[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඉල් අමාවක 2019.11.26

අනාගතය සුරක්ෂිතය


අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන ධර්ම දුත පිරිස දේවානම් පියතිස්ස රජ දවස, සම්බුදු දහමේ පණිවුඩය රැගෙන වැඩිදා සිට මේ රටේ අස්සක් මුල්ලක් නෑර පොදු ජන හදවත් සදහම් සිසිලසෙන් නිවී සැනසුණි. මූලික වශයෙන් සතා සිවුපාවාගේ සිටම ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත වූ අතර, සොර සතුරු බිය පහවුණි. ඔවුනොවුන් හා විශ්වසනීය බව තහවුරු වූ අතර, ජන සමාජයෙන් මුසාව පිළිකෙව් කෙරිණි. සුරාව සූදුව පිළිකෙව් කෙරිණි. බොදු මග අනුව සිංහල සංස්කෘතිය ගොඩ නැඟුණි.

කලින් කල රජ පැමිණි ශ්‍රේෂ්ඨ නරපතීන්ගේ අනුග්‍රහයෙන්, අප්‍රතිහත ධෛර්යයෙන් මේ රටේ සම්බුද්ධ ශාසනයේ දියුණුවට, සුරක්ෂිත බවට කටයුතු කෙරිණි. තවත් ලෙසකින් කියනවා නම් අපේ සිංහල රජ දරුවෝ සිය දිවි දෙවැනි කොට සම්බුදු දහම රැක ගත්හ . උතුම් සංඝරත්නයෙහි අනුශාසනා , ආශිර්වාද එහි දී පුරෝගාමී විය. යම් හෙයකින් රටට, ජාතියට, සම්බුද්ධ ශාසනයට යම් අහිතකර තත්ත්වයක් උදාවන්නේ නම්, ඒ හැම මොහොතක ම මේ රටේ මහා සංඝරත්නය පෙරමුණ ගනිමින් රාජ්‍ය නායකත්වයට අනුශාසනා කළහ. ඒ අනුව කිසිදු බලවේගයකට මේ පින්බිමේ සම්බුදු දහමට එරෙහිව ගමනක් නොවන්නේ ම ය. අභිනව ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ නායකත්වයට පත්වීම ද ඒ අනුව ඓතිහාසික ය. බෞද්ධාගමට, බෞද්ධ සංස්කෘතියට වින කරන කවර බලවේගයකට වුව ද රාජ්‍ය නායකත්වයෙන් යම් බුරුලක් නොලැබෙන තාක් හිස එසවිය නොහැක්කේ ම ය. හිරු දුටු පිනිසේ ඒ බලවේග වියැකී යන්නේ ය. ඒ අනුව සිංහල බෞද්ධයන්ට සේ ම අන්‍ය ජාතීන්ට ද, අන්‍ය ආගමිකයන්ට ද අනාගතය පිළිබඳ තිරසර විශ්වාසයක් ඇති කරලීමට නව ජනාධිපතිතුමා, ජනපති ධූරයේ වැඩ භාර ගැනීමත් සමඟ කළ ප්‍රකාශනයත් සමඟ අවස්ථාව උදාවී තිබේ. එතුමා පැවසුවේ වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති සිංහල සංස්කෘතිය හා උරුමයන් අප සැම විටම ආරක්ෂා කළ යුතු බවත්, ඒ නිසා අපේ සාර ධර්ම, පාරම්පරික සිරිත් විරිත් හා අපේකම ආරක්ෂා කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන බවත් ය. ඉතිහාසය පුරා මේ රටේ ප්‍රධාන සංස්කෘතිය හා බැඳී සාමයෙන්, සහජීවනයෙන් ජීවත්වු සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට තම ආගමික හා ජාතික අනන්‍යතාවන් රැකගෙන ගෞරවාන්විත ව ජීවත්වීමට ඇති අයිතිය සුරකින බව ය. රටට, ජාතියට, ආගමට ආදරය ඇති, ඉතිහාසය දන්නා, ජාතියේ, අපේ උරුමයේ අක් මුල් හඳුනන කවර ශ්‍රී ලාංකිකයෙකුට වුව ද මෙය අමන්දානන්දයට කරුණකි. තවත් ලෙසකින් දූ දරුවන්ගේ අනාගතය ගැන දකින සුබ සිහිනයකි.

විවිධ බලවේග නිසා අපේ රටේ සංස්කෘතිය කලෙක සිට ඇතැම් තැනෙක අවිචාරවත් වෙමින්, වල් බිහිවෙමින් ආ සැටියක් පෙනෙන්නට තිබුණි. ඇඳුම පැළඳුමේ සිට, ආචාර සමාචාර, යහගුණ සියල්ල බොහෝ තන්හි සෝදා පාළුවට යමින් තිබුණි. ඉතිහාසය පුරා අපේ රටේ කාන්තාවන්, තරුණියන් සුරාවට ලොල් වූ අයුරු අපි අසා නැත්තෙමු. එහෙත් මෑත ඉතිහාසය තුළ ඇතැම් තරුණ දියණිවරුන්ට ඒ පිළිබඳව ලජ්ජාවක් බියක් වන බවක් නොපෙනේ. පාසල් දරුවන් පවා ඇතැම්විට මතට ගොදුරු කර ගනිමින් සිටී. අභිනව ජනපති තුමන් ප්‍රකාශ කරන ලෙස එවැනි දුරාචාරයන්ට මින් මතු වැට බැඳෙනු නියත ය. රටක පොදු ජනතාවගේ බලාපොරොත්තු අතර එය ද ප්‍රධාන ය.

රටක ජාතියක දියුණුවට, ජනතාවට නිදහසේ ජීවත්වීමට, ආගමානුකූල දිවි පැවැත්මක් ගත කිරීමට තමන් ජීවත්වන මව් බිම ත්‍රස්තවාදයෙන්, පාතාල ක්‍රියාකාරකම්වලින්, සොර බියෙන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන්, කාන්තා හා ළමා හිංසනයෙන් තොර විය යුතු ය. ඒ සුරක්ෂිත බව ඇති කරන බවට, ඒ සඳහා රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය යළි ශක්තිමත් ව ගොඩනංවන බවට නව ජනාධිපතිතුමා කළ ප්‍රකාශය ද ජාති, ආගම් භේදයකින් තොරව සමස්ත පුරවැසියන්ටම සතුට ගෙන දෙන්නකි.

සම්බුදු දහමෙහි , සමස්ත ජීවි, අජීවි පරිසරයෙහි සුරක්ෂිත බව ඇති කළ යුතු බව නිරන්තරයෙන් අවධාරණය කොට තිබේ. දූෂිත පරිසරය වෙනුවට අනාගත පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කර දීම ද නව ජනපතිතුමන් වගකීමක් කොට ගෙන තිබේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරිදි බෞද්ධ නායකයෙකු තුළ තිබිය යුතු ගුණාංග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශයන් හි ගැබ්ව තිබේ. එවැනි නීතිගරුක, විනය ගරුක රටක් ගොඩ නගන්නට එතුමාට අවශ්‍ය සහාය, ශක්තිය දීම ජාතියක් ලෙස අප සතු වගකීමකි.

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් 25 වනදා සඳුදා අපරභාග 10.40 ට ලබයි. 26 වනදා අඟහරුවාදා අපරභාග 08.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 26 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 04 වනදා බදාදාය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]