[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෙරුම්දම් සම්පූර්ණ කරන බෝධිසත්ත්වයන් වහන්සේ

පෙරුම්දම් සම්පූර්ණ කරන බෝධිසත්ත්වයන් වහන්සේ

සම්මා සම්බුද්ධත්වය හෙවත් අවබෝධයෙහි ඇළුණු තැනැත්තා බෝධිසත්ත්ව නමින් හඳුන්වනවා. බෝධියෙහි හෙවත් චතුරාර්ය සත්‍යාවබෝධයෙහි ඇලුනු පුද්ගලයෝ තිදෙනෙක් සිටිනවා. ඒ මහා බෝධි සත්ත්ව, ප්‍රත්‍යෙක බෝධි සත්ත්ව, සහ ශ්‍රාවක බෝධි සත්ත්ව නමින්.

සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා පෙරුම් පුරන්නේ මහා බෝධි සත්ත්වයන් වහන්සේ. ප්‍රත්‍යෙක බෝධි සත්ත්වයන් වහන්සේ පෙරුම් පුරන්නේ පසේ බුදුවීම සඳහා යි. ශ්‍රාවක බෝධි සත්ත්වයන් වහන්සේ පෙරුම් පුරන්නේ රහත්වීම සඳහා යි.

මේ බෝසත්වරු පෙරුම් පුරන කාලය බෝධිසත්ත්වයන් වහන්සේගෙන් බෝධි සත්ත්වයන් වහන්සේට වෙනස්. මහා බෝධි සත්ත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය පිණිස අවම වශයෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කල් පෙරුම් පිරිය යුතු වෙනවා. එසේ ම, මහ බෝසතාණන් වහන්සේ තමන් වහන්සේ විසින් නියත විවරණ ලබන මොහොත වනතෙක් දියුණු කර ගෙන පැමිණි ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා යන ධර්මයන්ගෙන් ශ්‍රද්ධාව හෝ වීර්යය හෝ ප්‍රඥාව නියත විවරණ ලැබූ පසු බහුල වශයෙන් පුරුදු කරන්නට පටන් ගන්නවා. ඒ පුරුදු කරන ධර්මය අනුව නියත විවරණ ගත් මොහොතේ පටන් පාරමී දම් පිරිය යුතු කාලය ද තීරණය වෙනවා.

ඒ අනුව ප්‍රඥාව දියුණු කරන ලද මහ බෝසතාණන් වහන්සේ නමක් පෙරුම් පිරිය යුතු වන්නේ සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් බව ධර්මයෙහි සඳහන් වෙනවා. මේ කාලය අටාසංඛ්‍ය කාලයක් බවත්, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කල් පෙරුම් පිරිය යුත්තේ වීර්යාධික බුදුවරු බවත්, සඳහන් වෙනවා. එසේ වුවත් ඇතැම් තැනෙක ශ්‍රද්ධාව දියුණු කරන ලද මහ බෝසතාණන් වහන්සේ නමක් පෙරුම් දම් පිරිය යුතු වන්නේ අටාසංඛ්‍ය කල්ප ලක්ෂයක් බව සඳහන් වී තිබෙනවා. වීර්යය දියුණු කරන ලද මහ බෝසතාණන් වහන්සේ නමක් සෝළසාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී දම් පිරිය යුතු වෙන බව සඳහන්. මේ පෙරුම් පුරන ලද කාල සීමාව අනුව බුදුවරු ප්‍රඥාධික, ශ්‍රද්ධාධික , වීර්යාධික වශයෙන් කොටස් තුනකට බෙදා දක්වා තිබෙනවා.

බොහෝ ධර්ම ග්‍රන්ථවලට අනුව අප මහ බෝසතාණන් වහන්සේට පාරමී ධර්ම පුරන්නට සිදුවූයේ සාරාංසඛ්‍ය කල්ප ලක්ෂයක් පමණක් නිසා උන්වහන්සේ ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේ නමක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. සම්මා සම්බුද්ධත්වයට පත්වන විට සෑම බුදුපියාණන් වහන්සේ නමකගේ ම ශ්‍රද්ධාව, ප්‍රඥා දී ධර්ම එකම මට්ටමකයි පවතින්නේ. එසේ වූයේ නමුත්, නියත විවරණ ලබන කාලය වනවිට මේ තත්ත්වය වෙනස් ආකාරයකට යි ක්‍රියාත්මක වන්නේ. ප්‍රඥාධික බෝසත්වරුන්ගේ වීර්යය මධ්‍යම ප්‍රමාණයට ද, ශ්‍රද්ධාව අඩුවෙන් ද ක්‍රියාත්මක වෙනවා. ඒ මහ බෝසතාණන් වහන්සේට, වීර්යයත්, ශ්‍රද්ධාවත්, ප්‍රඥාව සේ සම මට්ටමකට රැගෙන ඒම සඳහා ගත වෙන කාලය සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් වශයෙන් දක්වා තිබෙනවා. පාරමී ධර්ම පූරණය කරනවා කියන්නේ මේ ශ්‍රද්ධා, වීර්ය, ප්‍රඥා කියන ධර්මතා සම මට්ටමකට ගැනීමට කරන උත්සාහයක් වශයෙන් ද හඳුන්වන්නට පුළුවන්.

අප මහ බෝසතාණන් වහන්සේ දීපංකර සහ කොණ්ඩඤ්ඤ යන බුදුපියාණන් වහන්සේ දෙනම අතර එක් අසංඛ්‍යයක කාලයක් ද, කොණ්ඩඤ්ඤ සහ මංගල යන බුදුපියාණන් වහන්සේ දෙනම අතර එක් අසංඛ්‍යයක් ද, සෝභිත සහ අමෝමදස්සී යන බුදුපියාණන් වහන්සේ අතර එක් අසංඛ්‍යයක් ද, නාරද සහ පදුමුත්තර යන බුදුපියාණන් වහන්සේ අතර එක් අසංඛ්‍යයක් ද පදුමුත්තර බුදුපියාණන් වහන්සේගේ පටන් තමන් වහන්සේගේ බුද්ධත්වය දක්වා කල්ප ලක්ෂයක් ද පාරමී දම් පූරණය කළා.

ශ්‍රද්ධාධික බෝසත්වරුන්ගේ ප්‍රඥාව මධ්‍යම මට්ටමකින් ද, වීර්යය අඩුවෙන් ද, ක්‍රියාත්මක වෙනවා. උන්වහන්සේට තමන්ගේ ප්‍රඥාව සහ වීර්යය ශ්‍රද්ධාව හා සම මට්ටමකට ගෙන ඒමට යන කාලය අට අසංඛ්‍ය කල්ප ලක්ෂයක් වශයෙන් දක්වා තිබෙනවා.

වීර්යාධික බෝසත්වරුන්ගේ ශ්‍රද්ධාව මධ්‍යම මට්ටමක ද, ප්‍රඥාව අඩුවෙන් ද ක්‍රියාත්මක වෙනවා.උන්වහන්සේලා ශ්‍රද්ධාව හා ප්‍රඥාව වීර්යය හා සම කර ගැනීමට සෝළසාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පූරණය කරන්නට සිදුවෙනවා. මතු බුදුවෙන මෛත්‍රී බෝධි සත්ත්වයන් වහන්සේ වීර්යාධික බුදුවරයෙකු වශයෙන් ධර්මයෙහි දක්වා තිබෙනවා. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමට පෙරුම් පුරන කාලය සෝළසාසංඛ්‍ය කල්ප ලක්ෂයක් බවයි දක්වා තිබෙන්නේ. මේ කාලය තුළ පාරමී ,උපපාරමී, පරමත්ථ පාරමී යන තුන් ආකාරයට ම අයත් පාරමිතාවන් සම්පූර්ණ කළ යුතු වෙනවා.

එසේම මහ බෝසත්වරු සම්මා සම්බුද්ධත්වය පිණිසම තම බිරිඳ, දරුවන් , රාජ්‍යය, ඇස්, ඉස්, මස් ලේ ආදි ශරීරාවයවයන් හා ජීවිතය යන පඤ්ච මහා පරිත්‍යාගයන් ද සිදු කළ යුතු වෙනවා. මේ තොරතුරු සුත්ත නිපාතට්ඨකථාවේ ඛග්ගවිසාණ සූත්‍ර විස්තරයේ සඳහන් වෙනවා.

ප්‍රත්‍යෙක, නැතිනම් පසේ බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේගේ ම උත්සාහයෙන් සත්‍යාවබෝධය සිදු කර ගන්නා අතර, අනුන් ඒ නිවන් මග වෙත මෙහෙයවන්නට තරම් ධර්මය කියා දෙන්නට උන්වහන්සේලාට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

සම්මා සම්බුදුන් වහන්සේට ම පමණක් දෙවැනි වෙන මේ පසේ බුදුරජාණන් වහන්සේ, සම්මා සම්බුදුවරු ලොව පහළ වී නැති කාලයකයි මෙලොව පහළ වන්නේ. එසේ ම සම්මා සම්බුදුවරයෙකු ලොව පහළ වීමට කලින් උන්වහන්සේ පිරිනිවන් පානවා. එය ධර්මතාවක්. පසේ බුදුවරු, බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය හා ගෘහපති යන කුල තුනෙහි ම උපදිනවා.

ඒ වගේම සියලු බුදුවරු සංවට්ඨ කල්පයන්හි හෙවත් ලෝකය විනාශ වී ගෙන යන කාලයෙහි උපදින්නේ නැහැ. ලෝකය පැවැතී ගෙන යන කාලයෙහි හෙවත් විවට්ඨ කල්පයන්හි උපදිනවා. පසේ බුදුරජාණන් වහන්සේ නමක් වීමට නම් දෙයාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පිරිය යුතු බව සඳහන් වෙනවා. පසේ බුදුබවට පත්වීමට නම් පාරමී, සහ උපපාරමී යන දෙයාකාරයට පාරමී දම් පිරිය යුතු බව ද සඳහන් වී තිබෙනවා.

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 21 වන දා සෙනසුරාදා අපර භාග 08.20 ට ලබයි. 22 වන දා ඉරිදා අපර භාග 7.50 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා ඉරිදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]