****

උඳුවප් පොහොය

දම්සෝ රජ දූ කුමරිය
සඟ මිත්තා මහ තෙරණිය
අප දිවයින වෙත පැමිණිය
ගෙනෙමින් සිරි මහ බෝධිය

මහ මෙව්නා රජ උයනේ
බෝධිය රෝපිත කෙරුණේ
උඳුවප් මස පොහොය දිනේ
සාධු නාදෙ පැතිරෙන්නේ

****

සාංඝික දානය

ලස්සන පුංචි මඩුවක් තනවා ගෙමැද්දේ
මුතු කුඩ උසුලුවා ඒ මත දෙපැත්තේ
රන්වන් බුබුලු දැල්වෙනවා ඒ මැද්දේ
බුදුන් වැඩිය සේ දැනෙනව ගේ පැත්තේ

මහ පින්කමකි අප සැමදෙන කර ගත්තේ
අට පිරිකර සහිත පිරිකර පුද කර ඇත්තේ
ගෙන යන කිසිත් නැති බව අප දැන ගත්තේ
කළ පින් දහම පමණයි ඉතිරිව ඇත්තේ

****

දුමින්දාගමනය

සඟමිත් තෙරණියෝ මෙරටට වැඩි මොහොතේ
ජය ශ්‍රී මහ බෝ සමිඳු මෙරටට වැඩමෙව් මොහොතේ
මේ පින් බිමෙහි එය රෝපණ කළ මොහොතේ
මුළු ලක් දෙරණ පින් බර විය ඒ මොහොතේ

දුමින්දාගමනය මෙරටේ සිදු වන්නේ
ශ්‍රී මහා බෝ සමිඳු වැඩමව ගනිමින්නේ
මෙහෙණී සස්නෙ ලක් දිව තුළ පිහිටන්නේ
උඳුවප් මහේ පසළොස්වක පෝය දිනේ

****

දම්සක් පැවතුම

දුකින් බර වූ භවයේ ඉරණම
පිළිපැදිය යුතු දිවියේ ඇවතුම
දෙසූ දහම් කඳ සසර මඟ නිම
ඉසිපතන ඉම මිගදාය බිම

සියලු සැප දී කයක් සැනසුම
මහා දුකක් විඳ සිතින් ඉවැසුම
පලක් නොමැතිය මැද ය විසඳුම
අරි අටගි මඟ ලෙසට පැවසුම

****

ඇයිදැයි මන්දා...

මව් පිය දෙපෙළ මහලුයි අසරණ වීලා
දරුවන් වෙතට ගියෙ කෑමක් දෙයිද බලා
කා බී ඉවර බව කීවා මුහුණ බලා
එන්නට හැරුනෙ ආපහු හිඟමනක් බලා

දරුවන් මොටද ඔය වගෙ හැදුණේ මන්දා
මව් පියො ගුණ නොදන්නේ ඇයි දැයි මන්දා
දීමෙන් ලෝබෙ නැති වෙන බව වෙයි පහදා
පවුලේ සැවොම එක් වී දන් දෙමු නිබඳා

****

සැනසෙන්න

ගෙවී ගියා පොසොන් පොහොය වැදගත් බව පෙන්නා
මිහිඳු හිමයෝ දෙසූ දහම ලක්බිම පවතින්නා
උඳුවප් පුර පොහොය දවස ටික ටික ලං වෙන්නා
සඟමිත් තෙරණින් වැඩි බව දැන් සිහියට එන්නා

අනුරපුරේ මහ මෙවුනා උයනට ඔබ යන්න
මිහිඳු හිමියො සිහි කරමින් බුදු හිමි නම දින්න
සඟමිත් තෙරණිය නැමදා සිත සනසා ගන්න
සිරිමාබෝ සමිඳු වැඳලා නිවනින් සැන සෙන්න

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 18 වන දා බදාදා අපර භාග 11.30 ට ලබයි. 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 19 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය දෙසැම්බර් 25 වන දා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]