[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉතිහාසය නැවත කියවිය යුතුව තිබේ

ඉතිහාසය නැවත කියවිය යුතුව තිබේ

බුද්ධ ශාසනය යනු කිසිම ආගමකට, ජාතියකට, කිසිවකුට වරදක් නොකරන දහමක් බව සැවොම අවබෝධ කරගත යුතුයි. බුදුදහම තුළින් සෑම සත්ත්වයෙකුටම ගහට කොළට පවා ලැබෙන්නේ මහා ආරක්ෂාවක්. නමුත් අවාසනාවකට බටහිර රටවලට ගැති පුද්ගලයන්ට රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය වී තිබෙන්නේ මේ දහම වනසා දමන්නටයි.

පෙර රජ දරුවන් අපේ රට, ජාතිය, ආගම ආරක්ෂා කරගෙන බුද්ධ ශාසනයට උදාර මෙහෙවරක් කළා. ඒ ශ්‍රේෂ්ඨ ක්‍රියා මාර්ගය නැවත පුනරාවලෝකනය කළ යුතු අවස්ථාවක් මේ මොහොතේ එළැඹී තිබෙනවා.

අප දන්නවා ඉතිහාසය තුළ වරින්වර ප්‍රධාන වශයෙන් විදේශික ආක්‍රමණ මත බුද්ධශාසනය පරිහානියට පත්වුණා. සේන ගුත්තික වැනි වෙළෙඳුන්ගේ ප්‍රහාරයත්, දකුණු ඉන්දීය ආක්‍රමණයත්, ඒ වගේම පසුකාලීනව එළාර රජු විසින් වසර හතළිස් හතරක් රජරට යටත් කරගෙන සිටීම නිසාත් බුද්ධ ශාසනය විශාල ලෙස පරිහානියට ලක්වුණා. මහපැරකුම්බා රජුගෙන් පසුව දකුණු ඉන්දියාවෙන් පැමිණි මාඝ පොළොන්නරුව රාජධානිය කරගෙන චින්තනමය වශයෙන් හා ආකල්පමය වශයෙන් ඇතිකරන ලද විනාශයත් මහාවංශය අනුව අප හොඳින්ම දන්නවා. එමෙන්ම පෘතුගීසි, ලන්දේසි හා ඉංගී‍්‍රසින් විසින් මේ රට යටත් කර බුද්ධශාසනය විනාශකර කතෝලික දහම ව්‍යාප්ත කළ ආකාරය අප හොඳින් දන්නවා. එවැනි අවස්ථාවලදී අපේ රටේ,ජාතියේ , බුද්ධ ශාසනයේ වාසනාවට උතුම් බුද්ධානුභාවයේ, ධම්මානුභාවයේ, සංඝානුභාවයේ බලයෙන් ශ්‍රේෂ්ඨ නරපතීන් බිහිවී ඒ සියලු පරසතුරු උවදුරු මැඩලා බුද්ධ ශාසනයේ චිරස්තිථිය, රටේ ඒකීයභාවය, සිංහල ජාතියේ ආරක්ෂාව සලසා දුන්නා.

අපට මතකයි මීට ශතවර්ෂයකට පමණ පෙරදී අනගාරික ධර්මපාල තුමා සිදුකළ ප්‍රකාශය “සුද්දෝ කවදහරි මේ රට දාල යනවා. උන් මේ රට දාලා යන්නේ උන් වගේ කළුසුද්දෝ විසි තිස් දාහක් බෝකලාට පසුවයි. ඉන්පසුව උන් කියාවි ජාති, ආගම් භේදයක් එපා. අපිටත් මේකෙන් කොටසක් අයිතියි කියලා. ඉන්පසු උඹලා වෙනුවෙන් දියසේන කුමාරවරු ඉපදෙනතුරු බලා සිටින්නට වේවි. ඉපදීමට සිටින දියසේනලත් තිඹිරිගෙයිදීම මරාදමන්නට මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියාගනිල්ලා. උඹලාට ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියව නියවා තමයි ඉන්නට වෙන්නේ” කියලා එතුමා කළ ප්‍රකාශයේ සත්‍ය භාවය පසුගිය කාල පරාසය තුළ පාලන සමයේදී අපට දක්නට ලැබුණා. අප ඒවායින් බොහෝ පීඩා වින්දා. මහා සංඝරත්නය පීඩාවට පත්වුණා. බුද්ධ ශාසනය අනතුරට ලක්වුණා. සුළු ජාතිකයන් විසින් මහ ජාතිය පෙළන්නට පටන් ගත්තා. දේශපාලන ක්ෂේත්‍රයේ ඇතැම් වගකිවයුතු පුද්ගලයන් රාජ්‍ය නොවන සංවිධානවල මුදල්වලට යට වෙලා මේ රට සිංහල බෞද්ධ රටක් නොවෙයි යනුවෙන් ප්‍රකාශ කිරීමට තරම් සාහසික වුණා. එමෙන්ම ත්‍රිවිධ රත්නයට අගෞරව කරමින් තෙරුවන් සරණ වෙනුවට දෙරුවන් සරණයි කියන තත්ත්වයට පත් වෙලා බොහෝ පව් රැස් කර ගත්තා. මේ පුද්ගලයන්ට අත්වන ඉරණම පිළිබඳ අප බොහෝ කනගාටු වෙනවා. තුනුරුවන්ට ගර්හා කිරීම නිසා මේ අයට නිරයට යන්නට සිදු වෙනවා.

මහා සංඝයාට අගෞරව කිරීම යනු සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහ රහතන් වහන්සේ , මහා කාශ්‍යප මහ රහතන්වහන්සේ, ආනන්ද මහ රහතන් වහන්සේ ආදී ඒ නික්ලේශී මහරහතන් වහන්සේලාට අගෞරව කිරීමක්. මේ රටට සම්බුද්ධ ශාසනය වැඩම කර වදාළ මිහිඳු මහරහතන් වහන්සේට කරන ලද අගෞරවයක්.

එදා සිට වැඩ වාසය කළ සියලු මහරහතන් වහන්සේලා ඇතුළු මාර්ගඵල ලාභී උත්තමයන්ටත්, වර්තමානයේ වැඩ වෙසෙන මහා සඟරුවනටත් කරන ලද අගෞරවයක්.

මෙවැනි මහා ව්‍යසනකාරි වාතාවරණයක් පවතින යුගයක අපට රට, ජාතිය, ආගම රැකගන්නට, රට එක්සේසත් කරන්නට නැවතත් රජෙක් පහළවීම අප සියලු දෙනාගේම සතුටට කරුණක්.

වර්තමානයේ දී අපේ වාසනාවට මේ රටේ නායකත්වයට පත්වුණු ඒ පින්වත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ඒවගේම ද්‍රෝණයක් සර්වඥධාතුන් වහන්සේලා නිධන් කර තිබෙන රුවන්වැලි මහා සෑයේ ආනුභාවයෙන්, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආනුභාවයෙන්, දකුණු දළදා වහන්සේගේ වම් දළදා වහන්සේගේ කේශ ධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ, පාත්‍ර ධාතුන් වහන්සේ ඇතුළු සියලු ධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන් මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාවයෙන්, පින්වත් සක් දෙවිඳුන්, විශ්වකර්ම දිව්‍ය පුත්‍රයන් , සතර වරම් දෙවිවරු, සෙන්පති දෙවිවරුන්, සදෙව්ලොව වාසී දෙවියන් ඒ වගේම සමන් දෙවියන් වහන්සේ ප්‍රමුඛ භූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලොව දක්වා වැඩවසන බුද්ධ ශාසනයට, රටට, ජාතියට හිතැති දෙවි දේවතාවන් වහන්සේලාගේ ආනුභාවයෙන් ඒ පින්වත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නිදුක් බව නිරෝගිබව සුවපත් බව සැලසේවා. මේ බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් කටයුතු කරන්නටත් අනෙකුත් ආගමිකයන්ට අවශ්‍ය රැකවරණය සලසා දීමටත්, රට ස්වයංපෝෂිත කිරීමටත්, හොඳ නීති පද්ධතියක් සැකසීමටත් එතුමාට ධෛර්ය ශක්තිය වාසනාව උදාවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම එතුමා බලයට පත්වීමෙන් පසුව බුදුසරණ පුවත්පතට ලබාදෙන පළමුවන ලිපියෙන්ම සෙත් පතන්නට කැමතියි. ඒ වගේම අපේ පින්වත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයටත් රජයටත්, රටේ දියුණුව ඇතිකිරීමට වාසනාව භාග්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

බුද්ධ ශාසනය යනු කිසිම ආගමකට, ජාතියකට, කිසිවකුට වරදක් නොකරන දහමක් බව සැවොම අවබෝධ කරගත යුතුයි. බුදුදහම තුළින් සෑම සත්ත්වයෙකුටම ගහට කොළට පවා ලැබෙන්නේ මහා ආරක්ෂාවක්. නමුත් අවාසනාවකට බටහිර රටවලට ගැති පුද්ගලයන්ට රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය වී තිබෙන්නේ මේ දහම වනසා දමන්නටයි. මේ තරම් ශ්‍රේෂ්ඨ ධර්මයක් වනසලා, ඒ ධර්මය රකින ජාතිය, එම ධර්මය පිහිටන භූමිය වනසල මුළු පෘථිවි තලයෙන්ම අතුගා දමන්නට කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා. මෙය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. මෙවැනි අවස්ථාවක දී අප බුද්ධිමත්ව කටයුතු කළ යුතු ය.

මේ බුදු සසුන වෙනුවෙන්, පෙනී සිටින මහා සංඝරත්නයට මාධ්‍ය මගින් සමාජජාලා වෙබ් අඩවි මගින්, මුද්‍රිත මාධ්‍ය මගින් පුදුම ගර්හා කිරීමක් සිදු කෙරුණා. උන්වහන්සේලා කළ එකම වැරැද්ද ලෙස පෙන්වා දෙන්නේ බුද්ධ ශාසනය වෙනුවෙන් පෙනී සිටීමයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ එදා පිරිනිවන් මංචකයේදී සක්දෙවි රජුට සිදුකළ දේශනයේදී බුද්ධ ශාසනය පිහිටන දේශය හැටියට පෙන්වා වදාළ මේ භූමිය වෙනුවෙන් කටයුතු කිරීමයි මහා අපරාධ ලෙස පෙනී ගොස් තිබෙන්නේ. මහා සංඝරත්නයට ගර්හා කළ එම පුද්ගලයන්ට අත්වන ඉරණම පිළිබඳ මා කනගාටුවට පත්වෙනවා. කර්මය කර්මඵලය ගැන විශ්වාස නොකර සිදුකරන මේ දේ නිසා ඔවුන්ට නිරයේ උපදින්නට වෙනවා. තිරිසන් ලෝකවල උපදින්න වෙනවා. අසුරකායේ උපදින්න වෙනවා.

ඉතිරි කොටස උඳුවප් අවඅටවක පෝදා (දෙසැම්බර් 19) පත්‍රයේ පළවේ.

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 11 වනදා බදාදා පූර්වභාග 10.59 ට ලබයි. 12 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 11 වනදා බදාදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 19 වනදා බ්‍රහස්පතින්දා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]