[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 47: පොළොන්නරුවේ පබළු වෙහෙර

පොළොන්නරුවේ පබළු වෙහෙර

මෙම පබළු වෙහෙරෙහි විශේෂත්වය වන්නේ පිළිම ගෙවල් නවයක් මෙම දාගැබ වටා දක්නට ලැබීම ය. මේවායින් සමහරක ඇත්තේ බුදුරජාණන් වහන්සේ ගේ ජීවමාන ප්‍රමාණයේ ශිලාමය ප්‍රතිමා වහන්සේ වන අතර, ඒවායින් කීපයක් හිඳි පිළිම ද, තවත් කීපයක් හිටි පිළිම ද වේ.

පොළොන්නරුවේ රාජධානියට අයත් නෂ්ටාවශේෂ වන්නේ පැරැණි නගර ප්‍රාකාරයෙන් වට වූ භූමිභාගය තුළ පිහිටි මහා දාගැබ් තුන කි. එයින් එකක් ලෙස කොරල් හෝ පබළු දාගැබ යන අරුතින් පබළු වෙහෙර යැයි හඳුන්වනු ලැබේ. පොළොන්නරු යුගයට අයත් සාහිත්‍ය ග්‍රන්ථවල “පබළු වෙහෙර” යනුවෙන් දැක්වෙන ස්ථානයක් ගැන සඳහන් නොවේ.පොදු ජන විශ්වාසය අනුව එම ස්ථානයට මෙකල ව්‍යවහාර කරන නාමය සිදුවන්නට ඇත්තේ මෙම ස්ථානයෙන් කලින් කලට කොරල් සහ අනෙකුත් පබළු වර්ග හමු වූ හේතුව ය.

මහා පරාක්‍රමබාහු රජුගේ ආගමික සේවාව ගැන සඳහන් වන විස්තරය චූලවංශයේ මෙම පබළු වෙහෙර ඉදිකරවන ලද්දේ රජුගේ අග මෙහෙසියක වූ රූපවති දේවිය විසින් බව තවදුරටත් එහි සඳහන් කරයි. එම විස්තරය මෙසේ ය. ඒ නරේන්ද්‍රයා මන වඩන පරිද්දෙන් හැසිරෙන්නා වූ පි‍්‍රයවාදීන් වූ ශ්‍රද්ධාශීලි අනේක ගුණ භරණයෙන් හෙබියා වූ නැටුම් ගැයුම්හි ද, ගීයෙහි ද, දක්ෂ වු කුශාග්‍රබුද්ධියෙන් යුක්ත වූ කරුණා ගුණ යෝගයෙන් හැම කල්හි සිහිල් මනස් ඇති රූපවතීන් අතුරෙන් ප්‍රවර වූ පතිව්‍රතා ධර්මය රක්නා වූ, ප්‍රඥාවන්ත වූ, පුණ්‍යවන්ත වූ, පවිත්‍ර ක්‍රියා ඇති ලෙව් හි පතළ කීර්ති ඇති රූපවතී නම් දේවි තොමෝ ආදි වශයෙන් චූලවංශයෙහි රූපවතී දේවිය පිළිබඳ ඉතා දීර්ඝ විස්තරයක් සඳහන් වෙයි. රන්මුවා නැවක් බඳු රන්මුවා මහා සෑයක් නුවර මැද කරවූවා ය.

ඉහත සඳහන් විස්තරය අනුව රූපවති

බිසව විසින් ගොඩනංවන ලද ස්තූපය නගරයෙහි පිහිටි අතර, එහි නටබුන් වූ ප්‍රාකාරය, බැම්ම එකල දක්නට ලැබුණි. මේ අනුව රූපවති බිසවගේ අනුග්‍රහයෙන් ඉදිකරවන ලද පබළු වෙහෙර නිසැක ලෙසින් ම හඳුනා ගත හැකි ය . මේ පිළිබඳව මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මහතා මෙසේ සඳහන් කරයි.

“නටබුන් වූ දාගැබෙහි උඩ කොටස් විනාශය දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන් අතින් තවදුරටත් ප්‍රබල වූ බව දාගැබ් පත්ලෙහි අද තැන්පත්ව ඇති ගඩොල් අවශේෂ සහ බදාම තට්ටුවලින් හෙළිවේ. කොත්කැරැල්ල මුළුමනින් ම අතුරුදන් ව ඇති අතර, දාගැබේ හතරැස් කොටුව ගඩොල් සැකිල්ලක් ලෙසින් පුරාවිද්‍යා වාර්තාවෙහි විස්තර කර ඇත. මෙය විනාශ කළවුන්ගේ කාරියක් විය හැකි ය.

මෙම පබළු වෙහෙරෙහි විශේෂත්වය වන්නේ පිළිම ගෙවල් නවයක් මෙම දාගැබ වටා දක්නට ලැබීම ය. මේවායින් සමහරක ඇත්තේ බුදුරජාණන් වහන්සේ ගේ ජීවමාන ප්‍රමාණයේ ශිලාමය ප්‍රතිමා වහන්සේ වන අතර, ඒවායින් කීපයක් හිඳි පිළිම ද, තවත් කීපයක් හිටි පිළිම ද වේ. එක් පිළිමයක් සැතපෙත ඉරියව්වෙන් නිරූපිත ය. තවත් පිළිම ගෙයක පාද ලාංඡනයක් ද දක්නට ලැබේ. මෙය පූජා වස්තු ඉතිහාසයේ විවිධ කාල පරිච්ඡේදයන්ට අයත් විය හැකි ය.

(පොළොන්නරුව, මධ්‍ය කාලීන ලක්දිව අග නගරය මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න පි. 168 –1998)

මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මහතා විසින් සඳහන් කරන ලද පබළු වෙහෙර අසල ඇති බුදුපිළිම වහන්සේලාට අමතරව පාද ලාංඡනයක් ද තිබෙන බව සඳහන් වේ. මේ පිළිබඳ විමසන විට පුරාණ භාරත දේශයේ පවා බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණයට පෙර පාද ලාංඡන, සිරිපා සටහන්, සිරිපතුල් සහිත වූ මූර්ති ඵලකවලට වැඳුම් පිදුම් කළ බව ඉතා ප්‍රකට ය. ලංකාවේ ද සිරිපතුල් ගල් සතරැස් හෝ ආයත චතුරශ්‍රාකාර ආකාරයෙන් දැකිය හැකි ය.

සාංචියෙහි හා භාරුත් කැටයම්වල බුදුපිළිමයක් දක්නට නැත. එහිදී බුදුරජාණන් වහන්සේ පෙනෙන්නට සිටිය යුතුම යැයි නිසැකයෙන් ම සැලකිය හැකි මූර්ති කැටයම්වල සිරිපා සටහනක් හෝ චක්‍රයක් ආසනයක්, ශ්‍රී මහා බෝධින් වහන්සේ වැනි සංකේත දක්නට ලැබේ.

(වල්ලිපුරම් රන් සන්නස හා හෙළ උරුමය සිරි සමන් විජේතුංග ( බුදු පිළිමය නිර්මාණයට පෙර යුගයේ වැඳුම් පිදුම් කළ සංකේත හා වස්තු කීපයක් පි. 43 -2003 දයාවංශ ජයකොඩි සහ සමාගම)

මෙම දාගැබෙහි පැරැණි නාමය කුමක් ද? යන්න මේ තාක් සොයා ගෙන නැති නමුත්, සැදැහැවත් වන්දනා කරුවන් විසින් පබළු වෙහෙර නමින් හඳුන්වනු ලැබේ. මේ පුද බිමෙහි වරින්වර හෝ පබළු හමුවී ඇති බැවින් මේ නාමය ව්‍යවහාරයට පත්වී යැයි කියනු ලැබේ. පසු කාලයේ ගස් කොළන්වලින් වැසී තිබුණු පස් කන්දක් මෙහි තිබුණු අතර මෙම දාගැබ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැණීම් කර පාදා ගෙන සංරක්ෂණය කර ඇත. පබළු වෙහෙරෙහි තවත් දක්නට ලැබෙන විශේෂත්වයක් නම් හතරැස් කොටුවෙහි යූපගල ආසන්නයේ තවත් නිධන්වස්තු තැන්පත් කිරීම ය.

(පොළොන්නරුවේ නටබුන්, ආචාර්ය කඹුරුපිටියේ වනරතන නා හිමි – පි. 103-1962)

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 03 වනදා අඟහරුවාදා අපරභාග 11.14 ට ලබයි. 5 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 04 වනදා බදාදා ය.

මීළග පෝය දෙසැම්බර් 11 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

Full Moonඅමාවක

දෙසැම්බර් 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]