[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 48: අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ

අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

" ධාතුසේන රජතුමා විසින් කරවන ලද සුවිසල් කලා වැව ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික සංවර්ධනයට, විශේෂයෙන් කෘෂිකාර්මික දියුණුවට බලවත් ම සාධකය විය. එපමණක් නොව ප්‍රදේශයේ අධික උෂ්ණත්වය අඩුකර ජනතාවගේ ජීවිතයට සහනයක් ද එයින් ලැබුණි."

අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ හා මාලිගාවිල විශාලතම හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉතා ප්‍රකට ය. එහෙත් බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙනමගේ වෙනස නම් අවුකන බුදු පිළිමය පිහිටි ගලට බද්ධ වී තිබීම ය. මාලිගාවිල බුදු පිළිමය වටේටම නෙළා ඇත.

රාජ වර්ෂ (ක්‍රි.ව) පස් වන සියවසේ දෙවන භාගය වනතුරු රාජ්‍යය කළ ධාතුසේන රජතුමා විසින් කරවන ලද සුවිසල් කලා වැව ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික සංවර්ධනයට, විශේෂයෙන් කෘෂිකාර්මික දියුණුවට බලවත් ම සාධකය විය. එපමණක් නොව ප්‍රදේශයේ අධික උෂ්ණත්වය අඩුකර ජනතාවගේ ජීවිතයට සහනයක් ද එයින් ලැබුණි. මෙරට බොහෝ ස්ථානයන් හි දක්නට ලැබෙන වැවයි දාගැබයි වෙනුවට කලා වැවේ අපට දක්නට ලැබෙන්නේ වැවයි, බුද්ධ ප්‍රතිමා වහන්සේ ය. දාගැබ හා බුදු පිළිමය මිනිසුන්ගේ ආධ්‍යාත්මික දියුණුවත්, වැව ලෞකික දියුණුවත් සංකේතවත් කරයි. සිංහල බෞද්ධ සංස්කෘතියේ සුසංයෝගයට විශේෂ තැනක් හිමි වී තිබේ. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා අවුකන බුදු පිළිමය මහාවංසයේ සඳහන් වන 'කාල සේල' බුදු පිළිමය ලෙස හඳුනා ගනී. ඔහු තම මතය සනාථ කිරීම සඳහා සාධක කීපයක් ගෙන හැර දක්වයි. පිළිමය තිබෙන භූමිය 18 වන සියවසේ දී ලේඛනවල ‘කලා ගල් විහාරය’ ලෙස සඳහන් වීම එයින් එක් සාධකයකි. කලාගල් යන්න කාල සේල වූ බවයි ඔහුගේ පිළිගැනීම. සිංහල ලේඛනවල ධාතුසේන රජු හැඳින්වෙන්නේ ‘දාසෙන් කැලිය’ යනුවෙනි. මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා මෙහි සඳහන් වන කැලිය යන්න ධාතුසේන රජු සඳහා යොදන ලද්දක් බව පෙන්වා දෙයි. මෙයින් ඔහු උත්සාහ කරන්නේ අවුකන විහාරය ධාතුසේන රජු විසින් කරවන ලද බව ප්‍රකාශ කිරීමට යි. මෙම පිළිමය ද ධාතුසේන රජුගේ කාලයට අයත් බව ඔහුගේ පිළිගැනීම යි.

අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ කාල නිර්ණය ගැන විවිධ උගතුන් අතර, විවිධ මත පවතී. ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා පුරාවිද්‍යා කොමසාරිස්වරයා වශයෙන් කටයුතු කළ 1949 අවුකන බුදුපිළිමය රාජවර්ෂ (ක්‍රි.ව.) පස් වන සියවසේ අග භාගයට අයත් බව ප්‍රකාශ කර තිබුණි. ඊට පසුව 1952 දී අවුකන පිළිමගෙයි නැගෙනහිර බිත්තියේ සවිකර තිබී හමු වූ ශිලා ලේඛනය අටවන සියවසට අයත් වන බව ඔහු විසින් පිළිගෙන තිබේ. මේ ශිලා ලිපිය හමුවීමෙන් පසුව ද, ඔහු බුදු පිළිමයේ කාලය රාජ වර්ෂ (ක්‍රි.ව.) පස් වන ශත වර්ෂයේ අග භාගය ලෙස තවදුරටත් ප්‍රකාශ කරයි. එහි ද ඔහු මෙම බුද්ධ ප්‍රතිමාව සඳහා සාදන ලද පිළිම ගෙය (ප්‍රතිමාඝරය) අටවන සියවසට අයත් බව පිළිගනී. පුරාණ ශ්‍රී ලංකාවේ කලාව දියුණුව පැවතුණේ ක්‍රි.ව. 3, 4, 5 යන ශත වර්ෂවල බවත්, අනුරාධපුර යුගයේ අග භාගය අඳුරු යුගයක් බවත් පරණවිතාන මහතාගේ අදහස ය. ඔහුගේ ප්‍රකාශයෙන් අපට පවසන්නේ ක්‍රි.ව. 8, 9, 10 ශත වර්ෂවල මෙවැනි නිර්මාණ කිරීමට හැකියාව නොතිබුණු බව ය.

(අවුකන බුදු පිළිමය - මහාචාර්ය චන්ද්‍රා වික්‍රම ගමගේ පි. 3 - 4 - 2004)

පිළිමයේ ලක්ෂණ

ශිලාමය පද්ම පීඨයක නෙළා ඇති මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ උසින් අඩි 38 අඟල් 10 කි. පිළිමය වටේට නෙළා ඇතත්, එහි පිටුපස ඇති කුඩා ගල් තීරුවකින් පිහිටි ගලට සම්බන්ධ වී ඇත. ප්‍රධාන වශයෙන් ම මෙම පිළිමයේ දක්නට ලැබෙන ලක්ෂණය වන්නේ ඒකාංශ පාරුපනයෙන් යුතු රැළි සහිත චීවරයත්, වම් අතින් එය දරා සිටින ආකාරය සහ දකුණු අතින් අභය මුද්‍රාව පෙන්වා තිබීමත් ය. බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂය මුදුණේ සිරස්පතක් ද ඇත. මෙය පසු කලෙක සවි කරන ලද්දක් බව ද පැහැදිලි ය. මේ සිරස්පත බුද්ධ ප්‍රතිමාවෙන් ගැලවී බිම වැටී තිබී සොයා ගන්නා ලද්දේ 1870 වර්ෂයේ දී ය. බුදු පිළිමය සඳහා උෂ්ණිෂයක් දක්නට නොලැබෙන නමුදු සිරස හා සිරස්පත එකතු කරන තැන උෂ්ණිෂයක් සේ දක්වා තිබේ. හිසෙහි වූ දක්ෂිණාවෘත කෙහෙරැළි ක්‍රමානුකූලව පිහිටා තිබේ. බුදු පිළිමයේ මුහුණේ ලක්ෂණ බොහෝ විට එහි ඇති උදාරත්වය පිළිබිඹු කරන්නට ගත් උත්සාහයක් වැනි ය. එහෙත් ඒ තුළින් ඊට හිමිවන කලාත්මක ස්වභාවය බැහැර වී ගොස් ඇත. සිහින් ඇහිබැමි, දිගටි ඇස්, ඝණ දෙතොල, පළල් නළල හා දැඩි ගෙලත්, විශාල දෙකන් යුගලත් එහි ගාම්භීර බව තවත් තීව්‍ර කරවයි. බුදු පිළිමයේ සිවුරේ රැළි එකිනෙකට සමාන්තර ව ගලා වැටෙන සේ නිරූපණය කර ඇත. ඒකාංශ කර පොරවා ඇති සිවුරේ රැළි ඉතා තීව්‍ර ආකාරයට මතුකර ඇත. මෙය අමරාවතී ශෛලියේ චීවරයට බොහෝ සෙයින් සමාන වන නමුදු එතරම් දළ වූවක් නොවේ. බුදු පිළිමයේ සිවුර විනිවිද පෙනෙන ආකාරයට සකස් කර ඇත. උදර බන්ධනය සහ යටි උදරය යාන්තමින් පිටතට නෙරා තිබේ. අන්තරාවාසකයෙහි පහළ කොටස චීවරයට වැඩියෙන් පහළට දිග්ව ඇති අතර, පිළිමයේ දෙකකුල් පිහිටා ඇත්තේ ද එකිනෙකට ආසන්නව ය. අවුකන බුදු පිළිමය ඉතා හොඳින් නිමා කරන ලද මූර්තියක් වේ. එහි වූ ශරීරාංගවල බරපතළකම හැරුණුවිට කඩවසම් බව හා විශාලත්වය නිසාම උදාර බවක් පෙන්වයි. මෙම බුදු පිළිමයේ මහා පුරුෂ ලක්ෂණ නිරූපණය කර ඇති අතර පුරාණ ශිල්ප ශාස්ත්‍රවලට අනුව නියමාකාරයෙන් නෙළා ඇති බව පැහැදිලි ය.

(ලක්දිව බුද්ධ ප්‍රතිමා - මහාචාර්ය මාලිංග අමරසිංහ පි. 108 - 109 - 2017 දයාවංශ ජයකොඩි සහ සමාගම)

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 18 වන දා බදාදා අපර භාග 11.30 ට ලබයි. 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 19 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය දෙසැම්බර් 25 වන දා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]