[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහින්දාගමනය දුමින්දාගමනය හා උඳුවප් උදාව

මහින්දාගමනය දුමින්දාගමනය හා උඳුවප් උදාව

මෙම ලිපියෙහි පළමු කොටස උඳුවප් පුර පසළොස්වක පෝදා පත්‍රයේ පළවිය.

අරිට්ඨ කුමරු ඇතුළුව පනස් පස් දෙනෙකු පැවිදි ව නොබෝ කලකින් ම දෙවනපෑතිස් නිරිඳුන්ගේ ඇමතියෙක් තවත් පන්සියයක් පමණ පිරිසක් සමඟ පැවිදි වූ හ.

එසේම දෙවනපෑතිස් රජුගේ ම සොහොයුරෙකු වන අභය කුමාරයා සමඟ දහසක් පමණ දෙනා ද , චේතාපි, මිහරවිජ, දොරමඬුලු, ගල්පිටිය, උපතිස්ස යන නමින් හැඳින්වෙන අය සමඟ පන්සියයක් බැගින් ද, මහණවීම තුළ අනුරපුර යුගයේ මුල්කාලීනව ම කෙතරම් භික්ෂු ප්‍රජාවක් ලංකාව තුළ නිර්මාණය වී ඇද්ද යන්න වටහා ගැනීමට පුළුවන. භික්ෂු සමාජයේ වර්ධනය මෙලෙසින් සිදුවන අතරතුර සංඝමිත්තා මෙහෙණිය විසින් ශ්‍රී මහා බෝධිය වැඩමවා ගෙන ලක්දිවට පැමිණීමත් සමගින් භික්ෂුණී ශාසනය ලංකාව තුළ බිහිවීම අනුලා බිසව ඇතුළු පන්සියයක් කතුන්ගේ ප්‍රවෘජ්‍යාව නිසා සිදු විය. මහින්දාගමනය ලක්දිවට ඓතිහාසික ම ය සංසිද්ධියක් වූවා සේ ම, දුමින්දාගමනය ද ඓතිහාසික සංසිද්ධියක් බවට ප්‍රවර්තනය වී ඇත. මන්ද අනුරාධපුරයෙන් ඔබ්බට බුදුදහමේ පණිවුඩය ගලායන්නේ දුමින්දාගමනයත් සමගින් වීම නිසාවෙනි.

මිහිඳු මා හිමියන්ගේ උපදෙස් මත ක්‍රියා කළ දෙවනපෑතිස් රජු ශ්‍රී මහා බෝධිරෝපණය සඳහා උතුර දකුණ යා කරමින් ජනපද අධිපතියන් කැඳවීමට කටයුතු සම්පාදනය කළේ ය. ඒ අනුව කතරගම ක්ෂත්‍රීය යෝ ද, චන්දන ග්‍රාමයේ ක්ෂත්‍රීය යෝ ද, තිවංක බමුණා ප්‍රධාන ජනයා ද මහා බෝධිරෝපණය සඳහා අනුරාධපුරයට පැමිණියහ.

මහා බෝධි රෝපණයෙන් පසුව හටගත් අෂ්ටඵලරුහ බෝධි අංකුර උතුරේ දඹකොළ පටුනේ ද, දකුණේ කතරගම ද, තිවංක බමුණු ගම ද, චන්දන ග්‍රාමයේ ද, රෝපණය කරවී ය. ඉනික්බිතිව ජනිත වූ දෙතිස්ඵලරුහ බෝ පැළ දිවයිනේ තන්හි තන්හි රෝපණය කරන ලදී. මෙලෙසින් මහා බෝධිය පදනම් කරගත් සංස්කෘතියක් දීප ව්‍යාප්තව පැතිරීම නිසාවෙන් බුදු දහමේ පණිවුඩය ඒ ඒ දෙසට ව්‍යාප්තවීමත් සමගින් සංඝ සංස්ථාවේ ස්ථාවරත්වයක් ඒ දෙස ඇතිවීමට මනා පිටුවහලක් විය. බෝධිමූල සංස්කෘතියක් යටතේ ලංකාවේ සිව්දෙස, මහා විහාරය කේන්ද්‍ර කොටගත් ථේරීය භික්ෂු සම්ප්‍රදාය පැතිරී ගිය බව පෙනේ.

දෙවනපෑතිස් රජු දවසම සංඝ සංස්ථාවේ ශීඝ්‍ර සංවර්ධනයක් ඇති වූ නිසාවෙන් සෑගිරිය හා මහා විහාරය හැර තවත් විහාරාරාම කිහිපයක් ඉදිකිරීමට එතුමාට සිදුව ඇති බව පෙනෙයි. ඉසුරුමත් කුලයන්ගෙන් පැවිදිවූවන් සඳහා ඉසුරුමුණිය ද, වෛශ්‍ය කුලයෙන් පැවිදිවූවන් සඳහා වෙස්සගිරිය ද නිර්මාණය කිරීමට දෙවනපෑතිස් නිරිඳුන්ට සිදුවිය. එපමණක් නොව උතුරු සහ දකුණු ප්‍රදේශය නියෝජනය වන ආකාරයෙන් දඹකොළ පටුනේ විහාරයක් ද, දකුණේ තිස්සමහාරාමය ද මෙතුමා විසින්ම සුසැදි බවට වංසකතා සාක්ෂි දරයි. තවද අනුරපුර මධ්‍යයේ මහාපාලි දානශාලා නමින් භික්ෂූන්ගේ පොදු පරිහරණය සඳහා දැවැන්ත දාන ශාලාවක් ද සාදවා ඇත. මෙකී කරුණු තුළ පූර්වයෙන් ස්මරණිත අදහසේ සැබෑව කුමක්දැයි මනාව වැටහෙනු ඇත.

දෙවනපෑතිස් රජුගෙන් පසුව රජවන උත්තිය, මහාසිව, සුරතිස්ස යන රජවරු සසුනට ඉමහත් සේවයක් කරමින් දෙවනපෑතිස් දවසේ ඇති කළ සංස්කෘතික ප්‍රබෝධය ඉදිරියට ගෙනයෑමට කටයුතු කළහ. ඉනික්බිතිව ලංකා රාජ්‍ය අල්ලා ගත් සේන ගුත්තික යන වෙළෙඳ දෙබෑයෝ ද, ශ්‍රී ලාංකේය සංස්කෘතික සීමා ඉක්මවා කටයුතු නොකළහ. අනතුරුව රජවන අසේල කුමරු මරා රජවන එළාර රජු ද, ධාර්මික පිළිවෙත් මත හිඳිමින් හතළිස් වසරක් රාජ්‍ය තන්ත්‍රය මෙහෙයවන ලද බව වංසකතා අවධාරණය කරන නමුදු මෙකී වකවානුවේ අනුරපුර සංඝ සමාජය පිළිබඳ ඓතිහාසික ම ය දත්තයන්ගේ ඌණතාවක් පෙන්නුම් කරනු ලැබ ඇත. මෙකල අනුරපුර රාජ්‍ය කේන්ද්‍රය විදේශ කේන්ද්‍රීය ව පැවති නිසා ලාංකේය රාජ්‍ය කේන්ද්‍රය දක්ෂිණාවර්තය තුළින් ගොඩනැගෙනු හඳුනාගත හැකි ය. දෙවනපෑතිස් රජුගේ සිට දුටුගැමුණු දක්වා වූ මෙම කාල පරාසය තුළදී යාපනය ප්‍රදේශය හැරුණු කොට අභිලේඛනමය සාක්ෂි මගින් තහවුරු කොට ගෙන ඇති පරිදි ලංකාවේ සෙසු ප්‍රදේශවල ප්‍රාදේශීය පාලකයන් ස්වකීය බලප්‍රදේශයන් තුළ ලෙන් පිහිටුවමින් භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය පහසුකම් සපයාදීම හරහා සංඝ සංස්ථාවේ පැහැදිලි වර්ධනයක් ලංකාව පුරා සිදුව ඇති බැව් වටහාගත හැකි ය.

අනුරාධපුර රාජධානිය ඉක්මවා ශ්‍රී ලාංකේය ඉතිහාස කතනය දකුණට විතැන්වීමේ දී එහි භික්ෂු සමාජයේ පැතිරීම පිළිබඳ නිවැරැදි අදහසක් පුරාවිද්‍යාත්මක හා සාහිත්‍යමය මූලාශ්‍රයන් තුළින් ලබාගැන්මට හැකියාව ලැබේ. අනුරාධපුර රාජ්‍යත්වයේ ආධිපත්‍යය දකුණට රැගෙන යන දෙවනපෑතිස් රජුගේ සහෝදරයකු වන මහානාග දකුණේ වෙහෙර විහාර රැසක් ඉදිකරවී ය. මෙම ඉදිකිරීම් සිදුකිරීමට මත්තෙහි පටන් දකුණේ බෞද්ධාභාෂය ලද බවට තොරතුරු සඳහන් වන නිසා නම් සඳහන් නොවුණ ද මහාවිහාරීය පරපුරේ සංඝ සංස්ථාවක් දකුණේ සංවර්ධනයට පත්ව තිබීම නිසා මහානාගයන්ට තම ආධිපත්‍යය දකුණුලක පතුරුවාලීමටත් බුදුදහමේ මූලිකත්වය නිසා එය පහසුවන්නටත් ඇත. මහානාග, යටාලතිස්ස, ගෝඨාභය හා කාවන්තිස්ස යන රජුන් සංඝ සංස්ථා අභිවර්ධනයට කරන ලද සේවාවන් පිළිබඳ පූර්ණ විස්තරයක් ධාතුවංසය තුළින් ලබාගත හැකි ය. මෙකී කාල පරාසය තුළ දකුණේ තිස්සමහාරාම විහාරය, සිතුල්පව්ව, කතරගම, කිරිවෙහෙර ප්‍රධානතම භික්ෂු මධ්‍යස්ථාන ලෙසින් පැවති බව පෙනේ.

අප ඉහතින් ද සඳහන් කළ ආකාරයට උඳුවප් පොහෝ දින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්දිවට වැඩම කරවීම වඩාත් සංවිධානාත්මක වූ ද, සංවිධිත වූ ද ක්‍රියාවලියකි. “බෝධි” යනු අවබෝධය යි. බුදුන් වහන්සේට අවබෝධය පිණිස දායක වූ වෘක්ෂ බෝධි නමින් හැඳින්වේ. එය වෘක්ෂය අස්වත්ථ හෙවත් ඇසතු වෘක්ෂයයි. බෝධි වන්දනය හුදු වෘක්ෂ වන්දනයක් පමණක් නොවේ. එම බුදුරදුන් ද අනුදැන වදාළ කරුණකි. බුද්ධත්වයෙන් දෙවන සතියේ දී පුරා දින හතක් උන්වහන්සේ ඇසි පිය නොහෙලා බෝධීන් වහන්සේ දෙස බලා සිටිමින් ලොවට ප්‍රදර්ශනය කරන ලද්දේ කෘතඥතා ධර්මය පමණක් නොවේ. බෝධීන් වහන්සේ වෙත දැක්විය යුතු ගෞරවය යි.

දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයට අනුව සැදැහැවතුන්ට දැක වැඳ පුදා ගැනීමෙන් සගමොක් සුව ලබාගත හැකි ස්ථාන හතරකි.

* තථාගතයන් වහන්සේ උපන් ස්ථානය

* බුද්ධත්වය ලැබූ ස්ථානය

* ධර්ම චක්‍රය පැවැත් වූ ස්ථානය

* පිරිනිවන් පෑ ස්ථානය

මෙහි දෙවැන්න ගයාවේ පිහිටි ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩසිටින ස්ථානය යි. එසේම බෝසතුන් හා එකම දවසේ උපන් සහජාත වස්තු හතක් පිළිබඳව බුද්ධ වංසට්ඨ කතාවේ සඳහන් වේ.

* බෝධිය

* යශෝධරා දේවිය

* ඡන්න ඇමති

* කාළුදායි ඇමති

* කන්ථක අශ්වයා

* අජානේය අශ්වයා

සතර මහා නිධාන යනුවෙනි. බුදුන් වහන්සේ ද බෝධීන් වහන්සේ පූජාර්හ වස්තුවකි යි සලකා ඇති බවට තවත් බොහෝ සාක්ෂ්‍ය ත්‍රිපිටකයෙන් හා ඓතිහාසික වාර්තාවන්ගෙන් පැහැදිලි වුවද මෙහිලා ඒ සියල්ලක් සඳහන් කිරීම යෝග්‍ය නොවේ.

සමස්තයක් ලෙස බෝධීන් වහන්සේ පිළිබඳ ඉතිහාසය ප්‍රධාන අංශ තුනක් ඔස්සේ විකාශනය වේ.

* ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ

* ආනන්ද බෝධීන් වහන්සේ

* ලක්දිව බෝධීන් වහන්සේ යනුවෙනි.

ඒ අතුරින් අපට මෙහිදී ඉතා වැදගත් වන්නේ ලක්දිව බෝධීන් වහන්සේ පිළිබඳ කථාවයි. මහින්දාගමනයෙන් මෙරට ඇති වූ සමාජ සංස්කෘතික හා ආගමික විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස දඹදිව වැඩසිටි බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කෙරුණි. මහමෙවුනා උයන පුජා කිරීමේ උත්සවයේ දී අනුලා බිසව ප්‍රධාන කාන්තා පිරිස පැවිද්ද ඉල්ලා සිටීමෙන් පසු එම කාර්යය ඉටු කරගැනීම සඳහා සංඝමිත්තා තෙරණිය ඇතුළු මෙහෙණින් වහන්සේ පිරිසක් මෙරටට වැඩම කරවා ගැනීමට කතිකා කෙරුණි. මහමෙව්නා උයනේ පූජනීය ස්ථානය සැලසුම්කරණයේ දී බෝධීන් වහන්සේ නමක් රෝපණයට ද ඉඩ කඩ වෙන්වුණු අතර, සංඝමිත්තාව සමඟින් බෝධි ශාඛාවක් ද වැඩම කරවීමේ අවශ්‍යතාවය එහිදී මතුවේ.

පාලි බෝධි වංශය විස්තර කරන ආකාරයට ම අනින් අතර වැටී අඟ පසඟ හා වලිගය දික් කරගෙන සිටින සිංහයකුගේ අංග කොටස් බිම ස්පර්ශවන ස්ථාන අනුව මහමෙව්නා උයනෙහි ආගමික ස්ථාන පිහිට වූ අතර සිංහයාගේ වල්ගා කෙළවර පිහිටුවන ලද්දේ බෝධි ඝරයයි. එම කරුණුවලින් පැහැදිලි වන්නේ බෝධි ශාඛාව මෙරටට වැඩම කරවීමට පෙර සිටම බෝධි රෝපණය සඳහා අවශ්‍ය සැලසුම් සකස් කොට තිබූ බවකි.

ලක්දිව බෝධීන් වහන්සේ පිළිබඳ ප්‍රකට ඉතිහාස සාහිත්‍ය මූලාශ්‍රයන්ට අනුව අරිට්ඨ කුමරු ප්‍රමුඛ පිරිසක් සංඝමිත්තාවන් හා බෝධි ශාඛාව වැඩම කරවීමේ හසුන් යැවීම සඳහා තෝරා ගැනුණි. ඒ අනුව ඔවුහු වප් මාසයේ පුරපස දෙවැනිදා දඹකොළ පටුනින් නැව්නැගී පැළලුප් නුවර බලා ගියහ. අශෝක රජු වෙත හසුන් බාර දුන්න ද රජු එක්වරම එම ඉල්ලීමට එකඟ නොවුව ද, සංඝමිත්තාවගේ කරුණු පැහැදිලි කිරීම හමුවේ ඊට රජුගේ අනුමැතිය හිමිවුණි. නිරන්තරයෙන් භික්ෂු අනුශාසනාව ප්‍රාර්ථනා කළ අශෝක රජු මොග්ගලීපුත්ත තිස්ස තෙරුන් ප්‍රධාන මහා

සංඝයා කැඳවා ලක්දිවට බෝධි ශාඛාවක් යැවීම පිළිබඳ තොරතුරු විමසූ විට මොග්ගලී පුත්තතිස්ස අර්හතුන් වහන්සේ බුදුරදුන් පිරිනිවන් මංචකයේ දී සිදුකරන ලද අධිෂ්ඨාන පහක් පිළිබඳව රජුට කරුණු පැහැදිලි කර ඇත.

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 18 වන දා බදාදා අපර භාග 11.30 ට ලබයි. 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 19 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය දෙසැම්බර් 25 වන දා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]