[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දැවෙන සිත නිවනබොදු පිළිවෙත

දැවෙන සිත නිවන බොදු පිළිවෙත

කාමය හා රාගය යනු වචන දෙකකි. එයින් කාමය යන්නෙන් කැමැත්ත, ආශාව, ඉඳුරන් සතුටට පමුණුවන දෙය අදහස් කෙරේ. රාගය යන පදයෙන් ඇලීම හා කාමාශාව යන ස්වභාවය කියවේ. ඇතැම් අවස්ථාවල කාමය යන්න රාගයට සමාන පදයක් වශයෙන් ද යෙදී ඇත.

කාමයත්, රාගයත් දෙකම පුද්ගල මනස ඇලීමට පමුණුවන නිසා ය. සමාජයේ ඇතැම්විට කාම රාගය බලපැවැත්වෙන සිතක් ඇති පුද්ගලයන් බහුලව දක්නට ලැබේ. මෙය සාමාජීය වශයෙන් පුද්ගල හානියට මෙන්ම සදාචාර පරිහානියට ද හේතු වන්නාවූ, කාරණයක් වී ඇත. එවැනි පසුබිමකට බුද්ධ දේශනාව අවශ්‍යම සාධකයක් වේ. කාමයෙන් හා රාගයෙන් දැවෙන සිතක් ඇති පුද්ගලයාට එම කාමරාග ගින්න නිවා දැමීමට බුදුන් වහන්සේ විසින් දේශනා කර ඇති බෞද්ධ පිළිවෙත හඳුනා ගැනීම මෙම ලිපියේ අරමුණයි.

රාගය ගින්නක් වැනිය

මේ ලෝකයේ ලෞකික මිනිසාට ඇති ඉහළම රුචිකත්වය වන්නේ පඤ්චකාම සම්පත්තිය වින්දනය කිරීමයි. පුද්ගලයා තුළ පිහිටි ඇස, කන, නාසය, දිව හා ශරීරය යන ඉඳුරන්ට අනුකූල ව බාහිර සමාජයෙහි පිහිටා ඇති රූප, ශබ්ද, ගන්ධ, රස හා ස්පර්ශ යනුවෙන් කාම සම්පත් පහ ක්‍රියාත්මක වේ. මෙම ඉඳුරන් පහ ඊට අදාළ අරමුණු පහ සමග ක්‍රියාත්මක වීම මෙම ලෞකික සමාජයෙහි ඇති උපරිම සතුට යි.

වර්තමාන සමාජයෙහි පුද්ගලයාගේ කාමය හා රාගය දනවන සාමාජීය ප්‍රවණතාව වැඩි වී ඇත. ඇතැම් විට සිංදුවක්, ගායනයක් ඇසුවත් එහි ඇත්තේ කාමය අවුස්සන බොළඳ වදන් ය. හරයක් නැති, පුද්ගල මනස විකෘති කරන අදහස් ඇතැම් ගායන වල ඇතුළත්ව ඇත. ගීත පදමාලාවක තිබිය යුතු සම්භාව්‍ය පදමාලාව හා ව්‍යංගාර්ථය වර්තමානයේ ඇතැම් ගීතවලින් ගිලහී ගොස් ඇත. මේ නිසා එකී ගායනයන් ඇසුවොත් පුද්ගල මනස පරිහානිය සිදු වේ.

එසේම පවුලේ සාමාජිකයන්ට සාමූහික ව එවැනි ගායනයන් ඇසීමට නො හැකි වී ඇත. ඇතැම් නාට්‍ය හා චිත්‍රපටිවල ඇත්තේ ද මනස සනසන දේවලට වඩා මනස කාම රාගික සිතිවිලිවලින් අවුල් කරන ජවනිකා ය. ඒවායෙහි දක්නට ලැබෙන නාට්‍යමය අවස්ථා හා නළු නිළියන්ගේ රූ සොබා බොහෝවිට සැබෑවක් නොවේ. රංගනයක් පමණි. නමුත් ඒවා නරඹන ප්‍රේක්‍ෂකයෝ ඒ සියල්ලක්ම සත්‍ය සිදුවීම් වශයෙන් සිතා ආත්මීය වශයෙන් බැඳී කාමරාගයෙන් දැවෙයි. වර්තමානය වන විට අන්තර්ජාලයට පිවිසෙන සෑම අයෙක් ම අවශ්‍ය හා අනවශ්‍ය දේ නරඹමින් කාලය ගෙවති. මේනිසා ඇතැම් පිරිස් විකෘති කාමාශාවන්ගෙන් යුක්තව සමාජයෙහි ද හැසිරෙති. එවිට දෙමාපියන්, සහෝදර සහෝදරියන්, පවුලේ සාමාජිකයින්, අසල්වාසීන් වශයෙන් මනසෙහි ඇති බැඳීම පහව යයි.

කාමරාගයෙන් දැවෙන සිතක් ඇති පුද්ගලයාගේ ලක්‍ෂණ සංයුත්ත නිකායෙහි වංගීස සූත්‍රයෙහි දැක්වේ. එහිදී වයසට ගොස් පැවිදි වූ වංගීස භික්‍ෂුවට පැරැණි රාගික සිතිවිලි නැවත මනසෙහි ඉපදී සදාචාරාත්මක ජීවිතයෙහි නො ඇලීමට පත්විය. රාගය එම භික්‍ෂුවගේ සිත වනසයි. රාගික සිතිවිලි පෙරමුණට පැමිණෙයි. මෙබඳු මානසික තත්ත්වයක් උපන්න විටදී වංගීස භික්‍ෂුව මෙසේ පවසයි.

“කාමරාගයෙන් සිත දැවෙයි. මාගේ සිත හාත්පසම කාමරාගයෙන් දැවෙයි. ගෞතමයන් වහන්ස, එම රාග ගින්න නිවීමට උපායක් දේශනා කරන්න.”

එහි පැහැදිලි කර ඇත්තේ රාගය ගින්නක් වැනි බවයි. ගින්න හොඳ නරක සියල්ල දවයි. දැවීමේ නිමාවක් නොමැත. රාගය ද එපරිදි ය.

සහනය උදෙසා

කාමරාග ගින්න නිවීමට බුදුන් වහන්සේ අනුදත් පිළිවෙත එම සූත්‍රයෙහි මෙසේ දැක්වේ. එය පියවර ක්‍රමයක් යටතේ පැහැදිලි කළ හැකි ය.

1. සංඥාවන් විපරීත වශයෙන් ගැනීම නිසා සිත දැවෙන්නේ ය. ලෝකය දෙස නිවැරැදිව, යහපත් ආකල්පයෙන් නො දකින නිසා සිත කාමරාගයෙන් උත්සන්න වී දැවීමට පත්වෙයි. එනිසා තම පවුලේ පිරිස, නෑදෑ හිතවතුන් හා ඇසුරු කරන සියලු දෙනා කෙරෙහි යහපත් ආකල්පයෙන් යුතුව කටයුතු කිරීම පළමු පියවරයි.

2. රාගය හා බැඳුණු අරමුණු දුරු කිරීම ඉදිරි පියවර යි. රාගය හා බැඳුණු මානසික සිතිවිලි සිත තුළ ජනිත වී ක්‍රියාත්මක වීම නිසා මානසික වශයෙන් පුද්ගලයා විකෘති කරයි. විවිධ මානසික විකෘතිතා ඇති පුද්ගලයන් සමාජයෙහි දක්නට ලැබෙන්නේ මේ නිසා ය. රාගික දර්ශන මාධ්‍ය තුළින් දැකිමෙන් ද, ඇසුරුකරන්නන් විසින් පවසන රාගික ප්‍රකාශන නිසා විවිධ නරක සිතිවිලි උපදවා ඒවා ක්‍රියාත්මක කිරීමට පෙළඹෙන්නේ ය. මෙවැනි තත්ත්වයන්ගෙන් දුරස් වීම පුද්ගලයාගේ දියුණුවට හේතු වේ.

3. කාමරාගයට ප්‍රතිවිරුද්ධ සිතිවිලි උපදවා ගැනීම මෙහි අනෙක් පිළිවෙතයි. එනම් අසුභ සහගත සිතිවිලි උපදවා ගැනීම යි. තම ශරීරය හා ශාරීරික ක්‍රියාවලිය පිළිබඳව යථාර්ථ දැක ඒ පිළිබඳව අසුබ සහගත සිතිවිලි උපදවා ගැනීම මෙහි ලක්‍ෂණය යි.

4. සිත සන්සුන් කර ගැනීමට ක්‍රියා කිරීම අවසන් පියවර යි. එනම් බුදු දහමෙන් නිර්දේශිත භාවනා ක්‍රම අනුගමනය කිරීමයි. සන්සුන් මනසක් ඇති පුද්ගලයා සමාජය දෙස යහපත් ආකල්පයෙන් බලයි. කටයුතු කරයි. එවැනි පුද්ගලයන් නිසා තමන්ටත්, සමාජයටත් යහපතක් ම සිදු වේ.

බුදුන් වහන්සේ විසින් ඉදිරිපත් කළ නිර්වාණගාමී පිළිවෙතට අවතීර්ණ වන පුද්ගලයා නිසා සියල්ලන්ටම සැනසීමක් සහනයක් උදා වේ. එබැවින් ලෞකික සිත්වල ජනිතවන පඤ්චකාම සම්පත්තියට ඇති ඇල්ම රාගය දුරලා, යහපත් මානසික පරිසරයක් ගොඩනඟා ගැනීමට මාර්ගෝපදේශකත්වය සැපයීම බොදු පිළිවෙත යි.

රාගයෙන් දැවෙන සිත නිවීමේ බොදු පිළිවෙත වන්නේ බෞද්ධ නිර්වාණගාමී පිළිවෙතට කෙමෙන් කෙමෙන් සමීපවීමයි. ඒ සඳහා බුදුන් වහන්සේ විසින් අනුදත් ක්‍රමවේදය මෙම ලිපියෙන් දක්වා ඇත. එම ප්‍රතිපදාවෙන් දුරස්වීම නිසා පුද්ගලයාගේ හා සමාජයෙහි පරිහානිය සිදු වේ. කාමරාගයෙන් දූෂිත සාමාජීය පරිසරයක් නොමැති බෞද්ධ සමාජයෙන් මිනිසාටත්, ස්වභාව ධර්මයටත් සහනයක් උදාවේ.

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 13 වන දා ඉරිදා පූර්ව භාග 00.36 ට ලබයි. 14 වන දා සඳුදා පූර්ව භාග 02.37 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 13 වන දා
ඉරිදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 21 වන දා සඳුදා ය

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

First Quarterපුර අටවක

නොවැම්බර් 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]