[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තුන්සිත පහදවාගෙන දන් දෙමු

තුන්සිත පහදවාගෙන දන් දෙමු

පින්වත් දරුවනේ, දාන, සීල, භාවනා දී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා තුළින් අපට කුසල් රැස් වෙනවා. මෙලොව ජීවිතයටත්, පරලොව ජීවිතයටත් එහි ආනිශංස ලැබෙනවා.

දහඩිය මහන්සියෙන්, ධාර්මික ව උපයාගත් ධනයෙන් දන් දෙනවා නම් ඒ දානයේ ආනිශංස වඩාත් බලවත්. ඒ වගේම තුන්සිත පහදවාගෙන දෙන දානය මහත්ඵල යි. මහානිශංස යි.

දානයක් පූජා කිරීමට පෙර තමන්ගේ සිතේ ඒ ගැන පැහැදීමක්, සතුටක් ඇතිවෙනවා නම්, එම දානය පූජා කරන මොහොතේ ද සිතේ පැහැදීම, සතුට පවතිනවා නම්, දානය පූජා කිරීමෙන් පසුව ද සිතේ පැහැදීම සතුට එලෙසම පවතිනවා නම්, දරුවනේ එයට කියනවා තුන් සිත පහදවා දුන් දානයක් කියලා.

ඒ වගේම දරුවනේ මාර්ගඵලලාභී උතුමන් වහන්සේලාට දානය පූජා කිරීමෙන් බීජ වැපිරූ කෙත් යායකින් අස්වනු ලැබෙනවා වගේ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. ඒ උතුම් දානයත් මහත්ඵල යි. මහානිශංසයි. අද පින්වත් දරුවන්ට කියලා දෙන්නේ තුන් සිත පහදවාගෙන මාර්ගඵලලාභී උතුමන් වහන්සේට දන් දීමෙන් අනුසස් ලැබූ පූර්ණ සිටුවරයා ගැන යි.

අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වැඩ වෙසෙන සමයේ ජෙට්ඨක නම් සිටුවරයෙක් වාසය කළා. මේ සිටුවරයා බොහෝම ධනවත්. එකසිය විසි කෝටියක ධනයට උරුමකම් කීවා. ඔහුගේ සිටු දේවියත් ඒ හා සමාන ධනයකට හිමිකම් කීවා. මේ දෙදෙනාට පුත් කුමාරයෙක් සිටියා. නම පූර්ණ. මව්පියන්ගේ රැකවරණයේ ආදරයෙන් හැදෙන වැඩෙන මේ පුංචි කුමාරයා ටිකෙන් ටික උස් මහත් වුණා. නව යොවුන් වියට පත් වුණා.

ඒත් තමන්ගේ පුතාට ශිල්ප උගන්වන්නට, ඒ කියන්නේ අධ්‍යාපනය ලබා දෙන්නට මේ අම්මයි තාත්තයි අකැමැති වුණා. සිය එකම පුතු දුර බැහැර තක්ෂලාවට යැවීමෙන් විවිධ යහළුවන් ඇසුරට ලැබී අයහපත් තරුණයෙක් වේ යැයි ඔවුන් සිතුවා. ජීවත්වීමට මහා ධනස්කන්ධයක් තිබෙන නිසා වැඩිදුර අධ්‍යාපනයක් ලබාදීම අනවශ්‍ය බව සිතුවා. මේ නිසා පූර්ණට සිදුවුණේ නිවසේ දී සාමාන්‍ය අධ්‍යාපනයක් ලබා ගැනීමට යි.

ඉතින් දරුවනේ, පූර්ණ සිටු කුමාරයා සියලු සැප සම්පත්වලින් ආඪ්‍යව හැදී වැඩුණා. දැන් විවාහයට සුදුසු වයසේ. මව්පියන් කුමරුට ගැලපෙන සුදුසු සිටු කුමාරිකාවක් සොයා විවාහ කර දුන්නා. විවාහයෙන් පසුවත් අම්මගේ තාත්තගේ ආදරය මැද පූර්ණ සිටුවරයා සතුටින් කල්ගත කළා. ටික කාලයක් ගත වුණා. පූර්ණ සිටුවරයාගේ මව්පියන් මිය පරලොව ගියා. මව්පියන් සතු මහා ධනයේ හිමිකරු වූයේ පූර්ණ .

ඒත් නො සිතූ දෙයක් සිදු වුණා. මහා ධන සම්භාරයක් තබා සිටු මැදුරේ පාලනයවත් හරියාකාරව සිදු කරගන්නට පූර්ණ සිටුතුමාට දැනුමක්, අවබෝධයක් තිබුණේ නෑ. ඇයි? ඔහුට ජීවිතය පිළිබඳව නිසි වයසේ දී නිසි අධ්‍යාපනයක් නො ලැබීම නිසා.

මව්පිය උරුමයෙන් ලැබුණු ධනය පාලනය කරගන්නට, ආරක්ෂා කරගන්නට, වැඩිදියුණු කරගන්නට කිසිම දැනුමක් නැති පූර්ණ සිටුතුමා දවසින් දවස පිරිහීමට පත් වුණා. කේන්ති ගත්තා. සිටු දේවිය සමඟ ප්‍රශ්න ඇතිකර ගත්තා. නරක මිතුරු ඇසුරට යොමු වුණා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණා. තවත් බොහෝ අයහපත් වැඩ කළා. ඉර නැඟි වෙලාවේ සිට ඉර අවරට යන තුරුත් යහළුවන් සමඟ විනෝද වුණා. සුරාවට ලොල්වුණා. ඔහුගේ ධනය ටිකෙන් ටික විනාශ වුණා. අන්තිමේ දී සිටු මාලිගයත් විකුණා දැම්මා. ණයකාරයෙක් වුණා.

සියල්ල අහිමි වුණු පූර්ණ සිටුතුමා මහ මඟට වැටුණා. ඔහුට සිදුවුණේ අප්‍රසිද්ධියේ, සැඟවෙමින් නගරයෙන් පිටමං වීමට යි. අන්තිමේ දී ඔහු නතර වුණේ සොර කණ්ඩායමක් ළඟයි. දවසක් නිවෙසක් බිඳිමින් සිටිය දී පූර්ණ සිටුතුමා නිවැසියන්ට හසු වුණා. අනෙක් සොරු පැන ගියා. අන්තිමේ ඉතිරි වුණේ තමන්ට තමන් පමණ යි.

ඉතින් දරුවනේ, සොරකම් කිරීමේ වරදට පූර්ණ සිටුවරයාගේ හිස ගසා දමන ලෙස රජු නියෝග කළා. වධකයන් විසින් සිටුවරයාගේ අත පය ගැටගසා, පහර දෙමින් වධක භූමිය වෙත ගෙන යනු ලැබුවා. සිටුතුමා දැක ගන්නට මහ සෙනඟ මඟ දෙපස රැස්වුණා. සිටුවරයාගේ සිරුර ම දහදියෙන් නැහැවිලා. පහර පිට පහර වැදීම නිසා සිරුර ඉදිමී වේදනා ගෙන දුන්නා. අපහසුවෙන් ඇවිද ගියා.

එක් වීදියක, මැදුරක උඩුමහලේ සිටි තුලසා නම් නගරසෝභිනිය වධයට ගෙන යන පූර්ණ සිටුතුමා දුටුවා.

“මේ සිටුතුමා මට මොන තරම් උපකාර කර තිබෙනවා ද? මොනතරම් තෑගි ගෙන දී තිබෙනවා ද? මරණයට ගෙන යන මොහොතේ මා මොහුට කෙසේ උපකාර කරන්න ද? ඔහු දැඩි කුසගින්නේ සිටින බව පෙනෙනවා.”

ඇය සිතුවා. තමන් සැදු ඉතා රසවත් අග්ගලා ටිකක් බඳුනකට ගෙන, පැන් භාජනයක් ද රැගෙන ඇය වධකයන් වෙත දිව ගියා. සිටුතුමාට අග්ගලා ටික ආහාරයට ගන්නට ඉඩදෙන ලෙස වධකයාගෙන් ඉල්ලා සිටියා. වධකයා රවා බැලුවා. එහෙත් ඇයගේ අනුකම්පා සහගත ස්වභාවය දුටු වධකයා ඊට ඉඩ දුන්නා. පූර්ණ සිටුතුමාට අග්ගලා බඳුනත්, පැන් බඳුනත් ලැබුණා.

මේ සානුකම්පිත අවස්ථාවේ මුගලන් මහ රහතන් වහන්සේ මරණයට ගෙන යන පූර්ණ කෙරෙහි කරුණාවෙන් උපකාරවීමට සිතා අහසෙහි වැඩ සිටියා. පූර්ණ ඒ පින්බර දසුන දුටුවා.

“මම රජගහනුවර ජෙට්ඨ සිටුතුමාගේ එකම පුතා. අම්මගේ තාත්තගේ ඇවෑමෙන් මට මහ ධනයක් ලැබුණා තමයි. ලස්සන සිටු කුමාරියක් විවාහකර ගත්තා තමයි. ඒත් පාප මිතුරු ඇසුර නිසා මම සුරාවට ලොල් වුණා. සියලු දේ නැති වුණා. සොරෙක් බවට පත්වුණා. අන්තිමේ වරදකරුවෙක් වී මරණයට නියම වුණා. මට මේ අග්ගලා ආහාරයට ගත්තා යැයි කිනම් ඵලයක් ද? පූර්ණ සිටුතුමා තමන්ට ම පාපොච්චාරණය කර ගත්තා.

“මම මේ අග්ගලා ටිකත්, පැන් ටිකත් මුගලන් මහරහතන් වහන්සේට පූජා කරනවා. පූජා වේවා’යි සතුටින්, ඉතා පැහැදීමෙන් අධිෂ්ඨාන කළා.

මුගලන් මහ රහතන් වහන්සේ එම දානය පිළිගත්තා. පූර්ණ සිටුවරයාට පෙනෙන්නටම දානය වැළඳුවා. පින් අනුමෝදන් කළා. ඉන්පසුව සිටුවරයාට පෙනෙන්නට ම අහසින් වැඩම කළා. මේ ආශ්චර්යවත් දර්ශනය දුටු සිටුවරයාට පුදුම තරමේ ශ්‍රද්ධාවක් ඇති වුණා. මහා හඬින් සාධුකාර දුන්නා. මොහොතකට පසු වදකයන් විසින් පූර්ණ සිටුවරයා මරණයට පත් කරනු ලැබුවා.

ඒ මොහොතේ පූර්ණ සිටුවරයා සිහිපත් කරමින් සිටියේ තමන් විසින් පූජා කරන ලද දානය පිළිබඳව යි. මරණයට පත් වූ සිටුවරයා ඒ ආසන්නයේ ම වන ලැහැබක භූමාටු දෙවියෙක් ව පහළ වුණා.

මේ විදියට දෙවියෙක් ව පහළ වෙන්නට හේතු වුණේ තුන් සිත පහදවාගෙන දුන් දානයේ මහත්ඵල මහානිශංසයෙන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේ ම පූර්ණ සිටුවරයාට ඒ දානමය පින්කම කරගත හැකි වුණේ ‘තුලසා’ නගරසෝභිනිය නිස යි. කළගුණ සැලකීමේ අගයත් බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කළා.

පින්වත් දරුවනේ, හොඳින් ජීවත්වීමට ජීවිතය ගැන අවබෝධයක් තිබෙන්න ඕනෑ. ඒනිසා නිසි අධ්‍යාපනයක් ලබා ගැනීම අත්‍යවශ්‍යය යි. ඒ වගේ ම අනාගතයේ ධාර්මිකව ධනය උපයන්නටත්, ඒ ධනය ආරක්ෂා කරගන්නටත්, ධාර්මිකව පරිහරණය කරන්නටත්, දානමානාදී පින්කම් කරන්නත් සිතට ගන්නට ඕනෑ. ඒ අධිෂ්ඨානයත් සමඟ මේ පින්වත් දරුවන් සියලු දෙනා ම ධර්මයට ලැදි, ගුණවත්, නැණවත්, අරමුණු වෙනුවෙන් වැඩ කරන දරු පිරිසක් බවට පත්වේවායි ආශිර්වාද කරනවා.

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් 04 වන දා සඳුදා පූර්ව භාග 02.56 ට ලබයි. 05 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 04 වන දා සඳුදා ය..

මීළඟ පෝය නොවැම්බර් 12 වන දා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 04

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]