[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

උඳුවප් පුර අටවක 2019.12.04

පරිසර සුරැකුමට සහාය වෙමු

තුරුලතා පිරි, සතා සිවුපාවුන් ගහණ, නිහඬ නිස්කලංක, සෞන්දර්යයෙන් අනූන පරිසරය හා සම්බන්ධ සුවිශේෂී අවස්ථා සම්බුද්ධ චරිතය පුරා ම දැකගත හැකි ය. සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය, බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලැබීම, ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණය යන සුවිශේෂී සම්බුදු තෙමඟුල සිදු වුයේ එවැනි පරිසරයන්හි ය.

උතුම් සම්බුද්ධ දේශිතයේ බොහෝ දහම් කරුණු ජනවිඥානයට පහසුවෙන් ග්‍රහණය කරවීම සඳහා බොහෝ උපමා උපමේයයන් අන්තර්ගත ය. ඒ අතර පරිසරයේ ම වෙසෙන සතුන්, ඔවුන්ගේ චර්යා රටා, ගහකොළ උපමාවට නගා අර්ථ විවරණය කර ඇති අයුරු අපූරු ය. සම්බුද්ධ චරිතය හා බැඳුණු වේළුවනාරාමය, බරණැස ඉසිපතන මිගදාය ආදි විහාරාරාම ද, කලන්දක නිවාපය, පාවාරික අඹවනය, ලුම්බිනි සාල වනෝද්‍යානය, උපවර්තන සල් උයන ආදී උයන් බිම් ද සොබා සිරියෙන් පිරි නිස්කංලක පරිසරයන් ය.

පාරිසරික පිරිසුදු බව, ආරක්ෂාව අගය කළ තථාගතයන් වහන්සේ උපසපන් භික්ෂූන් වහන්සේ නමකට ගහක කොළයක් පවා කඩා දැමීම ඇවැත් සිදුවන්නක් බව දේශනාකොට වදාළහ. ගලායන දිය පහරකට, ජල මූලාශ්‍රයකට ඉඳුල්, මළ මුත්‍ර, සෙම් සොටු බැහැර කිරීම වරදක් බව සඳහන් කොට ඇත. එවන් සුළු කරුණක් පවා වැරැදි බව තථාගතයන් වහන්සේ අවධාරණය කොට වදාළේ මානව වර්ගයා ඇතුළු සමස්ත සත්ව සංහතියත්, ඔවුන් ජීවත්වන පරිසරයත් අතර පවතින වෙසෙස් සම්බන්ධතාවය නිසා ය.

මිනිසා විසින් පරිසරය සුරකින්නේ නම්, පරිසරය විසින් ද මිනිසා රැකගනු ලබයි.

මිනිසා ගහකොළ විනාශ කරමින් අපවිත්‍ර කළේ නම් එහි අනර්ථකාරී ප්‍රතිඵල පරිසරය විසින් මිනිසාට ම ආපසු ලබාදෙයි.

පසුගිය කාලයේ කුණු කඳු නායයාම, පොලිතින් ප්ලාස්ටික් ආදී අපද්‍රව්‍ය පිරුණු කාණුවලින් ජලය ගෙන යා නොහැකිව සුළු වැසි තත්ත්වයක දී පවා මහා මාර්ග යටවී යාම, ඉවක් බවක් නොමැතිව වනාන්තර විනාශ කිරීම නිසා ඇතිවූ දැඩි නියඟ තත්ත්ව, ජල පෝෂක ප්‍රදේශ විනාශ කිරීම ආදි අහිතකර පාරිසරික තත්ත්ව නිසා ඇති වූ ගංවතුර, ගන්නා හුස්ම පොදටත් විස ද්‍රව්‍ය මුසුවීම, අපවිත්‍ර පාරිසරික තත්ත්ව නිසා මුහුණදෙන විවිධ ලෙඩ රෝග අප විසින් පරිසරයට දුන් දායාදයන් හි ප්‍රතිඵලයන් ය.

කැළි කසළ පිරි, මැසි මදුරු ගහණ, දුර්ගන්ධවත් පරිසරය මානව පැවැත්මට කිසිසේත් ම ගෝචර නොවේ. පිරිසුදු, ලස්සන පරිසරය ඇසට පි‍්‍රය උපදවන්නා සේ ම ජීවිතයට ද හිතකාමී ය. කුඩා දරුවෙකුට වුව එය තේරුම් ගැන්ම අපහසු නැත. එහෙත් අප ජීවත්වන මේ රටේ ඇතැම් මං මාවත්හි, ඇතැම් ගංගා, ඇළදොළ, ජල මූලාශ්‍රයන්හි, බැලු බැලූ තැන දකින්නට ලැබෙන්නේ අපවිත්‍ර පොලිතින් හා ප්ලාස්ටික් ද්‍රව්‍යය. දුර්ගන්ධවත් කැළි කසළ ය. නාස්පුඩු වසා දුර්ගන්ධය ඉවසාගෙන, නොදුටුවා සේ දෑස් වසාගෙන ගමන් බිමන් යන්නෝ ඒ තමන් ම කළ වැරැදිවල ප්‍රතිඵල බව බොහෝ විට නොසලකති.

එකම උදාහරණයක් දක්වමි. දෙමටගොඩ සිට කොළඹ කොටුව දක්වා දුම්රිය මාර්ගය පමණක් නිරීක්ෂණය කරන්නෙකුට දුම්රිය මාර්ගය අසල දසුන දිස් වන්නේ කුඩා කුණු කඳු ලෙසට ය. මේවා බැහැර කරන්නට ඇත්තේ ඇතැම් විට තාප්පයෙන් එහා ජීවත්වන නිවැසියන් විය හැකි ය. මිනිසුන් විපත් ළංකර ගන්නේ තමන් විසින් ම ය. ඉවක් බවක් නැතිව නුසුදුසු ලෙස පරිසරයට අපවිත්‍ර ද්‍රව්‍ය බැහැර කිරීම මිනිසුන් ලෙස අප ලජ්ජාවට පත්විය යුතු කරුණකි. වගකීම් පැහැර හරින්නකි. මෙවැනි පුද්ගලයන්ට නීති පනවා හෝ වරද අවබෝධ කර දිය යුතු ව තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, ජනපති ධූරයේ වැඩ බාර ගැනීමත් සමඟ පරිසර ආරක්ෂාව හා පරිසර අලංකාරත්වය විධිමත් කරන ලෙස පොලීසියට උපදෙස් ලබා දී ඇති බවට වාර්තා වුණි. එය රටක පෙර මග සුබ ලකුණකි. ජාතියක හැදියාව ලෝකයට කියාපාන එක් සාධකයකි, රටේ පරිසරය වර්තමානය ද, අනාගතය ද ගැන සිතා ගන්නා මෙවැනි තීරණ නිසිපරිදි ක්‍රියාත්මක කිරීමට සමස්ත ජන සහභාගීත්වය ලබා දිය යුතු ය. එවිට අරමුණු මල්ඵල ගැන්වෙනු ඇත. ජාතියක් ලෙස අපගේ යුතුකම ද, වගකීම ද ඉටු කිරීම දැන් අප ඉදිරියේ ඇත.

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 03 වනදා අඟහරුවාදා අපරභාග 11.14 ට ලබයි. 5 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 04 වනදා බදාදා ය.

මීළග පෝය දෙසැම්බර් 11 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

Full Moonඅමාවක

දෙසැම්බර් 25


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]