[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසත්පුරුෂ දාන පස

අසත්පුරුෂ දාන පස

“පඤ්චිමානි භික්ඛවෙ, අසප්පුරිස දානානි, කතමානි පඤ්ච? අසක්කච්චං දානං දෙති, අචිත්තී කත්වා දානං දෙති, අසහත්ථා දානං දෙති. අපවිද්ධං දානං දෙති. අනාගමන දිට්ඨිකෝ දානං දෙති. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්ච අසප්පුරිස දනානි”. යනුවෙන් ‘අංගුත්තර නිකාය’ පඤ්චක නිපාතයෙහි අසත්පුරුෂ දාන පසක් දක්වා තිබේ. ඒ මෙසේ ය.

ප්‍රතිග්‍රාහකයන්ට සුවසේ වැළඳිය හැකි වන පරිද්දෙන් සකස් නො කොට, නො මනා කොට දෙන දානය එක් අසත්පුරුෂ දානයෙකි.

දාන වස්තුව කෙරෙහි හා ප්‍රතිග්‍රාහකයන් කෙරෙහි ආදර ගෞරවයක් නැතිව දෙන දානය එක් අසත්පුරුෂ දානයෙකි. සියතින් නොදී වැඩකාරාදී අනුන් ලවා දෙවන දානය එක් අසත්පුරුෂ දානයෙකි. නිතර නොදී නරක් වූ දෙයක් අහක දමන්නාක් මෙන් කලාතුරකින් දෙන දානය එක් අසත්පුරුෂ දානයෙකි. මතු පුණ්‍ය ඵලය ලැබීමේ බලාපොරොත්තුව නැති ව දෙන දානය එක් අසත්පුරුෂ දානයෙකි.

දීමට පිළියෙළ කරන ආහාරය මනා වර්ණයෙන් හා ගන්ධයෙන් ද රසයෙන් හා ඕජාවෙන් ද යුක්ත කොට පිළියෙළ කිරීම දාන වස්තුවට ගෞරවාදර කිරීම ය. එසේ නොකොට වැලිකැට, ගල්කැට සහිත ව ලුණු ඇඹුල් නැති ව දානය පිළියෙළ කිරීම දාන වස්තුවට අනාදර අගෞරව කිරීම ය. දෙන කල්හි දීමට සුදුසු උත්තම ප්‍රතිග්‍රාහකයන් සොයා ඔවුනට දීම, ප්‍රතිග්‍රාහකයන්ට ගෞරවාදර කිරීම ය. දෙන දෙය කාහට ගියත් කම් නැතැයි ප්‍රතිග්‍රාහකයන් නො සොයා දුටු කෙනකුට දීම, ප්‍රතිග්‍රාහකයන්ට අනාදර අගෞරව කිරීම ය. ප්‍රතිග්‍රාහකයන්ගේ වැඩ පාඵ වන සැටියට බොහෝ දුර සිට ගෙන්වා දෙන දාන ද ප්‍රතිග්‍රාහකයන් බොහෝ ගණනක් ගෙන්වා සුළු දෙයක් දීම ද තම තමන්ගේ තැන්වල සිසිල් සෙවණේ කරදරයක් නැතිව ආහාරයක් ගන්නා වූ භික්ෂූන්ට එයට ඉඩ නොදී බොහෝ දුර තද අව්වේ ගෙන්වා වෙහෙසවා දෙන දාන ද අසත්පුරුෂ දාන සංඛ්‍යාවට ඇතුළත් වන බව කිය යුතු ය. දන් දෙන කල්හි ඒ දෙන දානය අසත්පුරුෂ දානයක් නොවී සත්පුරුෂ දානයක් වන හැටියට ම දන් දීම කළ යුතු ය. දානය යහපත් වනුයේ ප්‍රතිග්‍රාහකයන්ට එයින් යහපතක් වන සැටියට දුන හොත් ය. ප්‍රතිග්‍රාහකයන්ට අලාභහානි කරදර වන සැටියට දෙන දානයක් නොදීම ම යහපතකි. භික්ෂූන්ට දන් දෙන ඇතැම්හු තමන්ගේ දානය භික්ෂූන් බොහෝ ගණනක් ගෙන්වා ගෙන දෙන්නට කල්පනා කරනවා මිස, ඒවා පිළිගන්නට වඩින භික්ෂූන්ට වන කරදර අලාභහානි ගැන කල්පනා නො කරති. දෙන දානයෙන් ප්‍රතිග්‍රාහකයාට ලැබෙන ලාභයට වඩා මහත් කරදරයක් අලාභයක් වේ නම්, ඒ දීමෙහි කිසි තේරුමක් නැත.

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 11 වනදා බදාදා පූර්වභාග 10.59 ට ලබයි. 12 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 11 වනදා බදාදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 19 වනදා බ්‍රහස්පතින්දා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]