| 
				 
				  වප් 
පුන් පෝදා 
				 
 
				 
මහ සඟ රුවන සීමා ගෙට වැඩම කොට  
උතුරා ගලා යන සොම්නස සතුට පිට  
මහා පවාරණ නම් වූ දෙසුම කොට  
පිරිසුදු වේ ය සිල් සුවඳින් එකළු කොට  
				 
වස් තුන් මාසයේ අන්තිම දවස අද  
පින්කම කෙරේ මහ ඉහළින් ඇඳිලි බැඳ  
වප් පුන් පෝය මුල් කර බොදු දනගෙ හද  
බැතිබර වූ හ සඟ හට තුන් සිවුරු පුද  
				 
ඇටැම්පොළ ඥානිස්සර හිමි  
ශ්‍රී චිත්ත විවේකාරාමය  
දෙමැද , දැරණියගල 
				 
 
වප් පොහොය සමරමු
				
				 
අගයන වප් මසේ පසළොස්වක දවස  
දෙව්ලොව තව්තිසාවේ දෙවියන් පිණිස  
දම් රස බෙදා යළි වැඩ බරණැස පෙදෙස  
සංකප්ප නම් නුවරට බුදුහිමි පිවිස  
				 
පෑතිස් රජුන් දම්සෝ රජු මිතුරු බර 
				 
සිරි මහ බෝ රදුන් ලක් දිව වැඩම කර  
රෝපණ කරන්නට සන්දේශයක් ඇර 
එකඟත්වය සනිටු විය වප් පොහොය පුර 
				 
මඩකොටුවේ සිරිමා හඳුගල පෙරේරා 
 
දළදා අසිරිය 
				
  
				 
කලිඟු රටේ වැජඹුණු දළදා සමිඳු 
හේමමාලා කුමරිය පෙර රුවන් බඳු  
කෙස් වැටියේ සඟවා දළදා සමිඳු  
සිරිලක් බිමට වැඩමෙව්වා බුදු සමිඳු  
				 
ලෝක උරුමෙ යන විරුදාවලිය ලබා  
සෙංකඩගල පුරේ වැජඹෙයි සමිඳු සොබා  
බෝගම්බර වැවේ සිසිලෙන් පහස ලබා  
තේජස පතුරවයි ලොවට ම පිදුම් ලබා  
				 
විශ්‍රාමික විදුහල්පතිනි 
කරුණා වනසිංහ  
හල්දුම්මුල්ල 
				 
 
අසිරිමත් දිනය 
				
				 
සත් වෙනි වස ගත කරන්න  
දෙව් පුරයට තාවතිංසෙ  
වැඩම කරවලා බුදු හිමි  
මෑණියන්ට දම් දෙසුවා  
මවා බුදු රුවක් දෙව්ලොව  
විජම් පිටකයෙන් බණ දෙසූ  
මනෝ කාය බුදු රුව ගැන  
සිතෙන විටත් අසිරිමත් ය  
වස් අවසන බුදු හිමි  
දඹදිව සංකස්ස පුරට  
දෙව් බඹ පිරිවරා එදා  
වැඩම වීම අසිරිමත් ය  
සක් දෙව් සේසත් දැරුවා  
රන් හිණි මගකින් වැඩියා  
සවණක් ඝණ බුද්ධ රශ්මි  
ගුවන් ගැබේ විහිදෙව්වා  
සැරියුත් අගසව් හිමි  
නුවණැතියන් අතර එදා  
අග තැන්පත් පදවි ලදී  
වප් පුන් පෝ දිනයක  
මෙත් බෝසත් විවරණ  
ලැබුවේ වප් පෝදාක ය  
ථූපාරාමය සිරිලක  
දම් සංගායනා කළෝ 
දෙවිපහළ සුමේධ හිමි  
ශ්‍රී ඤාණසීහ පිරිවෙන  
පලාවෙල  
රත්නපුර  
				 
 
වස්සානය 
				
  
				 
තෙල් මල් අරන් පන්සල් යමු අද දවසේ  
මල් පින් කමට දායක වෙමු හැකි විලසේ  
සිල් සිල් සුවඳ පැතිරෙන මළුවේ රිසි සේ  
දල්වමු පහන් වැට පින් රැස් වෙන විල සේ  
				 
වස්සානය යි එළඹී ඇත්තේ පිනට  
කුසලට නැමෙන්නේ ඒකයි මේ ලෙසට  
ගමයි පන්සලයි එක රේඛාව කට  
යාවෙන සාධු නාදය ඇසෙනව දුරට  
				 
අමුණුගොඩ කුසුමා ප්‍රේමරත්න  
කුරුණෑගල  
				 
 
				 
				 
වප් පොහොය අද යි 
				
  
				 
පෙරවස් විසූ හිමිවරුනගෙ පවාරණ  
බුදු හිමි දෙව්ලොවින් මනු ලොව සැපත් වුණ  
කඨින පින්කමෙන් මුළු රට හඬ නඟන  
වප් මහ පෝය අද සිරිලක බබළවන 
				 
ලයනල් දසනායක  
නාමල් උයන  
නියඳගල,  
පන්නිපිටිය  
				 
				 
 
වප් පොහොය 
				
				 
වස් තුන් මාසයම තුසිතය තුළ  
අභිධර්මය දේශනා කරමින් සිටි කල  
මාතෘ දෙවිඳුන් ලැබුව මග පල  
වප් පෝයට බුදු හිමි ආපසු වැඩි කල 
				 
දේවාරෝහණ ප්‍රාතිහාරය පාමින්  
සංකස්සට වැඩියේ රන් ඉණි මඟකින්  
තුන් ලොවම හැමට විවර කරමින්  
දහසක් දෙනා මග පල ලැබුව එදිනින්  
				 
අමරා කුරුප්පුමුල්ලගේ  
උඩහමුල්ල  
				 
 
ගුරු සිත 
				
				 
සැර වැර කෙරුවේ සෙනෙහස වැඩි හින්දා  
තරහ නොගන්නේ ඔබ ගුණවත් හින්දා  
ගියොත් නොමඟ වාවනු බැරි හින්දා 
බැණ වැදුනේ ලෙන්ගතු කම හින්දා  
				 
ගුරු සිත මෙලක බව සිතන්න  
වෛර සිතක් නැති බව සිතන්න  
හොඳ දරුවකු ලෙස දකින්න 
ගුරු සිහිනයක් ඇති බව සිතන්න  
				 
ශාන්ති ඉඳුරුගොල්ල  
ඇඹුල්දෙනිය  
නුගේගොඩ 
				 
 
වප් මස 
				
				 
ඇසළ පසළොස්වක දින පටන් ගෙන  
වප් පසළොස්වකින් අවසන් වෙමින් යන  
වස් කාලයට මහ පින්කම් නිවන් යන 
බොදුවෝ කරති පිරිතිරි සැදැහැයෙන් මන  
				 
මුනිදා දෙසූ දහම් ඇසූ බෝසතුන් මෙතේ  
පැහැදා පැවිදි වුන සම්බුදු සසුන් කෙතේ  
පොහොදා වප් මසෙහි බව එයි දහම් පොතේ  
මතුදා එ මුනි ළඟ ලබනෙමු නිවන් සෙතේ  
				 
කලාභූෂණ කිවිපති අමුවල අමරසේන  
				 
 
අයං වස්සාන කාලෝ
				
  
				 
වැසි කාලයට තණ බිම් මත ලඟින සතුන්  
පාගනවාලු දන් ගන්නට වඩින සඟුන්  
මතයක් පැතිරුවා පුහුදුන් පිරිස විසින්  
බුදු හිමි හටද සැළවිය ඒ ගැන මැනවින්  
				 
මහ සඟ පිරිස අමතා තිලොවග සමිඳු  
නොවඩින ලෙසට පිඬු සිඟනට පෙර පුරුදු  
වතක් පැනවූවා සඟනුන් හට මුනිදු  
සිව් පසයම ලබා නොවනට මතු පලුදු  
				 
ගොඩරත්මලේ විපස්සී හිමි  
ශ්‍රී තපෝදනාරාමය  
දික්වැන්නාගම 
ගල්කිරියාගම 
 
පිනෙන් පිරි වැසි සමය 
				
  
				 
ලැබුණා ලැබුණා පින සරුවන වැසි මාසේ  
ඇඳුණා ඇඳෙනවා පින් සිතිවිලි මනසේ  
ලියා ගන්න බෑ මට ඇති සන්තෝසේ  
වෙහෙරට යන්න කඳුළැලි පිරෙනවා දෑසේ  
				 
සුදු බුදු රැස් දහර පිරිලා නිල් අඹරේ  
නෙළා ගන්න මල් දෙපසේ අඩි පාරේ  
අයං වස්සාන පුවරුව ඇත වෙහෙරේ  
වෙහෙරට වඩිනවා හිමි වරු හෙමින් සැරේ 
				 
වැලිමඩ හෙවණ කුඹුරේ 
සුමනා කේ. එම් 
				 
 
අසිරිමත් පොහෝ දා 
				
				 
සිරිමත් අසිරිමත් වූ වප් පොහොය අද  
වෙහෙරේ විහාරේ බෝ පත් සැලෙන නද  
අසිරිය දැනේ කඨිනය ගැන කියන ලද  
නාගිත තෙරුන් පැවසුවෙ බුදු පාද වැඳ  
				 
ඇරඹේ වප් පොහොයෙ සිට චීවර මාසේ  
සැනහේ පින්වතුන් පින් කරමින් වාසේ  
රිසි සේ දන් පැනින් පූජා දුන් විගසේ  
හිරු සේ දිලී නිවනට යන මග සැලසේ  
				 
චන්ද්‍රලතා හපුආරච්චි  
බෙල්ලන්දොල පාර  
මණ්ඩාවල  
				 
 
පෙම්බර අම්මා 
				
  
				 
දස මසක් කුසෙහි හොවාගෙන  
දහසකුත් සිහින මා නිසා දකිමින් 
ඔබගේ සතුට නිබඳව කැප කර 
හදවතින් ම මට සෙනෙහස පා  
තෙපලූ වදනින් යහපත සැලසූ  
ඔබ වේ පෙම්බර අම්මා  
දැන හෝ නො දැන මා ඔබෙ සිත පාරා  
රහසින් හෝ දෙනුවන් හැඬ වූවානම් 
සමාවන්න මට පෙම්බර අම්මේ  
සංසාරයේ හැම භවයක ම මට ඔබ, මව වී  
ඔබගේ සෙනෙහස මහා මෙරක් සේ  
රකිනා බව සපථ කරමි පෙම්බර අම්මේ  
				 
සාවින්දි මල්ෂා  
අකරවිට, ගම්පහ 
				 
 
උදාවුණි වස් සමය 
				
  
				 
ඉපදවීමට අටමහා කුසල් සැම දෙනාහට  
සමය වස් උදාවුණි ගුණ දහම් වැඩීමට  
සිතඟි ඵල ලබන්නට ජීවිතය පුරාවට  
දැහැමි සිතිවිලි ඇතුව කරමු පින් මනාකොට  
 
වට්ටාරම ටී. ඇම්. පොඩි රාලහාමි   |