[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

සසර කතරේ

සංසාර කතරේ අතරමං වී
ගෙවන ජීවිත දුක් බරයි
කොහේ යන්න ද
කොහේ ඉන්න ද
ජීවිතය නෑ අස්ථිර යි
නිමාවක් නැති මේ භවේ දී
විඩාවක් සන්සිඳුව ලන්නට
සංසාර ගමනේ සුවය ලැබුමට
සොයා යමු අපි ඒ නිවන් මග
එයයි අරමුණ අපේ ජීවිතයේ
ඝනඳුරේ මං මුළාවීලා
අඳුර පසුපස ලුහුබඳින්නේ
ඇයි ඔබේ නෙත් පියවිලා
සොයා යනු මැන
බුදුරදුන් දෙසූ අමා දම් ගඟ ගල ගලා

****

මගේ කය

මල් පර වී වැටෙනා විට
පෙති ගිලිහී පතිතව බිම
වැටුණු කඳුළු බිඳු සේරම
දහම් පද වගේ
තබමි මෙසේ මලසුන මත
බිඟු විත නොවැදුණු ඒ මල
මගේ කය ද මේ මල මෙන්
පරවී යනවා

****

දම්සක් පැවතුම

දුකින් බර වූ භවයේ ඉරණම
පිළිපැදිය යුතු දිවියේ ඇවතුම
දෙසූ දහම් කඳ සසර මඟ නිම
ඉසිපතන ඉම මිගදාය බිම

සියලු සැප දී කයක් සැනසුම
මහා දුකක් විඳ සිතින් ඉවැසුම
පලක් නොමැතිය මැදය විසඳුම
අරි අටගි මඟ ලෙසට පැවසුම

****

මෙවර ජයග්‍රාහී කවිය

හරි මඟ දැක්ම

පෙර අත් භවේ කළ පින් ඵල අනුව පැතූ
මිනිසත් භවය ලැබ ජය ගත් විලස සිතූ
මිනිසෙක් වුණොත් තිරිසන් ගති වලට නතූ
මිනිසෙක් කියා කිවහැකි දැයි සිතිය යුතූ

පින් පව් නොදැන ඉඳුරන්ගේ රස වින්ඳේ
සම්බුදු අමා දහමය කෙලෙසුන් සින්දේ
තුන් දොර රකින්නට බැරි අය බෙරිහන් දේ
අවසන් මොහොත එනතුරු සමහරු නින්දේ

****

කඳුළු

කඳුළු බිංදු
දෙකොපුල
රූරා බසිනා
ඇසට අයිති නැත
බිඳුණ පෙමට
අයිති නැත
ජලයට මිස

****

සැමදා බුදුසරණ

ගෞතම මුනිඳු දෙසු දහමේ අමා රස
මෙලොවත් පරලොවත් සැපවත් කරන ලෙස
ගුණවත් කමෙන් අප හදවත් පිරෙන ලෙස
නිරතුරු කියා දෙයි සැමදා බුදු සරණ

තෙරුවන් ගුණය සැමදා සිහි කරන්නට
පන්සිල් රකින්නට ගුණ දම් වඩන්නට
කර සුන් පාප සිතිවිලි හැර දමන්නට
බුදු සරණින් ලැබෙන අනුබල අගෙයි මට

****

සැනසිලි සිසිල

මවකට දරුවනගෙ කැතකුණු අපුල නොවේ
ඇය හට නිදි වැරුම වෙහෙසට කරුණු නොවේ
දෙපයට නැළවීම සැනසිලි සිසිල සුවේ
සතහට මව් ගුණය කෙලෙසක වණනු ලොවේ

මව් ගුණ දන්නා දරුවනි ලොව සුප සන්න
කළගුණ සලකන්න පා යුග නම දින්න
සිතුමිණ ලෙස සිතා දියුණුව වෙත යන්න
පතමින් නිවන් සුව අත්පත් කර ගන්න

****

හද පුදසුන

පරම සත්‍ය බුදු හිමි දෙසූ දහම යි
එයින් බැහැර වෙනත් සත්‍යයක් නැත
මහද බැති පුදසුන මත
වැඩ සිටින බව මම දනිමි
සිත් පහන් සිළුව දල්වා
පුදසුන ආලෝකවත් කරමි
ඔබ පුදසුන කිළිටි කරන
ඉසි කෝ මද මාන සිතිවිලි
බැහැර කර දමමි
මෙත් කරුණා සුවඳ පැන් ඉස
හද පුදසුන පිවිතුරු කරමි

****

සමගිව සිටිමු

වත්සුණු තවරමින් වියදම් කර හොඳට
රන් මුතු මැණික් රිසි ලෙස පළඳා ගතට
තිබුණත් සිරුරෙ අපෙ ලේ මස් නහර ඇට
දිනකදි දිරා පත් වෙයි මහ පොළොව යට

සමඟිය සමාදානය වපුරා සැමට
මෙත් කරුණා වඩා සැමටම එක ලෙසට
ගෞතම මුනිඳු දෙසූ දහමට නොම ගැහැට
අපි වැට බඳිමු වෛරෙට ඉසිකෝ මනට

****

සදහම් පැතුම

බුදුන් උපන් දේශය නොවුණත් මෙදෙස
දහස් ගණන් සියවස් ඇත දහම් සඳ
එවන් උතුම් පින් මහිමය ලද පෙදෙස
රකින් හදින් වෙර යොදවා නිසි විලස

අමා නිවන ලද උතුමන් දෙසන ලද
සැබෑ දහම හඳුනාගෙන සසර තුළ
පමා නොවෙන් නිසි විදියෙන් පුදනු මැන
මෙමා විසින් දෙමි සදහම් තුති පැතුම

****

බුදු සමිඳුන් වගේ

වවුලන් ටික හඳ හරහා පියඹා යනවා
තරු කැට ටික හඳ අස්සෙන් එබී බලනවා
හඳ හාමී රෑ අහසම එළිය කරනවා
බුදු සමිඳුන් වගේ අපගේ අඳුර නිවනවා

****

දිවි ගෙවිය යුතු මෙලෙස

මෙලොව උපන් සැම සත්වයො මැරෙයි නිති
එය වළකන්න මෙදියත කිසි කෙනෙක් නැතී
එහෙව් ලොවක ජීවත් වෙන සැවොම අපී
ජීවත් විය යුතු යි සැම හට මෙතින් නිති

****

වස්සානය

දාගැබ් බෝ පිළිම පාළුයි නිසල රැයේ
බෝපත් බෝ මලුවේ මිලිනව විසිර තියේ
උවැසි උවැසියන් නොමැතිය ගමේ විහාරයේ
හිමි සඳ බවුන් වඩයි අමාවක දිලෙන රැයේ

****

නිවනින් සැනසෙන්න

ගෙවී ගියා පොසොන් පොහොය වැදගත් බව පෙන්නා
මිහිඳු සමිඳු දෙසූ දහම ලක්බිම පවතින්නා
උඳුවප් පුර පොහොය දවස ටික ටික ළං වෙන්නා
සඟමිත් තෙරණින් වැඩි බව දැන් සිහියට එන්නා

අනුරපුරේ මහ මෙවුනා උයනට ඔබ යන්න
මිහිඳු සමිඳු සිහි කරමින් බුදු හිමි නම දින්න
සඟමිත්තා තෙරණි නැමඳ සිත සනසා ගන්න
සිරිමාබෝ සමිඳු පුදා නිවනින් සැන සෙන්න

****

දිරිය අගේ

පස් පව් නොකර ගෙන ගිය ජීවිතය අගේ
ටික ටික ගමන් කරමින් අරි අටඟි මගේ
නැතිකොට සියලු දුක් කාටත් උරුම සගේ
නිවනට සැපත් වන්නට ගත් දිරිය අගේ

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 03 වනදා අඟහරුවාදා අපරභාග 11.14 ට ලබයි. 5 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 04 වනදා බදාදා ය.

මීළග පෝය දෙසැම්බර් 11 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

Full Moonඅමාවක

දෙසැම්බර් 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]