[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෝසත් දරුවන්ට : සැදැහැ සිත සදයි සෙත

සැදැහැ සිත සදයි සෙත

පින්වත් දරුවනේ, යම් කෙනෙක් තමන්ට ක්‍රෝධ කරනවා නම්, එය දුරු කරන්නට, මැඩලන්නට හැකිවන්නේ ඒ තැනැත්තාට ද ක්‍රෝධ කිරීමෙන් නොවෙයි. මෛත්‍රිය දැක්වීමෙනුයි ක්‍රෝධය ජයගත හැකි වන්නේ. යම් කෙනෙක් අක්‍රොශ, පරිභව කරනවා නම්, ඒ කියන්නේ නරක වචනයෙන් බැණ වදිනවා නම්, එය දිනන්නට හැකි වන්නේ ද පි‍්‍රය වචනයෙන් පමණයි.

කෙනෙක් නින්දා . අපහාස කරනවා නම් එය දිනිය හැකි වන්නේ නින්දා නො කිරීමෙනු යි. මසුරු අය, පරිත්‍යාග නො කරන අය පරිත්‍යාගයෙන් දිනන්නට පුළුවන්. බොරු කියන අය දිනිය හැකිවන්නේ සත්‍යවාදී වචනයෙන් .බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ දහම් කරුණු අපගේ ජීවිතය සාර්ථක කර ගන්නට ඉතාම වැදගත් වෙනවා.

අපේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරමයේ වැඩ වෙසෙන කාලයේ ඒ නුවර ‘පුණ්ණ’ කියලා දිළිඳු ගොවියෙක් සිටියා. වත් පොහොසත්කමින් දුප්පත් වුවත්, ‘පුණ්ණ’ ගොවියාගේ පවුලේ අය ගුණ දහම්වලින් බොහොම පොහොසත්. බිරිඳ, එකම දියණිය විනීත ගති පැවතුම්වලින් යුතු වූවා. දුවේ, පුතේ ජීවිතයට මිල මුදල් පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ. මිල මුදල් නැතිවුණත් ගුණ යහපත්කම්වලින් පොහොසත් වෙන්න පුළුවන්. ඉතින් “පුණ්ණ” ගේ පවුලේ අයටත් ඒ වගේ ශ්‍රද්ධා සම්පන්න, සත්පුරුෂ ගතිගුණ තිබුණා.

රජගහනුවර ‘වේරංජ’ කියන සිටුවරයාගේ වතුපිටි, කුඹුරු වැඩ කරමින්, ඒවායින් ලැබුණ මුදලින් තමයි “පුණ්ණ” තම බිරිඳත්, දියණියත් ජීවත් කළේ. අවුරුදු කාලේ ආවා. දුගී දුප්පත් වුණත් පුණ්ණගේ ගෙදරටත් අවුරුදු ආවා. ඒත් අග හිඟකම්වලින් පෙළුණු පුණ්ණට කිසිම දෙයක් කරගන්නට වත්කමක් නෑ. ඒ නිසාම අවුරුදු උත්සවය ගැන කිසිදු හැඟීමක් තිබුණේ නෑ.

“අවුරුදු උත්සවයෙන් අපට වැඩක් නෑ” “අවුරුදු සමරන්න අපට මිල මුදල් නෑ”

ගොවියා නිතරම කීවා. හෙට දවසේ පවුලේ අයගේ කුසගින්න නිවා ගන්නට මොනවා හෝ සොයා ගන්නට ඕනෑ කියන අදහස පමණයි තිබුණේ. පුණ්ණ සුපුරුදු පරිදි රජගහනුවර සිටුතුමා වෙත ගියා. කුඹුරු සී සෑම සඳහා නගුලක් ඉල්ලා ගත්තා. ගොන් බානක්, වියගහත් ඉල්ලා සිටියා.”

“පුණ්ණ” අද සිට සතියක් ඉදිරියට මේ නගරයේ සියලු දෙනා ම අවුරුදු උළෙල සමරනවා. බාල, මහලු හැමෝම සතුටින්, කෙළිදෙළෙන් කල් ගත කරනවා. කිසි කෙනෙක් මේ දිනවල වැඩ රාජකාරිවලට යන්නේ නෑ. ඔබ පමණක් ඇයි සීසාන්නට යන්නේ” සිටුතුමා ගොවියාගෙන් ඇසුවා.

“සිටුතුමනි, මා කිසිදු ආදායමක් නැති, දුප්පත් ගොවියෙක්. ඊයේ කරන ලද කුලියෙන් තමයි අද දවසේ ජීවත් වන්නේ. කුසගින්න නිවා ගන්නට අවශ්‍ය කළමනා සපයා ගන්නේ. හෙට ජීවත්වීම සඳහා අද දවසේ කුලී වැඩක් කළ යුතුම යි. ඒ හැර, අවුරුදු උත්සවයට සූදානම් වීම සඳහා සතුටක් මගේ සිතේ නෑ. ඊට හැකියාවකුත් නෑ. ඔබතුමාගේ කුඹුරු සී සා, එයින් ලැබෙන වැටුපෙන් අවුරුදු උත්සවයට සුළුවෙන් හෝ සහභාගි වෙන්නම්. මට ගොන්බානක් ලබා දෙන්න”

දුප්පත් ගොවියා බැගෑපත් වුණා. අනුකම්පා කළ සිටුතුමා සී සෑමට අවශ්‍ය දේ ලබා දුන්නා. පුණ්ණ උදෑසනම කුඹුරට ගියා. සී සෑමට පටන් ගත්තා. එදා හිමිදිරි උදෑසන සැරියුත් මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා, සත් දිනක් සම්පූර්ණ කරමින් , පුණ්ණ සී සාන කුඹුර අසල මහා ගසක් සෙවණෙහි වැඩ සිටියා. පුණ්ණ උන්වහන්සේ දුටුවා. වහාම සී සෑම නවත්වා උන්වහන්සේ වෙත පැමිණියා. වැඳ නමස්කාර කළා. මහත් ශ්‍රද්ධාවෙන් පැන් පූජා කළා. දැහැටි පූජා කළා. පුණ්ණ ගොවියාගේ පූර්ව ආත්මයක පිනකට පහළ වූ සිතිවිල්ලක් අනුව තමයි මේ පින්කම සිදු කළේ. ඒ වගේම ඒ දානයෙන් මහත්ඵල මහානිශංස ලැබුණේ.ඉන්පසු ගොවියා නැවත කුඹුරට ගියා. මධ්‍යහ්නය වන තුරු සී සෑවා. හරිම මහන්සියි. තණ කෑමට ගවයන් නිදහස් කළා. සිය බිරිඳ ආහාර රැගෙන එන තුරු ගස් සෙවණකට වී විඩා හැරියා.

පුණ්ණ ගොවියාගේ බිරිඳ දවල් ආහාරයත් රැගෙන ලහි ලහියේ කුඹුරට එනවා. සැරියුත් මහරහතන් වහන්සේ තමන් ඉදිරියට වඩිනවා ඇය දුටුවා. පුදුමයට පත්වුණා.

‘අද මට ඉතාම වාසනාවන්ත දවසක්. පිනක් සිදු කරගන්නට මට හොඳම අවස්ථාවක් ලැබුණා. ඉදිරියෙන් වඩින්නේ සිල්වත්, ගුණවත් උත්තමයන් වහන්සේ නමක්. මගේ සැමියා දුක් මහන්සියෙන් හම්බ කරන ලද දෙයින්, ඔහුටම උයා පිහාගෙන යන ආහාරය මම මේ උත්තමයන් වහන්සේට පූජා කරමි, පූජා වේවා. ඒ පින මෙලොව යහපත පිණිස වේවා යි’ ප්‍රාර්ථනා කරමින් සැරියුත් මහ රහතන් වහන්සේට දානය පූජා කළා. දානය පිළිගත් සැරියුත් මහ රහතන් වහන්සේ පුණ්‍යානු මෝදනා කළා.

මහත් සොම්නසට පත් වූ ගොවි බිරිඳ ආපසු ගෙදර ගියා. වහා වහා තම ස්වාමියාට නැවතත් ආහාර පිළියෙල කළා. තමා ශ්‍රමණයන් වහන්සේ නමකට දානය පූජා කළ බව දියණියට පැවසුවා. දියණිය ද බොහෝ සතුටට පත්වුණා.

දැන් මධ්‍යාහ්නය පසුවෙලා. බිරිඳ තවම ආවේ නෑ. පුණ්ණ ගොවියාට හරිම කුස ගිනියි. ටික වේලාවකින් ආහාර බඳුන හිස තබා ගෙන තම බිරිඳ කඩිසර ගමනින් එන සැටි ගොවියා දුටුවා. තමන් ප්‍රමාද වීමට හේතුව ගොවි බිිරිඳ පැවසුවා.

“මම, කල්වේලා ඇතිව ඔබට ආහාර රැගෙන ආවා. අතරමගදී මා එන මග ඉදිරියේ ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩම කරනවා. ඔබට ගෙනා ආහාරය මම උන්වහන්සේට පූජා කළා.

නැවත නිවෙසට ගොස් ආහාර පිළියෙළ කරගෙන පැමිණි නිසා ප්‍රමාද වුණා.”

ඒ ඇසූ ගොවියා මහත් සතුටට පත් වුණා. බොහෝ පැහැදුණා. මහත් ශ්‍රද්ධාවෙන් සාධු කාර දෙමින් ඒ පින අනුමෝදන් වුණා. තමන් උදෑසන සැරියුත් මහ රහතන් වහන්සේට සිදු කළ පැන් සහ දැහැටි පූජාව පිළිබඳ සිහිපත් කළා. සිත සතුටින් පිරී ගියා. දිවා ආහාරය රැගෙන ගස් සෙවණේ මඳවේලාවක් විවේක ගත්තා. ඒ අතර ගොවියා අදහාගත නොහැකි සිදුවීමක් දුටුවා. තමන් සී සාන ලද කුඹුරේ පස් කැට සියල්ල රන් පැහැයට පත්වෙලා. පුදුම තරම් බබළනවා. ඔහු මේ විශ්මයජනක සිදුවීම තම බිරිඳට ද පෙන්නුවා. ඇය ද වික්ෂිප්ත වුණා.

මේ අසිරිමත් පුවත ගොවියා බිම්බිසාර මහ රජතුමාට දැන්වුවා. රජතුමා සේවකයන් සමඟ කුඹුරට ආවා. මේ සා විස්මයක් සිදුවුණේ පුණ්ණ ගොවියාගේත්, ඔහුගේ බිරිඳගේත් පුණ්‍ය මහිමයෙන් බව රජු දැන ගත්තා. රන් කැට සියල්ල රාජ්‍ය භාණ්ඩාගාරයේ තැන්පත් කළා.

බිම්බිසාර රජතුමා රජගහනුවර ධනවත්, බලවත් ප්‍රභූවරු රාජ මාලිගයට කැඳවුවා. මේ සා විශාල ධනස්කන්ධයේ එකම පුණ්‍යවන්තයා පුණ්ණ ගොවියා බව පවසමින් ඔහුට මහත් සම්මාන සත්කාර පුද කළා. එතැන් පටන් ඒ නුවර මහා ධන සිටාණන් බවට පත් කළා. පුණ්ණ ගොවියා එදා සිට පුණ්ණ මහා සිටුවරයා ලෙස ප්‍රසිද්ධියට පත් වුණා.

පුණ්ණ සිටුතුමා සත් මහල් මන්දිරයක් ඉදිකළා. තම දියණිය උත්තරාව ද, බිරිඳ ද සමඟින්, රජවරු, සිටුවරු, ප්‍රභූවරු සහභාගි කරවාගෙන බුදුරජාණන් වහන්සේ ප්‍රමූඛ මහරහතන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය උදෙසා පුරා දින සතක් මහා දන් පිරිනැමුවා. මහා දානමය පින්කම අවසානයේ බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ පුණ්‍යානුමෝදනාව අවසානයේ පුණ්ණ සිටුතුමා, සිටුදේවිය, උත්තරා දියණිය ඇතූළු සැදැහැවත් බොහෝ දෙනෙක් සෝවාන් ඵලයට පත්වුණා.

ටික කාලයක් ගෙවීගියා. උත්තරා සිටු දියණිය රජගහනුවර බ්‍රාහ්මණවංශික සිටු කුමාරයෙකුට සරණ පාවා දුන්නා. විවාහ දිවියට ඇතුළත් වූ උත්තරා සිටු දියණිය බුදුපාමොක් මහා සංඝරත්නය කෙරෙහි අධිකතර ශ්‍රද්ධාවෙන් සිව්පසයෙන් උපස්ථාන කොට පින් රැස් කර ගැනීම සඳහා තම සැමියාගේ කටයුතු තාවකාලිකව වෙනත් කාන්තාවකට පැවරුවා.

උත්තරා සිටු දේවියගේ මන්දිරයේ අසීමිත සම්පත් දුටු ඒ කාන්තාවගේ සිතෙහි ඇතිවුණේ අසීමිත තණ්හාවක්. ඇය උත්තරාව කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇති කර ගත්තා. උත්තරාව සතු සියලු යස ඉසුරු තමන් සතු කර ගැනීමේ කූඨ අදහසින් උත්තරා කුමරිය විනාශ කිරීමට උපායක් සිතුවා. කැකෑරෙමින් පැසෙන තෙල් බඳුනක් කුමරියගේ හිස මත වත්කළා. දරුවනේ, සිදුවුණේ කුමක්ද දන්නවාද?

උත්තරා කුමරිය තුළ පැවැති කරුණා, මෛත්‍රිය, හේතුකොට ගෙන ඇයට එයින් කිසිදු උපද්‍රවයක් සිදුවුණේ නෑ. එම සිදුවීම මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළා. සදහම් දේශනාව අවසානයේ සිටු පුත්‍රයාත්, ඔහුගේ පියාත්, පන්සියයක් පරිවාර ස්ත්‍රීන් සෝවාන් බවට පත්වුණා. ක්‍රෝධ කළ අයට මෛත්‍රිය දැක්වූ උත්තරා සිටු කුමරිය සකෘදාගාමී වුණා. දුටුවා නේද දරුවනේ පුණ්ණ ගොවියා සැරියුත් මහ රහතන් වහන්සේට පූජා කළ පැන්, දැහැටි දානයේත්, ගොවි බිරිඳ පූජා කළ දානයේත් පින් මහිමයෙන් කුඹුරේ පස් කැට රන් කැට බවට පත්වුණා. අවසානයේ සියලු දෙනාම සතුටින් වාසය කොට මාර්ගඵල අවබෝධයට පත් වුණා. සැනසීම උදා කර ගත්තා.

පින්වත් දරුවනේ. අප සෑම කෙනෙක් ම තමන්ට හැකි පමණින් දන් දෙන්නට පුරුදු වෙන්න ඕනෑ. පුංචිකාලයේ සිටම ඒ සඳහා හුරුවක් ලබා ගන්නට ඕනෑ. එමඟින් මේ ජීවිතයටත්, සාංසාරික ගමනටත් සිදුවන්නේ යහපතක්ම යි.

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 03 වනදා අඟහරුවාදා අපරභාග 11.14 ට ලබයි. 5 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 04 වනදා බදාදා ය.

මීළග පෝය දෙසැම්බර් 11 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

Full Moonඅමාවක

දෙසැම්බර් 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budus[email protected]