[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හෑල්ලු කර සැහැල්ලු වන්න

හෑල්ලු කර සැහැල්ලු වන්න

මෙම ලිපියේ මුල් කොටස පසුගිය 13 දා පත්‍රයේ පළවිය.

මහා ධනයක් හා භෝග සම්පත්තීන් ඇති අමිතභෝගී සිටුවරයෙක් කෝටි ගණනක මුදලක් ගෙන මිනිසුන් නැති, ගම් නියම්ගම් නොමැති, වග වලසුන් මෙන්ම සොර සතුරන් ගැවසී ගත් පාලු මෙන් ම දිගු මාර්ගයකට පිලිපන් විට ඒ ගමන අවසන් වන තුරු සිතේ ඇත්තේ මහත් භීතියක් හා චකිතයක් ම ය.

ඉදිරියට යන සෑම පියවරකින්ම සන්තාපය වැඩිවන්නාක් මෙන් ම, සොරුන් හෝ නපුරු සතුන් මුණ ගැසෙන වාරයක් පාසාම ඔහුට ධනය හා ජීවිතය රැක ගැනීමට මහත් හරඹයක් කිරීමට සිදුවේ. කෙසේ හෝ එම බියජනක ගමන අවසන් කළ පසු වචන වලින් කිව නොහැකි සැහැල්ලුවක් විඳගත හැකි ය. මෙසේ දුරුකතර මාර්ගයක ගමන් ගන්නා ධනවතෙකු උපමා කොට බුදුරජාණන් වහන්සේ සිතෙහි හට ගන්නා දුක්දායක එක්තරා සිතිවිල්ලක් ගැන උගන්වා වදාරති. එනම් විචිකිච්ඡාවයි. සැකය හා පැහැදිලි නීර්ණයක් නොමැති බව මින් අදහස් කෙරේ. එහෙත් සාමාන්‍ය ජීවිතයේ දේවල් පිළිබඳ ව ඇතිවන සැකය නොවේ. බුදුරජුන්ගේ අනන්ත ගුණ ගැන, ධර්මයේ, සංඝරත්නයේ අපමණ වූ ගුණ සමුදාය පිළිබඳව, සීලයෙහි අනුසස් පිළිබඳ ව, පෙර ජීවිත හා අනාගත ජීවිත පිළිබඳ ව සැක කිරීම, ඒ දෙක ම පිළිබඳ හා පටිච්ච සමුප්පාද ධර්මය අරභයා සැක පහළ කිරීම මින් අදහස් කෙරේ.

උක්ත කරුණු ගැන යමෙකුගේ සිතෙහි අවිශ්වාසයක් හට ගනී නම්; මෙසේ විය හැකිද?

නොහැකි ද? කියා සිතයි නම් ඔහුට බුදුරදුන්ගේ උතුම් ධර්ම මාර්ගය පිළිබඳව විශ්වාසනීය බවක් ඇති නොවේ. එවිට ඔහු අධිශ්ඨානශීලී ලෙස කුසල් දහම් රැස් කිරීමේ නොයෙදෙයි. මිනිස්කමේ අගය හඳුනා නොගන්නා ඔහු අකුසල් ධර්මයන්ට නැමීගත් සිතකින් කල් ගෙවා මරණින් පසු දුගතිගාමී වේ. දුරුකතර මාර්ගයේ යන ධනවතාට එම ගමන අවසන් වනතුරු ජීවිතය ඇතුලු සියල්ල පිළිබඳව ඇත්තේ සැකයක් ම පමණි. ඉදිරි මොහොතේ කෙබඳු ඉරණමක් අත්වේද කියා ඔහු සැක කරමින් ගමන් ගනී. අවසානයෙහි කෙසේ හෝ ක්ෂේම භූමියකට පැමිණි පසු එම සැක සංකා පහව ගොස් සැහැල්ලු මනෝ භාවයක් ඇති වේ. ගමන් ගන්නා මාර්ගයේ සොර සතුරන්, වග වලසුන් සිටීම කිසිවෙකුත් අනුමත නොකරයි, ලාමක කොට හෑල්ලු කොට තකයි; නිරුපද්‍රිත භාවයම අගය කරයි. වර්ණනා කරයි. එලෙසින් ම විචිකිච්ඡාව නම් චෛතසික ස්වභාවය හෑල්ලු කොට, තෙරුවන් වහන්සේලාගේ උත්තරීතර ගුණ සාගරය අරභයා අචල ප්‍රසාදය ඇති කරගෙන, එයම අගයමින්, ධර්ම මාර්ගයේ ගමන් කළ යුතු ය. එමගින් යම් දිනෙක සති - සමාධි - ප්‍රඥා ගුණ මුහුකුරා යනු ඇත. නිසැක ලෙසම තථාගත ධර්මයෙහි ඇති සනාතන හා සදාතන බව ඔහුටම වැටහේ. නිරුපද්‍රිතව කතර තරණය කළ ධනවතා මෙන් ඔහු ද සංසාර කාන්තාරය තරණය කොට නිවන් අමා ක්ෂේම භූමියට පා තබයි.

ඒ අනුව ඉහත දැක්වූ කාමච්ඡන්දාදී පංච නීවරණයන් හා හැම පව් දුරුකරනු වස් සියලු අකුසලයන් හෑල්ලු කොට, නිගා කොට, ලාමක හා අනර්ථකර ලෙස දැකීමට සිත හුරු කළ යුතු ය. එයම අප සියලු දෙනාට මතු යම් මොහොතක නිවහල්, නිදහස්, පරම සැහැල්ලුවට පත් සිතක ඇති අසිරිමත් සැනසුම විඳගැනීම පිණිස මාර්ගය වනු ඇත. උපදින සෑම පාපී සිතුවිල්ලක් ම අවබෝධයෙන් යුතුව හෑල්ලු කර, ප්‍රහාණය කර උත්තම සැහැල්ලුව වන අරහත් ඵලයෙන් යම් දිනක සුවපත් වන්නට ඔබ සියලු දෙනාටම වාසනාව ලැබේවා.

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 21 වන දා සෙනසුරාදා අපර භාග 08.20 ට ලබයි. 22 වන දා ඉරිදා අපර භාග 7.50 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා ඉරිදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]