[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

උඳුවප් පුර පසළොස්වක 2019.12.11

සුවසෙත ගැන විචාරශීලි වෙමු

සිහිනුවණ, බුදු දහමෙහි ඉහළින් අගය කැරෙන ධර්මතාවකි. බෞද්ධ ධර්ම මාර්ගයෙහි ගමන් කරන්නෙකු ගේ සෑම සියලු කටයුත්තක් ම සිහි බුද්ධියෙන් යුතු විය යුතු ම ය. පෞද්ගලිකව ද, සමාජයීය ව ද ගැටලු අවම වන්නේ එවිට ය. එහෙත් වත්මන් හි එය ද ගැටලුවක්වී ඇති බව පෙනේ. බෞද්ධයන් අතරින් සමහර කෙනෙක් සිහි බුද්ධිය වෙනුවට, නුවණ මෙහෙයවා කටයුතු කරනවා වෙනුවට අවිචාරවත් ව ජීවන ගමන් හසුරවනු දැක ගත හැකි ය. විචාරශීලි බෞද්ධයා, ඇස, කන, නාසය, දිව ,ශරීරය යන පංච ඉන්ද්‍රියයන් සංවර කරගත යුතු ම ය. එහෙත් ජීවත් වීම සඳහා, ජීවිතය නිරෝගී පවත්වා ගැනීම සඳහා ගන්නා දෛනික ආහාර රටාවේ සිට සියලු කාරණා උඩුයටිකුරු වෙමින් යන බව ඇස් ඇත්තෙකුට නම් අමුතුවෙන් කිව යුතු නොවේ.

අතීතයේ රෝහල් ඉදිවුණි. එහෙත් වත්මන් හි මෙන් හතු පිපෙන්නාක් මෙන් නොවේ. එදා රෝගීන් දුලභ ය. අද සුලභ ය. රෝහල් පුරා පෙළගැසෙන මිනිස් පෝළිම් ඊට සාක්ෂ්‍ය ගෙනෙයි. වයස් භේදයක් නොවේ. ලොකු, කුඩා, මැදිවියේ සියල්ලෝ එහි වෙති. සමාජයක් රෝගී වූ විට රටක් අඩපණ වන්නේ ය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කෙනෙක් ජීවිතයේ ලබන ඉහළම ලාභය නම් නිරෝගී බව යනුවෙන් ය. එහෙත් මිනිසා විසින් ම ඒ ලාභය මඟ හරවා ගනු ලැබ ඇත. සංඛ්‍යාත්මක ව මෙ පමණ රෝගීහු අප මුතුන් මිත්තන් කැල සිටියේ නැත. ඉඳහිට වැළඳෙන හිස රුදාවක්, සෙම් ප්‍රතිශ්‍යාවක් හැර අවුරුදු ගණන් දුක් විඳින, මිය යන තුරුම ඖෂධ ගන්නා රෝගා බාධ ඇතිවුණේ කලාතුරකින් ය. ඔවුහු ආහාරයෙහි පමණ දැන සිටිය හ. ජීවත්වීම පිණිස ආහාර ගත්තා මිස ආහාරය සඳහා ජීවත් නොවූ හ. සරලව කියනවා නම් ඔවුහු දිව සංවර කර ගත්හ. රසයෙහි ම ගිජුවෙමින් එහි නො ඇලූණහ. වස විසෙන් තොර ආහාර, අනලස් ජීවිතය ඔවුහු නිරෝගී ව තැබූහ .

එහෙත් දැන් මිනිසුන් වෙනස් වී ඇත. සමාජය ද වේගයෙන් වෙනස් වෙමින් ඇත. ඒ තුළ මිනිස්කම අමතක කොට මුදලට, ලාභයට මුල් තැන දෙන සැටියක් පැහැදිලි ය. එහිදී කවර ක්‍රමයකින් හෝ මුදල් උපයනු විනා තමන් ගැන විනා අනෙක් පුද්ගලයාගේ සුබසෙත, යහපත ගැන විමසීමක් ඇතැමකුට ඇත්තේ ම නැත. ගුණාත්මක රස කාරක වෙනුවට විස කාරක යොදා කෘත්‍රිම රස කාරක හඳුන්වා දෙමින් ආහාර රස ගන්වමින් ජනතාව රසයට ම ලොල් වූ පිරිසක් බවට පත් කර ගනිති.

විශේෂයෙන් දිව පිනවීමෙහි අවිචාරවත් වූවෝ එහි ගිජුවෙති. ඒ හා සමඟ බොහෝ ලෙඩ රෝග ළඟා කර ගනිති. අද කුඩා දරුවාගේ සිට ම මේ ව්‍යසනයට ගොදුරුවෙමින් සිටී. ඒ තුළ බුදු දහමේ සඳහන් ලෙස ජීවිතයට පරම ලාභය වූ නිරෝගී සම්පත ළඟා කර ගන්නේ කෙසේ ද යන්න විශාල ගැටලුවක් බවට පත්ව ඇත.

නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට සමබල ආහාරවේලක අවශ්‍යතාව ගැන නො දන්නා කෙනෙක් නැත. සෞඛ්‍ය, අධ්‍යාපන ආදී අංශයන්ගෙන් මෙන් ම විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ඒ ගැන නිරන්තරයෙන් දැනුම්වත් කෙරේ. එහෙත් ඉන්ද්‍රිය සංවරයක් නොමැතිකමෙන් වැඩි දෙනෙක් ඊට අනුගත නො වෙති.

කොසොල් රජතුමා නැලි සතරක පමණ බත් අනුභව කළ රජෙකි. දිව පිනවීමෙහි ම ගිජු වූ රජුට ඇති වූ අපහසු ව කෙතෙක් ද යත් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පවා ඉතා අපහසුවෙන් සිටින්නට සිදු වූ බව දෝණපාක සූත්‍රයේ සඳහන් ය. මේ කතා පුවත කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ම නෑසූ පුද්ගලයෙක් නැති තරම් ය. ජීවිතාදර්ශයට ගන්නවා නම්, විචාරශීලී ව සිතනවා නම් දිව සංවර කරගන්නට මෙවැනි කතා පුවත් ම ප්‍රමාණවත් ය. එහෙත් අද අප ජීවත්වන සමාජය පරිභෝජනවාදී සමාජයක් ලෙස විවිධ විද්වතුන් අර්ථ දක්වා ඇත. ඒ තුළ අධි පරිභෝජනය, ආහාර අපතේ යැවීම, අනාගත සමාජයට ඉතිරි නො කිරීම, අවිධිමත්, ශරීර සෞඛ්‍යයට අහිතකර ආහාර වැඩි වැඩියෙන් නිෂ්පාදනය වීම වැනි බොහෝ අහිතකර ගැටලු පැන නඟී.

ඉවක් බවක් නැතිව තවදුරටත් මේ තත්ත්වය පැවතුණේ නම්, අනාගතයේ සමාජය ම රෝගීන් වීම වැළැක්විය නොහැකි ය. මේ නිසා කුඩා කල සිට ම ඉන්ද්‍රිය සංවර කර ගනිමින්, විචාරශීලි ව, සිහිනුවණින් දිවි පැවැත්ම ගොඩනඟා ගැනීමට උත්සුක විය යුතු ව තිබේ.

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 11 වනදා බදාදා පූර්වභාග 10.59 ට ලබයි. 12 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 11 වනදා බදාදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 19 වනදා බ්‍රහස්පතින්දා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]