[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නාගසේන තෙරුන්ගේ සම්බුදු ගුණ වැයුම

නාගසේන තෙරුන්ගේ සම්බුදු ගුණ වැයුම

අප ඉගෙන ගනිමින් සිටින්නේ සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට පත් වූ මිලින්ද ප්‍රශ්නය සදහම් ග්‍රන්ථයේ සඳහන් අසිරිමත් සදහම් කරුණුයි.

විශ්මිත ශාස්තෘ ගෞරවයෙන් හෙබි නාගසේන මහරහතන් වහන්සේ මිළිඳු රාජ ප්‍රශ්නය නම් ග්‍රන්ථයේ බුද්ධ වර්ගයේ සම්බුදු ගුණ ඉස්මතු කරන අයුරු ඉතා මනහර ය.

මිළිඳු රජු මෙසේ ඇසුවේ ය. “ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ දුටු සේක් ද?

“නැත මහරජාණෙනි”.

“ඔබ වහන්සේගේ ආචාර්යයන් වහන්සේලා විසිනුත් බුදුරජාණන් වහන්සේ දක්නා ලද හ ද?”

‘නැත මහරජාණෙනි’

“එසේනම් නාගසේනයන් වහන්ස, “බුද්ධ’ කියා කෙනෙක් නැහැ නෙව.”

එවිට නාගසේනයන් වහන්සේ මෙසේ වදාළ සේක.

එසේ නම් මහරජාණෙනි, හිමාල පර්වතයෙහි පිහිටි “ඌහා’ නම් නදිය ඔබ විසින් දැක තිබේ ද? “

“නැත ස්වාමීනි”

“ඔබේ පියාණනුත් ඌහා නදිය දැක තිබේ ද?”

“නැත ස්වාමීනි”

එසේනම් මහරජාණෙනි, ඌහා කියා නදියක් නැතිද?.” “තිබෙනවා ස්වාමීනි, මා විසින් ඌහා නදිය නුදුටුවත් , මගේ පියාණනුත් ඌහා නදිය නුදුටුවත් ඌහා නමින් නදියක් තිබෙනවා.”

“මහරජාණෙනි, ඔය විදිහටම තමයි මා විසින් භාග්‍යවතුන් වහන්සේ නො දක්නා ලද සේක් නමුත්, ආචාර්යයන් වහන්සේ විසිනුත් භාග්‍යවතුන් වහන්සේ නො දක්නා ලද සේක් නමුත් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි සේක් ම ය. ”

බුදුරදුන්ගේ අනුත්තරභාවය

මිළිඳු රජු මෙසේ ඇසුවේ ය.

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, බුදුරජාණන් වහන්සේ් අනුත්තර වන සේක් ද?”

“එසේය මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ අනුත්තර වන සේක”

“ස්වාමීනි, නාගසේනයන් වහන්ස, නුදුටු විරූ කෙනෙක් ගැන ඔබ වහන්සේගේ කොහොමද දන්නේ, බුදුරජාණන් වහන්සේ අනුත්තර වන සේක කියලා?”

”මහරජාණෙනි, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? මහා සමුද්‍රය නුදුටු විරූ යම් කෙනෙක් සිටිත් ද? ඒ මහා සමුද්‍රය ගැඹුරු බවත්, පමණ කළ නොහැකි ජල කඳක් ඇති බවත්, එහි යටට කිමිදීම ඉතා දුෂ්කර බවත්, මේ ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන පංච මහා නදීන්ගේ ජලය නිරතුරුව ම මහා සයුරට පිවිසෙමින් තිබෙන බවත්, ඒ මහා සාගරය අඩුවක් හෝ වැඩියක් හෝ නැති බවත් ඔහු දන්නවා ද? “

“එසේය ස්වාමීනි, දන්නවා”

“ඒ විදිහම තමයි මහරජාණෙනි, මහත් වූ ශ්‍රාවක සංඝයා පිරිනිවන්පාන බව පෙනෙද්දී තමයි මා දන්නේ භාග්‍යවතුන් වහන්සේ අනුත්තර වන සේක් බව“.

නැවත මිළිඳු රජු මෙසේ ඇසුවේ ය.

“ස්වාමීනි, නාගසේනයන් වහන්ස, බුදුරජාණන් වහන්සේ අනුත්තර කියා දැනගන්නට පුළුවන් වන්නේ කෙසේ ද?”

“මහරජාණෙනි, මෙය පෙර සිදුවූ දෙයක්. තිස්ස නම් ස්ථවිරයන් වහන්සේ නමක් වැඩ සිටියා. උන්වහන්සේ ලේඛන ආචාර්යයන් වහන්සේ නමක්. උන්වහන්සේ අපවත් වී බොහෝ වර්ෂ ගණනක් වෙනවා. උන්වහන්සේ ගැන අපි දැනගන්නේ කොහොම ද?

“ස්වාමීනි, උන්වහන්සේ ලියන ලද ලේඛන වලිනුයි. ”

“මහරජාණෙනි, ඒ විදිහම තමයි. යමෙක් ධර්මය දකී ද, ඔහු භාග්‍යවතුන් වහන්සේ දකී. මහරජාණෙනි, ධර්මය වනාහී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය.”

යළි පිළිසිඳ ගැනීම

මිළිඳු රජ නැවත මෙසේ ඇසුවේ ය

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, මේ ශරීරය පරලොව යන්නෙත් නැත්නම්, යළි පිළිසිඳ ගන්නවා නම් එබන්ඳක් තිබේ ද?”

“එසේය මහරජාණෙනි, මේ ශරීරය පරලොව යන්නේ නැහැ. නමුත් පිළිසිඳ ගන්නවා.”

“ස්වාමීනි, නාගසේනයන් වහන්ස, මේ ශරීරය පරලොව නො යද්දී යළි පිළිසිඳ ගන්නේ කොහොම ද?”

‘මහරජාණෙනි, යම්කිසි පුරුෂයෙක් පහනකින් තවත් පහනක් දල්වනවා. එතකොට මහරජාණෙනි. අර මුලින් ඇති පහන පසු පහනට ආවා ද?”

නැත ස්වාමීනි,

“මහරජාණෙනි, ඒ විදිහම තමයි මේ ශරීරය පරලොව යන්නේ නැහැ. නමුත් යළි පිළිසිඳ ගන්නවා”

“ස්වාමීනි, තවත් උපමාවක් වදාළ මැනව“

“මහරජාණෙනි, ඔබ කුඩා අවදියේ දී ශ්ලෝක උගන්වන ආචාර්යපාදයන් සමීපයෙහි සිට කිසියම් ශ්ලෝකයක් ඉගෙන ගෙන තිබෙනවා ද?

“එසේය ස්වාමීනි”

“කිම? මහරජාණෙනි, ඒ ශ්ලෝකය ආචාර්යපාදයන් තුළින් නික්මී ඔබ තුළට ආවා ද?”

“නැත ස්වාමීනි”

“මහරජාණෙනි. එබඳුම තමයි. මේ ශරීරය පරලොව යනවා නොවේ. නමුත් යළි පිළිසිඳ ගන්නවා”.

ශරීර සංක්‍රමණය

මිළිඳු රජු නැවත මෙසේ ඇසුවේ ය.

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, මේ ශරීරයෙන් වෙනත් ශරීරයකට සංක්‍රමණය වන කවුරුන් හෝ සත්ත්වයෙක් ඉන්නවා ද?

“ නැත . මහරජාණෙනි,”

“ ස්වාමීනි, නාගසේනයන් වහන්ස, මේ කයෙන් වෙනත් කයකට සංක්‍රමණය වන කෙනෙක් නැත්නම්,ඔහු පාප කර්මවලින් නිදහස් වුනා නොවේ ද?”

“එසේය මහරජාණෙනි, ඉදින් පිළිසිඳ ගන්නේ නැත්නම්, පාප කර්මයන්ගෙන් නිදහස් වෙනවා තමයි. යම් කරුණක් නිසා යළි පිළිසිඳ ගන්නවා ද? ඒ කරුණු නිසාවෙනුයි ඔහු පාප කර්මයන්ගෙන් නිදහස් නො වෙන්නේ.”

“ස්වාමීනි, උපමාවක් වදාළ මැනව.”

“මහරජාණෙනි, එක්තරා පුරුෂයෙක් තවත් පුරුෂයෙකුගේ අඹයක් සොරකම් කරනවා . කිම? ඔහු දඬුවම් ලැබිය යුතුයි නේ ද? “

“එසේය ස්වාමීනි, ඔහු දඬුවම් ලැබිය යුතුයි”.

“මහරජාණෙනි, ඔහු යම් අඹයක් අර පුද්ගලයා සිටෙව්වා ද, මොහු ඒවා සොරකම් කළේ නැහැ නෙව. ඉතින් කවර කරුණක් නිසා ද මොහු දඬුවම් ලැබිය යුත්තේ.

“ස්වාමීනි ඒ සොරකම් කළ අඹ හටගත්තේ කලින් සිට වූ අඹ නිසයි. ඒ නිසා ඔහු ද ඬුවම් ලැබිය යුතු ය.”

“මහරජාණෙනි, ඔය ආකාරයටමයි. මේ නාමරූපය කරණ කොටගෙන යම් කුසල අකුසල කර්මයක් කරයි ද, ඒ කර්මයෙනුයි අන්‍ය වූ නාමරූපයක් පිළිසිඳ ගන්නේ. ඒ හේතුව නිසයි පාප කර්මයන්ගෙන් නිදහස් නො වන්නේ”.

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඔබ වහන්සේ ඉතා දක්ෂ වන සේක” .

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් 25 වනදා සඳුදා අපරභාග 10.40 ට ලබයි. 26 වනදා අඟහරුවාදා අපරභාග 08.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 26 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 04 වනදා බදාදාය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]