[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

අපවත්වී වදාළ කුරුණෑගොඩ පියතිස්ස නා හිමි

අමෙරිකාවේ නිව්යෝර්ක් බෞද්ධ විහාරාධිපති, රාජකීය පණ්ඩිත කුරුණෑගොඩ පියතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉකුත් ඔක්තෝබර් 11 වැනිදා අපවත් වී වදාළහ. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඔක්තෝබර් 17 වැනිදා නිව්යෝර්ක් හි ඇස්ටෝරියා බුවවාඩ් ඕසෝල් ආදාහනාගාරයේ දී පැවැත්වුණි.

අමෙරිකාවේ නිව්යෝර්ක් බෞද්ධ විහාරය කේන්ද්‍ර කරගෙන අද්විතීය ලෝක ශාසනික සේවාවක් සිදු කළ කුරුණෑගොඩ පියතිස්ස නා හිමි 1928 දෙසැම්බර් 29 වැනිදා ජන්මලාභය ලැබී ය. උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් වූයේ 1941 නොවැම්බර් 06 වැනිදා ය. පියතිස්ස නා හිමියන්ට විදේශ ධර්ම දූත සේවාව වෙනුවෙන් ආරාධනා ලැබෙන්නේ 1970 දී එවකට ලන්ඩන් බෞද්ධ විහාරාධිපති හා මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක ව වැඩසිටි මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නා හිමියන් වෙතිනි. ඒ අනුව පියතිස්ස නා හිමි එතෙක් වසර 21 ක් පුරාවට ලංකාවේ කරගෙන ආ අධ්‍යාපනික සේවාවට සමු දී ලන්ඩනයේ ඔක්ස්ෆර්ඩ් හි ඔකන්හෝල්ට් බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රථම ථෙරවාදී බෞද්ධ භික්ෂුව ලෙස ධර්ම දූත සේවාවට එක් විය. එහි ආරම්භ කළ ධර්ම දේශනා, සම්මන්ත්‍රණ හා භාවනා වැඩසටහන් ආදියට දිනෙන් දින ඉංගී‍්‍රසි ජාතිකයෝ ඇදී එන්නට වූ හ. ඒ නිසාම බෞද්ධ මධ්‍යස්ථානය ද අනුක්‍රමයෙන් දියුණු වන්නට විය.

කුරුණෑගොඩ පියතිස්ස නා හිමියන්ට මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නා හිමි හා ආචාර්ය මැදගම වජිරඤාණ නා හිමි යන කීර්තිධර ධර්ම දූතයන් වහන්සේලා සමඟ එක්ව විශිෂ්ට ධර්ම දූත සේවාවක නිරතවීමට අවස්ථාව උදාවන්නේ උන් වහන්සේ දෙවැනි වරට ලන්ඩන් ධර්ම දූත සේවාව සඳහා වැඩම කළ අවස්ථාවේ පටන් ම ය.

එසේ 1974 සිට 1981 දක්වා වූ සත් වසරක් මුළුල්ලේ මහා බ්‍රිතාන්‍යයේ ඉතා විශිෂ්ට ධර්ම දූත සේවාවක නිරත ව සිටි පියතිස්ස නා හිමියෝ අමෙරිකානු බෞද්ධ ජනතාවගේ ආරාධනය පරිදි 1981 දී නිව්යෝර්ක් නුවරට වැඩම කළ හ.

මෑන්හැටන් (ර්චදඩචබබචද) නගරයේ දකුණු ප්‍රදේශයේ පිහිටි ආර්ට් ගැලරි හි සිදු කළ භාවනා වැඩසටහන උන් වහන්සේගේ ප්‍රථම ඇමෙරිකානු ධර්ම ප්‍රචාරක කාර්යය යි.

පියතිස්ස නා හිමියන්ගේ පුරෝගාමී නායකත්වයෙන් ෆ්ලසින් නගරයේ ඉතා කුඩා ස්ථානයක ඇරඹුණු නිව්යෝර්ක් බෞද්ධ විහාරය අනුක්‍රමයෙන් සංවර්ධිත තත්ත්වයකට පත් කෙරිණි.

ව්‍යක්ත ලේඛකයෙකු ලෙස ද පියතිස්ස නා හිමි සුවිශාල ශාස්ත්‍රීය කටයුතු කිහිපයකට ම දායකත්වය ලබා දී තිබේ. වසර 35 කටත් වැඩි කාලයක් පුරාවට ම “බුදුසරණ” පුවත්පතට ධර්ම ශාස්ත්‍රීය ලිපි ලියූ උන් වහන්සේ ඊට අමතරව වෙනත් ජාතික පුවත්පත්වලට ද ලිපි සැපයූ හ.

තව ද ඇමෙරිකාවේ සහ වෙනත් රටවල පළ කෙරෙන ප්‍රකාශනවලට ද ඉංගී‍්‍රසි බසින් සැපයූ ලිපි විශාල සංඛ්‍යාවෙකි.

පියතිස්ස නා හිමි කාලාන්තරයක් තිස්සේ අමෙරිකාවේ සිදු කරන ධර්ම දූත සේවාව වෙනුවෙන් එවකට එරට ජනාධිපතිවරයා වූ බිල් ක්ලින්ටන් මහතා උන්වහන්සේ ධවල මන්දිරයට වැඩම කරවාගෙන විශේෂ උපහාරයක් දැක්වීය.

නිව්යෝර්ක් නගරාධිපතිවරයා උපහාර පිදු අවස්ථා කිහිපයක්ම පවතියි. 1999 දී පියතිස්ස නා හිමියෝ නිව්යෝර්ක් බෞද්ධ සභාවේ සමාරම්භක සභාපතිවරයා ලෙස පත්වීම් ලබා වෙසක් පොහොය දිනය ලෝක බෞද්ධ නිවාඩු දිනයක් ලෙස සම්මත කළ යුතු බවට ඕභඤඤඩඪඵබ ඛ්ධභදජඪත ධට ව්ඥඹ කධපඬ රැස්වීමේදී ගෙන ආ යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එවකට මහලේකම් බෲටෝස් බෲටෝස් ගාලි මහතා වෙත යොමු කෙරිණි.

ඒ සමඟම එම යෝජනාව එවක අමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් මහතා වෙත ද නිව්යෝර්ක් ආණ්ඩුකාරතුමන් වෙත ද යොමු කෙරිණි. ඒ සමඟම එක්සත්ජාතින්ගේ සංවිධානයේ බෞද්ධ නියෝජිතයින් ද මේ ගැන දැනුවත් කෙරිණි.

කුරුණෑගොඩ පියතිස්ස නා හිමියන්ට උතුම් වූ නිවන් සුව ලැබේවා !


හෙල්ලල නන්දරතන මා හිමි

මිද්දෙණිය ,හෙල්ලල දක්ෂිණ රාජමහා විහාරය, හැරමිටිපාන ශ්‍රී වනරතන විවේකාරාමය යන උභය විහාරාධිපති ව වැඩ විසූ ඇඹිළිපිටිය ශ්‍රී සුමනතිස්ස පරිවේණාධිපති ගෞරව ශාස්ත්‍රවේදී හෙල්ලල නන්දරතනාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ පරාර්ථකාමී උදාර සංඝපීතෘවරයෙකි.

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිද්දෙණිය, හෙල්ලල ග්‍රාමයේ ප්‍රභූ පවුලක් වූ හෙල්ලල වලව්වේ විසූ සර්ප විෂ වෛද්‍ය දොන් ඩේවිඩ් සමරකෝන් විජේසිංහ පියාණන්ට හා සෙනරත් විතාරණගේ ළමාහාමි මෑණයන්ට දාව උපන් දරුවන් අට දෙනා අතුරින් පස්වැනියා වූ අමරසේන සමරකෝන් විජේසිංහ 1965 දෙසැම්බර් මස 21 වැනි දින උපත ලැබී ය.

මව්පිය සෙනෙහස හා දයාව ඇසුරෙහි වැඩෙන කුමරු ලබුහේන්ගොඩ කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබමින් පසුවන විට පුරාකෘත පුණ්‍ය මහිමය නිසාම පැවිද්දට ආශා කළේය. හෙල්ලල දක්ෂිණ රාජමහා විහාරය වෙත පැමිණ පැවිද්දට අවශ්‍ය බණ දහම් වත් පිළිවෙත් ඉගෙන විහාරාධිපති ශ්‍රී රෝහණ පාර්ශ්වයේ උපාධ්‍යාය, කීර්ති ශ්‍රී පුඤ්ඤසාර ඉත්තදෙමළියේ ශ්‍රී වනරතන නාහිමියන්ගේ හා පසුව විහාරාධිපතිත්වයට පත් හැරමිටිපාන ශ්‍රී වනරතන විවේකාරාමාධිපති, ශ්‍රී රෝහණ පාර්ශ්වයේ කර්මවාගාචාර්ය දික්වැවේ ශ්‍රී රතනසාර මාහිමියන්ගේ ශිෂ්‍යවරයෙකු ලෙස 1978 දී හෙල්ලල නන්දරතන හිමි නමින් පැවිදි දිවියට ඇතුළත් විය . මිද්දෙණිය ශ්‍රී සුමංගල පිරිවෙනේ ආරම්භක ප්‍රථම ශිෂ්‍යයා වූ නන්දරතන හිමියෝ කලක් එහි ඉගෙන පසුව දකුණු ලක කීර්තිමත් උගතුන් බිහිකළ මාතර, ඌරාපොළ ශ්‍රී රතනජෝති විද්‍යායතන පිරිවෙනට ඇතුළත්ව පරිවෙනාධිපති පුරා විද්‍යා චක්‍රවර්ති, මහාචාර්ය කඹුරුපිටියේ ශ්‍රී වනරතන මහා නාහිමියන්ගේ සෙවණේ අධ්‍යාපනය ලැබී ය.

1988 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වුව 1994 සමාජ විද්‍යා විෂයයට පන්ති සාමාර්ථයක්ද සහිතව විශේෂ ශාස්ත්‍රවේදී උපාධිය දිනා ගත්හ. විසි වයසින් යුක්ත වූ හෙයින් 1986 ඉත්තදෙමලියේ ශ්‍රී වනරතන මාහිමියන්ගේ හා දික්වැවේ ශ්‍රී රතනසාර මාහිමියන්ගේ ශිෂ්‍යවරයෙකු ලෙස මල්වතු මහා විහාරයේ දී උපසම්පදාව ලැබූහ. 1994 දී රත්නපුර මාරපන ශාස්ත්‍රෝදය පිරිවෙනේ ආචාර්යවරයෙකු ලෙස එක්ව පසුව පරිවේනාධිපති ධුරයට පත්ව වටිනා සේවාවක් සිදු කරමින් කටයුතු කරන අතර හෙල්ලල දක්ෂිණ රාජමහා විහාරාධිපති වැඩ විසූ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ කර්මවාගාචාර්ය දික්වැවේ ශ්‍රී රතනසාර මාහිමිපාණන්ගේ අපවත්වීමෙන් පසුව 2002 විහාරාධිපති ධුරයට පත් විය.

මාරපන ශාස්ත්‍රෝදය පිරිවෙනෙන් ඇඹිලිපිටිය ශ්‍රී සුමනතිස්ස පිරිවෙන වෙත ස්ථාන මාරුවක් ලබන නන්දරතන හිමියෝ පසුව එහි පරිවේනාධිපති ධුරයට ද පත් විය. නන්දරතන හිමියන්ගේ කාලය ශ්‍රී සුමනතිස්ස පිරිවෙනේ ස්වර්ණමය යුගය යි.

කටුවන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කලක් කටයුතු කළ නන්දරතන හිමියෝ එවකට පැවති ධර්ම ශාලාව විහාරය හා අබලන් සංඝාවාසය වෙනුවට නව ඉදිකිරීම් රැසක් සිදු කළේ ය. හැරමිටිපාන වනරතන විවේකාරාමයේ ද බොහෝ අඩුපාඩු සපුරමින් සිරිපා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ට නවාතැන් ගත හැකි පහසු ස්ථානයක් බවට පත් කළේ ය. හෙල්ලල ශ්‍රී වනරතන දහම් පාසල ප්‍රදේශයේ බොදු දරුවන්ගේ ගුණ නුවණ වර්ධනය කිරීමට මහත් අත්වැලක් කරගත් උන්වහන්සේ සිය ධනයෙන් වාර්ෂික අධ්‍යාපන චාරිකා රැගෙන යාමට පවා උනන්දු වූ හ.

ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහනක් සිය ධනයෙන් පවත්වා ගෙන යමින් ද මිද්දෙණිය පොලිස් ස්ථානයේ උපදේශන සභාවේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස නිහඬව වටිනා සේවාවක් සිදු කරමින් පරමාදර්ශී චරිතයක් තුළින් සමාජයට උදාර මෙහෙවරක් සිදුකළ මාහිමියෝ අනාගත සසුනඹර ආලෝකමත් කිරීමට සමත් වටිනා ශිෂ්‍ය පුත්‍රයන් රැසක් නිර්මාණය කළහ. කුඩාගොඩ ශ්‍රී ඉන්ද්‍රජෝති හිමි බෞද්ධ මධ්‍යස්ථානාධිකාරි රුක්මල්පිටියේ රතනජෝති හිමි, මුල්ආඬියාවල සෝභිත හිමි, ජාතික ශික්ෂණවේදී ඩිප්ලෝමා ලබුහේන්ගොඩ සමිත හිමි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන මහගල් වැව සුමංගල හිමි, නිට්ටඹුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබන දඹරයායේ අනුරුද්ධ හිමි, ඇඹිලිපිටිය සුමනතිස්ස පිරිවෙනේ ශිෂ්‍ය ජුලම්පිටියේ මේධානන් හිමි, දන්දෙනිගම විසුද්ධි හිමි ප්‍රධාන වේ.

රත්නපුර, කුරුවිට මහින්දාරාමාධිපති අඹගස්ආරේ ධම්මරතන හිමියන් හා අගුණුකොළපැලැස්ස ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක ශාස්ත්‍රපති තලාවේ රතනසිරි හිමියන් නන්දරතන හිමියන්ගේ පැවිදි සහෝදරයෝ වෙති. ජාතික, ආගමික , සාසනික ,අධ්‍යාපනික සමාජීය වශයෙන් වටිනා සේවාවක නිරත වූ නොකැලැල් අපිස්, සරල භික්ෂු ජීවිතයක් ගත කළ මාහිමියෝ 2019 ජූලි මස 15 වන දින අපවත් වී වදාළ හ.

මාහිමියන් වහන්සේගේ අපවත්වීම පළාතට පමණක් නොව සම්බුද්ධ ශාසනයට ද පිරිමැසිය නොහැකි බලවත් පාඩුව කි. මාහිමි තෙමස් පූර්ණ ගුණ සමරුව නිමිති කරගෙන අඩු ආදායම්ලාභී පවුලකට නිවසක් ඉදිකර පරිත්‍යාග කිරීම හා සංඝගත දක්ෂිණාව ආදි පින්කම් රැසක් සිදු කිරීමට ශාස්ත්‍රපති තලාවේ රතනසිරි හිමියන් ප්‍රධාන සිසු පිරිස හා දායක සභාව කටයුතු යොදා තිබිණි. හෙල්ලල නන්දරතනාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා

වප් අමාවක පෝය

වප් අමාවක පෝය ඔක්තෝබර් 27 වන දා ඉරිදා අපර භාග 12.23 ට ලබයි. 28 වන දා සඳුදා පූර්ව භාග 09.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 27 වන දා ඉරිදා ය.

ඉල් මස පුර අටවක පෝය නොවැම්බර් 04 වන දා සඳුදා ය

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

First Quarterපුර අටවක

නොවැම්බර් 04

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]