[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉතිහාසය දන්නා දරුවෙකු දහම් පාසලෙන් බිහි කරමු

ඉතිහාසය දන්නා දරුවෙකු දහම් පාසලෙන් බිහි කරමු

"ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ 155 ජන්ම දිනය වෙනුවෙන් පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුව මගින් සංවිධානය කරන ලද "සිරි දම්පල් අභිනන්දන" පූජෝපහාරය පසුගිය 14 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. එහිදී පැපිලියාන සුනේත්‍රාදේවි පරිවෙනාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් පැවැත්වූ විශේෂ දේශනය ඇසුරිනි."

අද මෙම සුගතදාස කී‍්‍රඩාංගණයේ සිදු කෙරෙන ඓතිහාසික සැමරුම අප ඇසින් දුටු, මෑත ඉතිහාසයේ ඉතාමත් ම උසස් අනගාරික ධර්මපාල පූජෝපහාරයක් ලෙසයි අප සඳහන් කරන්නේ.

මහමෙව්නා භාවනා අසපු සංචිතය සංවිධානය කළ මෙම සැමරුම කළ පින අත්වන්නේ පූජාච පූජනීයානං කියන බුදු වදනේ සඳහන් වන පිදිය යුත්තන් පිදීමේ උත්තරීතර ගුණාංගයට බව මෙහිලා සඳහන් කරන්නට කැමැතියි.

අප අනගාරික ධර්මපාල තුමා කියන්නේ එතුමාගේ අතීත චරිතයට යි. නමුත් උන්වහන්සේ අපවත් වෙන්නේ සිරි දේවමිත්ත ධර්මපාල හාමුදුරුවෝ ලෙසයි. ඒ නිසා භික්ෂූන් වහන්සේලා වන අපටත්, අන් අයටත් වැඳිය හැකි, පිදිය හැකි ස්වාමීන් වහන්සේ නමක් තමයි සිරි දේවමිත්ත ධම්මපාල හාමුදුරුවෝ කියන්නේ. ඇයි අපි ධර්මපාල හාමුදුරුවෝ මතු කර ගන්නේ නැතිව ධර්මපාලතුමා මතුකර ගන්නේ. එතුමා තමයි අපේ ජාතික කාර්ය භාරයේ විශිෂ්ටත්වයේ සලකුණ බවට පත්ව තිබෙන්නේ. ජාතියේ පියා ලෙස සැලකිය හැක්කේ අනගාරික ධර්මපාල තුමා යි. ඒ නිසා අද අප ජාතියේ පියා අනුස්මරණය කරන ඒ උතුම් අනුස්මරණ අවස්ථාවටයි සහභාගි වී සිටින්නේ.

රටේ සුවිශේෂි, ගෞරවයට පාත්‍ර විය යුතු පුද්ගලයන්ට තමන් ජීවත්වන කාලය තුළ නින්දා විඳීමට සිදුවීමත්, මරණයෙන් පසු ඔවුන් ජාතික වීරයන් ලෙස වීරත්වයට නම් කිරීමත් සදාකල්හි ම ශ්‍රී ලාංකීය ඉතිහාසය තුළ අප දකින දෙයක්. ඒ සදාතනික උරුමයට අනගාරික ධර්මපාල තුමාත් බඳුන් වුණා. එතුමා ජීවත් වූ කාලයේ දී ජාතිවාදී, ආගම්වාදී උන්මත්තකයෙක් ලෙස සමාජයේ ඇතැමුන් එතුමාට ගැරහුම් කළා. පසුකාලීන ව එතුමා ජාතිය, දේශය ගොඩනැඟූ මහා ශ්‍රේෂ්ඨයෙකු ලෙස නම් කරන්න ඔවුන් ම කැමැති වුණා.

අපේ රට වීරයන්ගේ රටක්. අනගාරික ධර්මපාල තුමාගේ විශිෂ්ටත්වය, ශ්‍රේෂ්ඨත්වය ගැන කතා කරද්දී එතුමා ගැන වරද්දවා ගත් තැනක් මම පෙන්වා දෙන්න කැමැතියි. ඒ තමයි ජාතික නායකයෙක් ලෙස, බෞද්ධාගමික වීරවරයෙක් ලෙස එතුමා හුවා දක්වන්න බොහෝ දෙනෙක් කටයුතු කළා. නමුත් ඊටත් වඩා එතුමා බුදු සමය ජාත්‍යන්තරයට රැගෙන ගිය බෞද්ධ දාර්ශනිකයෙක් කියන කාරණය බොහෝ දෙනෙකුට අමතක වෙලා. එතුමා එදා චිකාගෝ නගරයේ පැවති දෘෂ්ඨි සම්මේලනයට සහභාගි වෙලා බුදු දහම පිළිබඳව ලෝකය අවදි කරන තාක් ආගමක්, නැතිනම් දෙවියෙකුගෙන් තොර ආගමක් සොයන ජනතාව අතරමං වෙලා සිටියේ. ඒ නිසා දෙවියෙකු නැති , තමන්ගේ ස්වඡන්දතාවය තුළ කටයුතු කළ හැකි, විමුක්තිය සලසා ගත හැකි, භාරකරුවා තමා ම කියන දර්ශනයක් ලෙස ගොඩ නැගුණු බුදු දහම බටහිර උගත් ලෝකය පිළිගන්නා මූලික ම සාධකය වුණේ චිකාගෝ සම්මේලනයේ දී තරුණ අනගාරික ධර්මපාල තුමා සිදු කළ දේශනය යි.

එතුමා සමහර අවස්ථාවන් හි කළ දේශනයන් පිළිබඳ බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ හරි රළුයි, හරි කටෝරයි, කර්කශයි, ආමන්ත්‍රණය ඉතාමත් සෘජුයි කියලා. ඒ වගේම සිංහල ජාතිය නගා සිටුවන්නට නිතර කතා කළ, සිංහල ජාතිය පිළිබඳ උමතුවෙන් සිටි කෙනෙක් ලෙසත් සමහර පිරිස් හඳුන්වා දුන්නා.

අද එතුමාගේ එකසිය පනස් පස්වැනි ජන්ම සංවත්සරය යි. එතුමා තරුණ කාලයේ දී යි අපට ඒ සියල්ල කියා සිටියේ. එනිසා අනගාරික ධර්මපාලතුමා කියන්නේ සියවසක් ඉදිරියට රට දකින්න පුළුවන්, දිවැස් ඤාණයක් තිබූ මහා ශ්‍රේෂ්ඨ උගතෙක්. මහා ශ්‍රේෂ්ඨ සමාජ ශෝධකයෙක් ලෙසයි අපි හඳුනාගත යුත්තේ. විශේෂයෙන් ම අනගාරික ධර්මපාලතුමා ජීවත් වූ කාලය අපේ රට යටත් විජිතයක් ව තිබුණා. යටත්විජිතයෙන් ශ්‍රී ලාංකිකයා ගලවා ගැනීම සඳහා මිනිසුන්ට දුන් උපදෙස් පුදුමාකාර යි. එතුමා ක්‍රියා කළ ආකාරය පුදුමාකාර යි. රෙදි කර්මාන්තයට හුරු කිරීම සඳහා ලංකාවේ පිරිස් පිටරටවලට යවා ඔවුන්ට ඒ ඒ ශිල්පීය ඤාණය ලබා දෙමින් නැවත මෙරටට ගෙන ආවා. ඒ අනුව ගිනි පෙට්ටි කර්මාන්තය, පේශ කර්මාන්තය ආදී විදේශීය පුහුණුව ලබාගත් තරුණයන් අප රට තුළ ව්‍යාපාර ආරම්භ කළා.

අපේ රට තුළ අපේම බුද්ධිය, අපේම ශක්තිය භාවිත කර නැඟීි සිටිය යුතුයි කියන කාරණය එතුමා කල්පනා කරන්න ඇති. ඒ වගේ ම නිතරම ශ්‍රී ලාංකිකයන්ට ස්වාභිමානයෙන් කටයුතු කරන්න කීවා. එතුමා දැරූ අදහස් අදටත් අපේ රටට ගැලපෙනවා. අදටත් නැවත නැවත ඒ ගැන සිතිය යුතු, සාකච්ඡා කළ යුතු කාලයක් එළැඹිලා. විශේෂයෙන් ම අනගාරික ධර්මපාලතුමා බිහි කළ ඒ ස්වාභිමානය දවසින් දවස පිරිහෙමින් තිබෙනවා. අද රූපවාහිනී නාලිකාවල සවස් කාලයේ ප්‍රචාරය වන බොහෝ නාට්‍ය සිංහල හඬ කැවූ ඉන්දීය නාට්‍යයන්. එයින් අපේ දරුවන්ට ලබාදෙන සංස්කෘතික දායාදය කුමක් ද? මේ නාට්‍ය බලන්නේ සිංහල දූ දරුවෝ. ඒ දරුවන්ගේ අභ්‍යන්තරයට කවන්නේ ඉන්දියානු චින්තනය. ඒ නිසා සිංහල දෘඩාංග සහිත, ඉන්දියානු මෘදුකාංග සහිත දරුවෝ තමයි ඉදිරියේදී බිහි වෙන්නේ.

අපේ රටේ ඉස්සර මව්පියන්ට දොහොත් මුදුනේ තියා වැඳපු ළමයි අද වඳින හැටි අප දකිනවා. ඒ ළමයි මව්පියන්ගේ කකුළට අත තියලා, ඒ අත තමන්ගේ පපුවට නැත්නම් නළලට තබා ගන්නවා. එහෙනම් අපේ රටේ මවුපියන්ට වන්දනා කරන තැන සිටම සංස්කෘතික සෝදාපාළු වෙලා ඉවරයි. ඉස්සර අපි අපේ අම්මා තාත්තාට ඔයා මෙයා කියලා කතා කළේ නැහැ. අපි කට පුරා අම්මාට අම්මා කිව්වා. තාත්තාට තාත්තා කිවුවා. නමුත් අද බොහෝ දරුවන් අම්මාට, තාත්තාට ඔයා මෙයා කියන්න හුරුවෙලා. ඒ නාට්‍යවල තිබෙනවා අඩි හප්පලා, පුටු තල්ලු කරලා අම්මට තාත්තාට ඇගිල්ල දිගු කරලා කතා කරන දර්ශන. ක්‍රමානුකූලව ඒවා සමාජයට අවශෝෂණය වෙනවා. ඒවා අපේ දරුවන්ගේ හිත්වලට කා වදිනවා.

අවුරුදු ගණනාවක් ගියා ම අපේ සංස්කෘතිය ක්‍රමානුකූලව මේ නාට්‍යවල පෙන්වන චර්යාවන්ට හුරුවෙන එක වළක්වන්න බැහැ. මේ සංස්කෘතික සෝදාපාළුවට විරුද්ධ ව ඒකාබද්ධ වෙන්න ඕනේ. අපි හුදකලා වෙලා ඉන්න ඕනේ නැහැ. අපේ සංස්කෘතියට එල්ලවන විශාල ප්‍රහාර අප දකින්න ඕනේ. අපි අනගාරික ධර්මපාල තුමාගේ චරිතය අධ්‍යනය නොකොට, දර්ශනයයි අධ්‍යයනය කළ යුත්තේ.

අද අපේ දහම් පාසල් අධ්‍යාපනය කෙබඳු ද? ඒ අධ්‍යාපනය දරුවෙකුට අවුරුදු දහයක්, එකොළහක් ලබා දෙනවා. නමුත් ඒ දරුවා සංස්කෘතිය රකිනන, ඉතිහාසය දන්න, ධර්මයට ගරු කරන, විවිධ රැලිවලට ගසාගෙන යන්නේ නැති, දරුවෙක් බවට පත් කර ගන්න අපට බැරි වෙලා තිබෙනවා. අප ලබා දී තිබෙන්නේ බටහිරට අවශ්‍ය දැනුම දෙන දරුවෙක් පමණයි. බුද්ධාගම ඉගැන්නුවාට බෞද්ධයෙක් බවට පත්වෙලා නැහැ. එනිසා අප දරුවන්ට අපේ ඉතිහාසය, සාහිත්‍යය, චාරිත්‍රවාරිත්‍ර , අපේකම උගන්වන්න ඕනේ.

ඒ නිසා අද තිබෙන දහම් පාසල් අධ්‍යාපනය මුළුමනින් ම බෞද්ධ දරුවෙක් ගොඩ නගන්න සංශෝධනය විය යුතුයි. එසේ වූයේ නැත්නම් අප කෙ තරම් දරුවන් දහම් පාසල් ඇරියත් අපට අවශ්‍ය දරුවා ගොඩනඟා ගන්න බැරි වෙනවා. ඒ වගේ ම පිරිවෙන් අධ්‍යාපනයත් මුළුමනින් ම අවශ්‍ය ආකාරයට සංශෝධනය විය යුතු වෙනවා. පිරිවෙන් අධ්‍යාපනයෙන් සාරගර්භ භික්ෂුන් වහන්සේ නමක් සකස් කරන්නේ. උන්වහන්සේ තුළ පාලි, සංස්කෘත, බුද්ධ ධර්මය , සිංහල ආදී විවිධ භාෂා තුළ දැනුමක් නිර්මාණය වෙන්න ඕනේ. සාමාන්‍ය පාසල් අධ්‍යාපනයට අනුගත වූ පිරිවෙන් අධ්‍යාපනයක් නොවේ අවශ්‍ය. ඒ නිසා මේ බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවීමේ දී අලුතින් හිතන වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා.

අපේ ඓතිහාසික ස්ථාන දවසින් දවස බෞද්ධයාට අහිමි වී යනවා. බෞද්ධයා නිසොල්මනේ බලාගෙන සිටින්න්නේ සිතන්නට තරම් චින්තනයක් නැතිවා සේ. දවසින් දවස අපේ සාරධර්ම, සභ්‍යත්වය, සිරිත් විරිත් නැතිවී ගෙන යනවා. එදා ශිෂ්ඨත්වයේ සහ විශිෂ්ඨත්වයේ සලකුණ තමයි ශ්‍රී ලංකාව. ඒ නිසා මේ ශිෂ්ඨාචාරය විනාශ කරන්න නම් බුදු දහම විනාශ කළ යුතු වෙනවා. මේ දැවැන්ත අභියෝගයන්ට මුහුණ දෙන්න අපි සියලු දෙනා ශක්තිමත් ව කටයුතු කළොත් අනගාරික ධර්මපාල තුමා එදා අප රට තුළ ගොඩනගන්න කළ උත්සහය මව්බිම තුළ සැකසේවි.

එනිසා අනගාරික ධර්මපාල තුමාගේ ජන්ම සංවත්සරය අදටත් අපට වැදගත් වෙන්නේ ඒ ශ්‍රේෂ්ඨ උත්තමයාගේ උපත නිසා මහ පිරිසක් එයින් ප්‍රතිලාභ ලබපු නිසායි. අද බුද්ධගයාව අපි දකින්නේ එතුමා නිසයි. ලංකාවේ යම් ආගමික ප්‍රබෝධයක් ඇද්ද ඒ සියල්ලම අනගාරික ධර්මපාල තුමා නිසා යි.

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 21 වන දා සෙනසුරාදා අපර භාග 08.20 ට ලබයි. 22 වන දා ඉරිදා අපර භාග 7.50 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා ඉරිදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]