[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුබුදුවට උදාර මෙහෙවරක් කළ

බොදු පුබුදුවට උදාර මෙහෙවරක් කළ අනගාරික ධර්මපාලතුමා

අනගාරික ධර්මපාලතුමාගේ 155 වැනි ජන්ම දිනය පසුගිය සැප්තැම්බර් 17 වැනිදාට යෙදී තිබිණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

රටත්, ජාතියත්, සම්බුද්ධ ශාසනයත් පරිහානිය කරා ගිය අවස්ථාවල දී එම පරිහානිය වළක්වා යළි පුනර්ජීවනයකට පත්කිරීමට තරම් හැකියාවක් ඇති ජාතික වීරවරු මේ ලක් දෙරණේ වරින්වර පහළ විය. මෑත කාලයේ පහළ වූ එවැනි උතුම් වීරෝදාර ලංකා පුත්‍රයෙක් ලෙස අනගාරික ධර්මපාලතුමා හඳුන්වන්නට පිළිවන.

දොන් කරෝලිස් හේවාවිතාරණ මැතිතුමා සහ මල්ලිකා ගුණවර්ධන මැතිනිය දම්පතීන්ගේ පුත් රුවන ලෙස 1864 සැප්තැම්බර් 17 වැනිදා පින්වත් කුමරෙක් උපත ලැබී ය. ඔහුගේ උප්පැන්නය ලියාපදිංචි කරවීම පල්ලියට ගොස් කළ යුතු විය. පල්ලියේ ගුරුන්නාන්සේගෙන් ඔහුට ලැබුණු නම දොන් ඩේවිඩ් යනුයි. ඒ අනුව එතුමා දොන් ඩේවිඩ් හේවාවිතාරණ නම් විය. 1872 සිට 1874 දක්වා බැප්ටිස් සිංහල පාසලෙහි ද ඉන්පසුව ශාන්ත බෙනඩික් විද්‍යාලයෙහි ද ඉගෙනුම ලැබූ එතුමා පසුව කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයෙහි ද 1878 සිට 1883 දක්වා ශාන්ත තෝමස් විද්‍යාලයෙහි ද අධ්‍යාපනය ලැබී ය. එම පාසල්වලදී ඉගෙනුම ලැබුවේ ක්‍රිස්තියානි පූජකවරුන් වෙතිනි. බයිබලය ගැන විශේෂ දැනුමක් එතුමා ට තිබිණි. ක්‍රිස්තියානි පූජකවරු උගන්වන අතරතුර එතුමා ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමට සෑම උත්සාහයක් ම දැරූහ. එහෙත් හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ඇසුරෙන් ලැබූ බුද්ධාගම පිළිබඳ දැනුම එයට ඉඩ නොදුන්නේ ය. එතුමා තමන් අදහන ධර්මය ලෙසට තෝරා ගත්තේ ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘන්වහන්සේ වන බුදුරජාණන් වහන්සේගේ ධර්මය යි.

ධර්මපාලතුමා පිළිබඳව ග්‍රන්ථ ගණනාවක් ම රචනා කර ඇත. ගණේගම සරණංකර නාහිමියන් විසින් රචිත ‘ජාතියේ පියා හෙවත් අනගාරික ධර්මපාල’ ,ආනන්ද ගුරුගේ මහතා විසින් රචිත ‘ධර්මපාල ලිපි’, ධර්මපාලතුමා විසින් රචිත ‘දැනගතයුතු කරුණු’ ග්‍රන්ථ ඉන් කිහිපය කි.

ධර්මපාලතුමා ජීවත් වූ කාලවකවානුවේ මේ රටේ පැවැති ආගමික, ජාතික හා දේශපාලනමය තත්ත්වයය පිළිබඳවත් යම් අවබෝධයක් ලබා ගැනීම වැදගත්. එතුමා රටට, ජාතියට, ආගමට සේවය කිරිම සඳහා තම අගනා ජීවිතය කැප කළේ අපේ රට යටත් විජිතයක් ව පැවැති යුගයේ දී ය. යටත් විජිත පාලනයෙන් අපට සිදු වූ හානිය මෙපමණකැයි විස්තර කළ නොහැකි ය. යටත් විජිත බලපෑමෙන් සිංහලයෝ බටහිර සංස්කෘතිය වැළඳගෙන මේ රටේ විදේශිකයන් බවට පත්ව සිටි “සිංහල ජාතියත්” බුද්ධාගමත්, සිංහල සංස්කෘතියත් ලක්දිවින් සදහට ම තුරන් නොවී තිබීම තරම් පුදුමයක් වෙන නැත” යනුවෙන් ගණේගම සරණංකර නාහිමියන්ගේ ග්‍රන්ථයේ සඳහන් ව ඇත.

එතුමාගේ වැඩකටයුතුවලට හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ආශීර්වාදය නොඅඩුව ලැබිණ. මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන්ගේ පංච මහා වාදයන්ගෙන් ලැබුණු ආභාෂය පසුකාලීනව එතුමාට දක්ෂ කථිකයෙක් වීමටත්, තම අදහස් නිර්භීතව ප්‍රකාශ කිරීමටත් මහා පිටිවහලක් විය. පානදුරා වාදයේ ඉංගී‍්‍රසි පිටපතක් අමෙරිකාවේ දී කියවූ ඕල්කට්තුමා ලංකාවට පැමිණීම ට තීරණය කළේ ය. රුසියන් ජාතික බ්ලැවැස්කි මැතිණියත් සමඟ 1880 මැයි 17 වැනි දා ගාලු වරායෙන් ලංකාවට පැමිණ ගාල්ල වැලිවත්ත විජයානන්ද විහාරස්ථානයේ දී තිසරණ පන්සිල්හි පිහිටා ප්‍රසිද්ධියේ ම බුද්ධාගම වැළඳ ගත්තේ ය. පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය පිහිටුවා බෞද්ධ පාසල් රැසක් ආරම්භ කළේ ය. සඳරැස නමින් බෞද්ධ පත්‍රයක් ද ආරම්භ කර ඒ මගින් බෞද්ධ කටයුතු ප්‍රචාරය කරවීය.

ඕල්කට්තුමාගේ දේශන ඇසු ඩේවිඩ් තරුණයාගේ සිත එතුමා කෙරෙහි වශී වී ගියේ ය. තමාට රජයෙන් ලැබුණු තනතුර ද අත්හැර දමා ඕල්කට්තුමා හමුවීමට ගොස් ඔහුගේ තෝල්කයා වශයෙන් කටයුතු කළේ ය. සඳරැස පත්‍රයේ වැඩ ඉතා ඕනෑකමින් කළ එතුමා පරම විඥානාර්ථ සමාගමේ බෞද්ධ කටයුතු සඳහා ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කළේ ය. ඉන්පසු එතැනින් නොනැවතී තමන්ගේ සේවය නිවැරැදිව කිරීමට නම් මේ පරගැති නාමයන් භාවිත කිරීමෙන් නොහැකි බව තේරුම් ගත් එතුමා ඩේවිඩ් යන නම වෙනස් කර ධර්මපාල යන ආර්ය සිංහල නම තබා ගත්තේ ය.

ඉතිරි කොටස ලබන සතියේ...

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 13 වන දා ඉරිදා පූර්ව භාග 00.36 ට ලබයි. 14 වන දා සඳුදා පූර්ව භාග 02.37 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 13 වන දා
ඉරිදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 21 වන දා සඳුදා ය

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

First Quarterපුර අටවක

නොවැම්බර් 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]