[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බාල ඇසුර ගෙනෙයි විපත

බාල ඇසුර ගෙනෙයි විපත

ඇතැම් බාල පුද්ගලයන් පව් කිරීමට තැති ගන්නේ නැත. හෙතෙම එය පවක් සේ නොදකී. ඊට හේතුව බාලයා පව හඳුනන්නේ නැති කමයි.

අසේවනා ච බාලානං
පණ්ඩිතානං ච සේවනා
පූජාච පූජනීයානං
ඒතං මංගල මුත්තමං

බාලයන් ඇසුරු නොකිරීම ද, නුවණැත්තන් ඇසුරු කිරීම ද, පිදිය යුත්තන් පිදීම ද යන මේවා උතුම් මංගල කරුණු බව බුද්ධ දේශනාව යි. ඒ අනුව බාලයන් යනු කවුරුන් ද? ඔවුන් ඇසුරු කිරීමෙන් ඇතිවන යහපත හෝ අයහපත කුමක් ද? මෙහිදී අප බාලයා යනු කවුරුන්දැයි මුලින්ම හඳුනා ගත යුතු ය.

බාල පණ්ඩිත සූත්‍රයේ දැක්වෙන අයුරු බාලයාගේ ප්‍රධාන ලක්ෂණ තුනකි. එනම්, සිතින් පව්කම්වල යෙදීම, කයෙන් පව්කම්වල යෙදීම හා වචනයෙන් පව්කම්වල යෙදීම ය.

කිසියම් පුද්ගලයෙකු සිතින්, කයින්, වචනයෙන් දුෂ්චරිතයේ (අයහපතෙහි) යෙදෙන්නේ නම්, හෙතෙම බාල වැඩ කරන අසත්පුරුෂයෙකි. හේ සත්පුරුෂයෙකු හෝ පණ්ඩිතයෙකු හෝ නොවන බව බාල පණ්ඩිත සූත්‍රයේ සඳහන් වේ. ඒ අනුව යමෙක් සත්පුරුෂයෙකු වන්නේ ද, අසත්පුරුෂයෙකු වන්නේ ද ඔහු හෝ ඇය විසින් කරනු ලබන වැඩ අනුව ය. තිදොරින් යහපත උදාකරන්නේ නම් හේ සත්පුරුෂයෙකි.

සාමාන්‍යයෙන් බාල යන වදන බුදු දහමේ යෙදෙන්නේ අඥානයන් හෙවත්, මෝඩයන් හැඳින්වීම සඳහා ය. බුදු වදන පවසන අයුරු තවදුරටත් බාලයන් හඳුනා ගත හැකි ය. එනම්, අධර්මය ධර්මය ලෙස ගෙන හැසිරීම, අකැප දේ් කැප ලෙස ගෙන හැසිරීම, අවිනය විනය ලෙස ගෙන හැසිරීම, වැරැදි ලෙස කුතුහලය ඉපිදවීම, නිතරම බියෙන් පසුවීම, මේ ලක්ෂණ ඇත්තේ බාලයා තුළ ය. එබැවින් ඔහුතුළ නිතර ම කෙලෙස් වර්ධනය වන අතර, පවටම සිත ඇදී යන්නේ ය. මේ නිසා බාල ඇසුර තුළින් පුද්ගල යහපත සිදු නොවේ. හේ සමාජයට ද අනර්ථය උදාකරයි. දීඝෝ බාලානං සංසාරෝ යනුවෙන් සඳහන් වන අයුරු බාලයාට සසර ගමන බොහෝ සෙයින් දිග ය. ලෞකික දියුණුව ඇතිවන්නේ ද නැත.

විශේෂයෙන් පංච දුෂ්චරිතයේ යෙදෙන්නේ නම් හේ බාලයෙකි. තමාට වඩා වයසින් බාල වුවත්, ඔහු තුළ උසස් ගුණාංග තිබිය හැකි ය. ඒ අනුව ඔහු පණ්ඩිතයෙකි. වයසින් කෙතරම් මුහුකුරා ගියත්, හෙතෙම බාල වැඩ කරන්නේ නම් හේ අනුවණයෙකි. බාලයෙකි.

බාලයා සතු ලක්ෂණ කවරේදැයි තවදුරටත් හඳුනා ගැනීමට ධම්මපදයේ බාල වර්ගයේ එන ගාථා කිහිපයක් ප්‍රයෝජනවත් ය. ඒ අනුව,

චරං චෙ නාධිගච්ඡෙය්‍ය
සෙය්‍යං සදිස මත්තනෝ
ඒකචරියං දළ්හං කයිරා
නත්ථි බාලේ සහායතා

මේ ගාථාව තුළින් කියැවෙන්නේ තමන්ට ඇසුරු කිරීමට නුවණැත්තෙක් නැත්නම් හුදකලාව විසීම යහපත් බව ය. බාලයෙකු ඇසුරු නොකළ යුතු ය. ඒ අනුව තමාට වඩා උසස් අයකු හෝ සමාන ගති ඇත්තෙකු හෝ ඇසුරු කළ යුතු ය. සීල සමාධි ප්‍රඥා ආදී ගුණාංගවලින් යුත් අයකු ඇසුරු කළ යුතු ය.

පින්වත, බාල පුද්ගලයා දිවි ඇතිතෙක් පණ්ඩිතයෙකු ඇසුරු කළත්, ඔහු ධර්මය හෙවත් යහපත් දේ දැන ගන්නේ ද නැත. කෙසේද යත්? හැන්ද ව්‍යාංජන රසය දැන නොගන්නා සේ ය. ඒ බැව් පහත සඳහන් ගාථාව තුළින් පැනෙයි.

යාවජීවම් පි චෙ බාලෝ
පණ්ඩිතං පයුරු පාසති
නසෝ ධම්මං විජානාති
දබ්බී සූප රසං යථා

නමුත් පින්වත, යම්කිසි නුවණැති පුද්ගලයෙක් මොහොතක් වුව පණ්ඩිතයෙකු ඇසුරු කළොත් ඔහු වහාම ධර්මය දැන ගනී. කෙසේ ද යත්? යමක් කටට ගත් සැණින් එහි රසය දැන ගන්නා දිව මෙනි. දිව ව්‍යාංජන රසය දැන ගන්නා මෙනි. මෙයින් කියැවෙන්නේ ධර්මයේ හැසිරෙන්නා සත්පුරුෂ පණ්ඩිතයෙකු බවත්, ධර්මයෙහි හැසිරෙන්නේ නැති පුද්ගලයා බාලයෙකු වන බවත් ය.

මුහුත්තම් පි චේ විඤ්ඤු
පණ්ඩිතං පයුරුපාසති
ඛිප්පං ධම්මං විජානාති
ජීව්හා සූප රසං යථා

එපරිද්දෙන් බාල පුද්ගලයා මෙසේ ද සිතයි. එනම්,

පුත්තා මත්ථි ධනං මත්ථි
ඉති බාලෝ විහඤ්ඤති
අත්තාහි අත්තනෝ නත්ථි
කුතෝ පුත්තා කුතෝ ධනං

මට දරුවන් ඇත. මට ධනය ද ඇත. යනුවෙන් අනුවණයා සිතයි. නමුත් බුදුන් වහන්සේ වදාරන්නේ තමාට තමාවත් නැති කල්හි පුතෙක් කොහින් ද? ධනයක් කොහින් ද? යනුවෙනි. මෙයින් අදහස් කරන්නේ කිසියම් පුද්ගලයෙකු තමාට ගොඩාක් පුත්තු සිටිත්, එමෙන් ම තමාට ධනය ද තිබෙන්නේ ය යනුවෙන් සිතන්නේ නම්, ඒ අනුවණ කමකි. ඒ සියල්ල ක්ෂණයකින් විනාශ විය හැකි ය. දරුවෝ පවා වෙනස් විය හැකි ය. ධනය නැති විය හැකි ය. වස්තුව තාවකාලික ය.

බාලයාගේ ස්වරූපය පව් කිරීම ය. ඔහු පව් කරමින් එය විපාක දෙන තෙක් මිහිරි ලෙස සිතයි. යම් විටෙක තමා කළ පව විපාක දේ ද එවිට හේ බෙහෙවින් දුකට පත් වේ. එනම්,

මධුවා මඤ්ඤතී බාලෝ
යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං
අථ බාලෝ දුක්ඛං නිගච්ඡති

ඇතැම් බාල පුද්ගලයන් පව් කිරීමට තැති ගන්නේ නැත. හෙතෙම එය පවක් සේ නොදකී. ඊට හේතුව බාලයා පව හඳුනන්නේ නැති කමයි. ඔහු පව විඳින්නේ මී පැණි මෙනි. අනුවණයා කලක පටන් සිතා සිටි දරුණු වූ පවිටු සිතිවිල්ලක් ඉටුවුවහොත්, එයින් ලොකු ලාබයක් ලදහොත්, එය මී මෙන් මිහිරි ලෙස සිතයි. මක් නිසාද යත්? ඔහු පවෙහි විපාක නොදන්නා නිසා ය.

එසේම, බාලයෙකුට කොතරම් උපදෙස් දුන්නත් හෙතෙම ඒවා පිළිගන්නේ ද නැත. ඒ ඔහුගේ අසත්පුරුෂ ගතියකි. එනම්,

ඕවදෙය්‍යානුසාසෙය්‍ය
අසබ්භා ච නිවාරයේ
සතං හිසෝ පියෝ හෝති
අසතං හෝති අප්පියෝ

අනුවණයාට කෙතරම් අවවාද කළත් ඔහු ඒවා පිළිගන්නේ ද නැත. ඊට හේතුව ඔහුගේ ඥාන පරාසය සීමිත බැවිනි. ඔහු හැම අවස්ථාවක දී ම සිතන්නේ තමන් ඥාන වන්තයෙකු ලෙසයි. එබැවින් ඔහු කිසි විටෙකත් සත්පුරුෂ සමාගම පි‍්‍රය නොකරයි.

බාල ඇසුර නිරන්තරයෙන් ම විපත් ගෙන දෙන්නකි. එනිසා ම අප පාපකාරී මිතුරන් නොපැතිය යුතු ය. සේවනය නොකළ යුතු ය.

න භජේ පාපකේ මිත්තේ
න භජේ පුරිසාධමේ
භජේථ මිත්තේ කල්‍යාණේ
භජේථ පුරිසුත්තමේ

පවිටු මිතුරන් හා සැහැසි (අධම) මිතුරන් ඇසුරු නොකළ යුතු ය. කලණ මිතුරන් හා උතුම් පුද්ගලයන් ඇසුරු කළ යුතු ය.

බාලයාගේ බාල ලක්ෂණ අප විසින් හඳුනා ගත යුතු ය. එසේම අප තුළත් බාල ලකුණු පහළ වන්නේ නම් ඒවා ද දුරින් ම දුරුකළ යුතු ය. පසුව අප නිතර පැතිය යුත්තේ මෙයයි. එනම්,

ඉමිනා පුඤ්ඤ කම්මේන
මා මේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු
යාව නිබ්බාන පත්තියා

එය අපගේ අවසාන ප්‍රාර්ථනාව යි. එනම් 'මා මේ සිදුකළ පින්කමේ අනුහසින් නිවන් දක්නා තුරු අසත්පුරුෂ, බාල ඇසුරක් නොලැබේවා. සත්පුරුෂ ඇසුරක් ම ලැබේවා.' බාල ඇසුරින් මිදුණු පුද්ගල ජීවිතයට නිවන බෙහෙවින් සමීප ය. අත ළඟ ය. ඒ සඳහා සැමට නුවණ පහළ වේවා. සැමට තෙරුවන් සරණයි.

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 03 වනදා අඟහරුවාදා අපරභාග 11.14 ට ලබයි. 5 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 04 වනදා බදාදා ය.

මීළග පෝය දෙසැම්බර් 11 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

Full Moonඅමාවක

දෙසැම්බර් 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]