[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහින්දාගමනය දුමින්දාගමනය හා උඳුවප් උදාව

මහින්දාගමනය දුමින්දාගමනය හා උඳුවප් උදාව

වෙසක් පෝය සකල ලෝකවාසී බෞද්ධ ජනතාවට ම ඉතා වැදගත් පොහොය දිනයක් වනුයේ සම්බුදු තෙමඟුල හේතුවෙනි. ශ්‍රී ලාංකේය බෞද්ධයන් වන අපට ඉතාමත් වැදගත් මෙන්ම සුවිශේෂී පොහොය දෙකකි.

එනම් පොසොන් පොහොය හා උඳුවප් පොහොය යි. බුදුරදුන්ගේ දහම් පණිවුඩය රැගෙන මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කරන ලද්දේ පොසොන් පොහොය දිනය ක ය. ශ්‍රී ලාංකේය සමාජය නව ගමන් මගකට යොමු කළ මහින්දාගමනය හුදු ධර්ම දූත සේවයක් පමණක් නොවුණි.” එය ආගමික ඉතිහාසයේ සිදුවූ වඩාත් සංවිධානාත්මක ම ධර්ම දූත සේවාව බව ප්‍රකාශ කිරීම අතිශෙයෝක්තියක් නොවේ. දෙවැන්න දුමින්දාගමනය යි. එනම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීම යි. එය සිදුවූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහොය දිනක ය. බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවීම හුදු දූත සේවාවක් පමණක් ම නොවූ බව ඉතිහාසය විමර්ශනාක්ෂිතයෙන් විමසන්නෙකුට පෙනෙන කාරණාවකි. බෝධීන් වහන්සේ පිළිබඳ කථනයට, මහින්දාගමනය පිළිබඳ පූර්විකාවක් සිදුකර ගැනීම වඩාත් යෝග්‍යය.

ලංකාව සහ ඉන්දියාව අතර තිබූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි ප්‍රතිඵල ලෙස ලංකාවට බුදුදහමේ පණිවුඩය රැගෙන එන ලද්දේ ධර්මාශෝක රජුගේ පුත්‍රයෙකු වූ මහින්ද තෙරුන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර යන භික්ෂූන් සහ භණ්ඩුක යන උපාසක ඇතුළු සත් දෙනෙක් විසිනි. මෙලෙස ලංකාවේ ධර්ම ප්‍රචාරය සඳහා වැඩම කළ භික්ෂූන් වහන්සේලාගේ ඓතිහාසිකත්වය තහවුරු කිරීමට හේතුවන පුරාවිද්‍යා මූලාශ්‍රයන් ද හමුව ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ රජගලින් හමු වූ ශිලා ලේඛනය එම පුරාවිද්‍යා මුලාශ්‍රය යි. ක්‍රි.පූ. තෙවන හෝ දෙවන සියවස්වලට අයත්යැයි සැලකිය හැකි මෙම ශිලා ලේඛනය තුළ බ්‍රාහ්මීය අක්ෂරයෙන් මහින්ද තෙරුන් හා ඉට්ඨිය තෙරුන් ගැන සඳහන් ව තිබේ. ‘යෙ ඉම දීප පඨමය ඉදිය ආගතන ඉඩික (තෙරම) හිද තෙරහ තුබෙ’ මෙම සාධකය ක්‍රි.පූ. තුන්වන සියවසේ සිදු වූ ධර්මදූත ව්‍යාපාරයේ සත්‍යතාව තහවුරුවට අතිශයින් ම ඉවහල් වෙයි.

මෙම සාධකයට අමතරව මහින්ද හිමියන්ගේ සහ උත්තිය, ඉට්ඨිය යන හිමිවරුන්ගේ ප්‍රතිමාවන් පිළිබඳව සඳහනක් ක්‍රි.ව. පළමුවන සියවස ට අයත්යැයි සැලකෙන මහාදාඨික මහානාග රජුගේ මිහින්තලා පර්වත ලිපියේ අන්තර්ගත ව තිබේ. ‘මහිද තෙරහච භද්‍රසාල තෙරහච ඉටික තෙරහච උති තෙරහච පඨමා කරපිත’ එසේම හතරවන මිහිඳු රජුගේ පුවරු ලිපියක ද මහින්ද තෙරුන් පිළිබඳව සඳහන්ව ඇත. මෙකී තොරතුරු තුළ වංසකතා ඉතා විස්තරාර්ථ වශයෙන් දක්වන, ලක්දිවට බුදුදහම රැගෙන ඒමේ කතාව ඓතිහාසිකම ය වශයෙන් සත්‍ය සිදුවීමක් වන බැව් තහවුරු වනු ඇත.

මිහින්තලයේ අම්බස්තලයේ දී මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජු හමුවීමත් සමඟ ලංකාවාසීන්ට බුදුදහමේ ආභාසය වින්දනය කිරීමේ අවස්ථාව උදාවිය. ලංකාව තුළ බුදුදහම ප්‍රචාරය කිරීම අරඹන්නේ, මිහිඳු හිමියන් විසින් ශ්‍රමණයන් නැතහොත් භික්ෂූන් කවුරුන් ද යන වග හා භික්ෂු ප්‍රතිපත්ති කවරේද? යන වග දේවානම්පියතිස්ස රජු ඇතුළු හතළිස් දහසක් පමණ ජනයාට අවබෝධ කර දීම සඳහා චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කිරීමෙන් අනතුරුව බව සාරත්ථප්පකාසිනියේ සඳහන් වේ. චුල්ලහත්ථිපදෝපම සූත්‍රයට අමතරව සමචිත්ත පරියාය සූත්‍රය, පේතවත්ථු, විමානවත්ථු, දේවදූත සංයුත්ත, බාලපණ්ඩිත සූත්‍රය, අග්ගික්ඛන්ධෝපම සූත්‍රය, අනමතග්ග සූත්‍රය, ඛජ්ජනීය සූත්‍රය, ගොමය පිණ්ඩූපම සූත්‍රය, ධම්මචක්කපවත්තන සූත්‍රය, මහාසමය සූත්‍රය යනාදී සූත්‍ර සිංහල බසින් ලංකාදීප වාසීන්ට දේශනා කොට නිවැරැදි ධර්මාවබෝධයක් ලබාදීමට මිහිඳු හිමියන්ට හැකිවීම නිසා බෞද්ධානුකූල සමාජයකට පදනම වැටුණි. එම පදනම ලංකා සංඝ සංස්ථා වර්ධනයට ද හේතු විය.

මෙබඳු පසුබිමක් යටතේ ලංකාව තුළ සංඝ සංස්ථාවේ ප්‍රාරම්භය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී මිහිඳු හිමියන් මිස්සක පව්වට වැඩි දිනයේ ම භණ්ඩුක උපාසකයා පැවිදි කිරීමෙන් ලක්වාසීන්ට භික්ෂුවක් නිර්මාණය වන්නේ කෙසේද? යන්න පෙන්වාදෙන ලදී. මෙම සිදුවීමෙන් පසුව ලංකාවේ ම උපන් කෙනෙකුගේ පැවිදිවීම සම්බන්ධ තොරතුරු හමුවන්නේ මිහිඳු හිමියන් ලංකාවට වැඩම කොට දින විසිහතක් පමණ ගෙවීයාමෙන් අනතුරුව ය. මෙසේ මිහිඳු හිමියන් ලංකාවට වැඩම කොට දින විසිහතක් පමණ ගෙවී යාමෙන් පසු වස්විසීම සඳහා මිහින්තලයට වැඩම කළ අවස්ථාවේ දේවානම්පියතිස්ස රජුගේ බෑණා කෙනෙකු වූ මහා අරිට්ඨ ඇමැතියා තවත් පනස් පස් දෙනෙකු සමග ප්‍රවෘජ්‍යා භාවයට පත් වීය. මේ වත්මන් ශ්‍රී ලාංකේය භික්ෂු වංශකතාවේ ප්‍රභවය යි. මෙසේ බිහිවන ශ්‍රී ලාංකේය සංඝ සමාජය, ලංකා සමාජදේහය පුරා විසිරී පැතිරී යන්නේ එයට ලැබුණු අප්‍රමාණ රාජ්‍ය අනුග්‍රහය නිසා බව වටහාගත හැකි ය. මෙසේ මිහින්තලයේ දී අලුත් ප්‍රවෘජ්‍යා භික්ෂූන් ඇතුළු හැටනමක් වූ භික්ෂු සංඝයාට වස් විසීම සඳහා ආවාස නොතිබූ බැවින්, දෙවනපෑතිස් රජු මිහින්තලය අවට පිහිටි ගල්ලෙන් ශුද්ධ පවිත්‍ර කරවා ආවාස ලෙස පූජා කළේ ය. මෙම ආරාම පූජාවට ප්‍රථමයෙන් දෙවනපෑතිස් නිරිඳු ලංකාවේ සිදුකළ ප්‍රථම භෞතික පූජාව ලෙසින් මිහිඳු හිමියන් ප්‍රමුඛ සංඝයාට මහමෙවුනා උයන පූජා කළේ ය. මහමෙවුනා පූජාව අනුරපුරයේ සංඝ සංස්ථාව ස්ථාවරව පිහිටීම උදෙසා ප්‍රබල බලපෑමක් කරන ලද පූජාවක් ලෙසින් හඳුනාගත හැකි ය. වර්තමානය දක්වා සුරක්ෂිත ව පවත්නා ථේරවාද භික්ෂු උරුමයේ මූලස්ථානය මේ මතින් වර්ධනය වේ. ඒ මහා විහාරය යි. මෙකී පුජාවෙන් පසු මිහිඳු හිමියන් විසින් මහා විහාරය තුළ පිහිටිය යුතු විහාරා රංගයන් පිළිබඳව රජු දැනුවත් කරමින් සීමාවන් සලකුණු කරවන ලදී.

මෙලෙසින් මහමෙවුනා උයන පදනම් කරගනිමින් මහාවිහාරය ගොඩනැංවීම උදෙසා අවශ්‍ය මූලික පදනම් මිහිඳු හිමියන් විසින් ඇති කරවනු ලැබී ය. මෙම අවස්ථාව පිළිබඳ තොරතුරු දක්වන මහාවංසය, අතපැන් වත්කොට මිහිඳු හිමියන්ට දෙවනපෑතිස් රජු විසින් මහමෙවුනාව පූජා කරන අවස්ථාවේ පොළොව කම්පිත වූ බවත් ඒ මන්දැයි මිහිඳු හිමියන්ගෙන් රජු විචාළ විට ලංකාවේ බුදුසසුන පිහිටි නිසා මිහිකත කම්පා වූ බවත් දක්වයි. මේ සම්බන්ධයෙන් සමන්තපාසාදිකාවේ දැක්වෙන්නේ ලංකාවේ බුදුසසුන පිහිටියේ දැයි දෙවනපෑතිස් රජු අසන පැනයට මිහිඳු හිමියන් , ලංකාවේ මාපිය යුවළකට දාව උපන් දරුවකු පැවිදිව විනය සංගායනා කරන තෙක් සසුන් නොපිහිටියේ ය, යනුවෙන් පැවසී ය, යනුවෙනි. ලංකාවේ ප්‍රථමයෙන් පැවිදි වූ අරිට්ඨ තෙරණුවන්ගේ මූලිකත්වය යටතේ ථූපාරාම විහාරයේ දී විනය සංගායනා කිරීමෙන් ඉක්බිතිව ලංකාවේ බුදුසසුන ස්ථිරව ම පිහිටියේ යැයි සමන්තපාසාදිකාව දක්වයි. උක්ත මහාවංස කරුණටත් සමන්තපාසාදිකා කරුණටත් අමතර ව මෙකී කාරණාව සම්බන්ධිතව ම මහාවංසයේ 15 වන පරිච්ඡේදයේ සහ දීපවංශයේ 14 වන පරිච්ඡේදයේ දැක්වෙන්නේ ලක්දිව බුදුසසුන පිහිටියේ දැයි දෙවනපෑතිස් රජු විමසන පැනයට මිහිඳු හිමියන්ගේ පිළිතුර වී ඇත්තේ ලංකාවේ බුදුසසුන පිහිටන්නේ උපෝසථ කර්ම සහ වෙනත් සංඝ කර්ම කිරීම සඳහා බුද්ධ දේශනාවේ කියවෙන පරිදි සීමාවක් පිහිටුවහොත් පමණයි, යනුවෙනි. මේ තොරතුරු පිළිබඳ නිල ප්‍රකාශයක් මේ තුළ අන්තර්ගත ව ඇති බවයි. ලක්දිව බුදුදහම පිහිටීම හා සම්බන්ධිත උක්ත ප්‍රකාශයන්ගෙන් ප්‍රථම ප්‍රකාශනය අත්හැර ඉතිරි ප්‍රකාශන ගැන සියුම්ව අධ්‍යයනය කරන විට පෙනී යනුයේ ලංකාවේ ම උපන් භික්ෂු පරපුරක ඇරඹුම සනිටුහන් වන තෙක් මෙහි බුදුදහම ස්ථිරව පිහිටියේ යැයි ප්‍රකාශ කිරීමට මිහිඳු හිමියන් ද කටයුතු කොට නොමැති බවයි. උභයකුල පාරිශුද්ධ ශ්‍රී ලාංකේය සංඝ සංස්ථාව මතින් ලංකාවේ බුදුදහම ඉදිරියට ගලා යනු ඇති බව මිහිඳු හිමියන් ද අපේක්ෂා කොට ඇති බව පැහැදිලි ය.

මෙම ලිපියෙහි ඉතිරි කොටස උඳුවප් අව අටවක පෝදා (දෙසැම්බර් 19 වනදා )පත්‍රයේ පළවේ. 

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 11 වනදා බදාදා පූර්වභාග 10.59 ට ලබයි. 12 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 11 වනදා බදාදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 19 වනදා බ්‍රහස්පතින්දා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]