[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 ශ්‍රේෂ්ඨයෙකු වන මඟ

 ශ්‍රේෂ්ඨයෙකු වන මඟ


මේ ලෝකයට පහළ වූ ශ්‍රේෂ්ඨතම පුරුෂෝත්තමයාණන් වහන්සේ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ අපට ද ශ්‍රේෂ්ඨත්වයට පත් විය හැකි බව දේශනා කොට වදාළා. එසේ ම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු විය හැක්කේ සැබැවින් ම කෙලෙස් නැසූවෙකුට පමණ යි. බුදු, පසේබුදු, මහරහත් යන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියක් මුල් කරගෙන, චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගෙන, කෙලෙස් නැසූ තැනැත්තා ශ්‍රේෂ්ඨ උතුමෙකු වෙනවා.

බුදු දහමට අනුව ශ්‍රේෂ්ඨත්වයට පත්විය යුත්තේ තමාගේ ම ඇප කැපවීම මත මිස අනෙකාගේ මහන්සිය මත නොවේ. ඔබට ශ්‍රේෂ්ඨයෙකු වීමට අවශ්‍ය වන්නේ නම්, ඔබ ඇප වී "කැප වී ශ්‍රේෂ්ඨයකු සතු විය යුතු ගුණාංග ඔබගේ ජීවිතය තුළ ගොඩනගා ගත යුතු වෙනවා.

යමෙක් ශ්‍රේෂ්ඨයෙකු වීමට බලාපොරොත්තු වන්නේ නම්, ඒ තැනැත්තා විසින් පළමු ව සිදු කළයුත්තේ ප්‍රත්‍යාවලෝකනය යි. තමා තුළින් ම තමා දෙස පිරික්සා බැලීම යි . එසේ පිරික්සීමේ දී ශ්‍රේෂ්ඨයෙකු වීමට අත්‍යවශ්‍ය ම සුදුසුකම තමා තුළ තිබේදැයි දැන ගත හැකි වෙනවා. ඒ සුදුසුකම නම් තමා තමන්ට අවංකවීම යි. මූලික ව ම අවංක විය යුත්තේ තමාට යි. එය අනුන්ට පෙන්වීම සඳහා ඇති කර ගත යුත්තක් නොවේ. බොහෝ දෙනා තමන්ට නැති අවංකකමක් අනුන්ට පෙන්වීමට උත්සාහ කරනවා. එය අවංකකම නොවේ, කුහකකම යි. තමන් තුළ නැති ගුණ පෙන්වා, තමන්ගේ කාර්යයන් සිදුකරවා ගැනීම, අනුන් මුළාකිරීම කුහකකම යි. කුහකයෙකුට ශ්‍රේෂ්ඨත්වයට පත්විය නො හැකි යි. එබැවින් ඔබ තුළ සැබැවින් ම තිබෙන ගුණාංග මැනැවින් හඳුනාගන්න. නුගුණ හමුවේ අවංක වන්න. ඔබ තුළ වරදක් තිබේ නම් එය වරදක් ලෙසින් ම දකින්න. වරද වරදක් ලෙස දකින තැනැත්තාට පමණයි නිවැරැදි වන්නට හැකියාව තිබෙන්නේ. එසේ කරන, වැරැදි අඩුකර ගැනීමට උත්සාහ කරන තැනැත්තාටයි ශ්‍රේෂ්ඨයෙකු වියහැක්කේ.

නැති ගුණ පෙන්වීම

තමා තුළ නැති ගුණ ඇති සේ පෙන්වන්නා කුහකයා යි. කුහකකම ගැන කියැවෙන කුහක ජාතකයෙන් ද, කුහකවත ගැන කියැවෙන කුහක සූත්‍රයෙන් ද, මේ පිළිබඳ කරුණු වැඩිමනත් දැන ගැනීමට හැකියාව තිබෙනවා. මේ ගැන දැන ගැනීමෙන් ඔබට කුහකයෙකු නොවී සිටීමට අවස්ථාව සැලසෙන්නා සේ ම, කුහකයෙකුගේ ගොදුරක් බවට පත් නො වී සිටීමටත් හැකියාව උදාවෙනවා. කෙසේ වෙතත් කුහකයා හඳුනාගැනීම පහසුවන්නේ නැහැ. කුහකයා කියන්නේ ඍජුව ම තමන්ගේ දුදන ගති පෙන්වන කෙනෙක් නො වෙයි. එබඳු අය සමාජයට පෙන්වන්නේ බොහෝ විට යහපත් ගතිගුණ ස්වභාවයනු යි. යහපත් බව ඉස්මතු වෙන නිසා ඒ අයට තිබෙන නරක ස්වභාව කෙනෙකුට එකවර වටහා ගැනීම අපහසු යි. කෙසේ වෙතත් සිහි නුවණින් එවන් පුද්ගලයන් ඇසුරු කරන විට ටික ටික හෝ ඒවා හඳුනාගත හැකි වෙනවා.

මෙකල බොහෝ දෙනා කුහක වත අනුගමනය කරනවා. එවන් අය මුසාවෙන්, මුළාවෙන්, කුහක ප්‍රතිපදාවෙන්, ඊර්ෂ්‍යාවෙන්, මුළු ලෝකය ම වසා දමා තිබෙනවා. තරගය, වාණිජකරණය, ඉක්මණින් පොහොසත්වන්නට යාම, අධික තෘෂ්ණාව වැනි මනෝභාවයන් මේ සඳහා මුල් වී තිබෙනවා. මේ පසුබිම යටතේ ඇතැම් දෙනා මතුපිටින් පමණක් යහපත් වී තිබෙන බවකුත් පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා තමා යහපත් කෙනෙකැයි සිතන ඔවුන්, අනුනට ද තමන් හොඳ බව පෙන්වන්නට උත්සාහ කරනවා. එවන් අය හැමදාම වන්දනා කරනවා. උතුමෝ පුදනවා, බණ අසනවා. පන්සල් යනවා, පල්ලි, දේවාලවලට යනවා, බණ පොත් කියවනවා. විවිධ වෙහෙර විහාරස්ථානවලට, සංවිධානවලට ආධාර කරනවා. දුප්පතුන්ට, අසරණයන්ට පිහිට වෙනවා. එසේ ඒ ඒ හොඳ යැයි සම්මත කටයුතු කරමින් තමන් සිදුකළ යුතු සියල්ල කර ඇති බවත්, ඒ නිසා තමන්ට සුගතිය හිමි බවත්, තමන් මරණින් මතු උපදින්නේ දිව්‍ය ලෝකයේ බවත් සිතනවා. ඒ පමණක් නොව අන් අය සමග ද කියනවා. ඒ අසා සිටින අන් අය ද අනේ ඇත්ත තමයි, මොහු නම් ගොඩාක් පින් කළ කෙනෙක්. මෙයා මියගියාම දිව්‍ය ලෝකයේ උපදීවි යැයි සිතනවා. එහෙත් හැම මොහොතක ම සිදුවන යථාර්ථය එය ම ද?

අධ්‍යාත්මික දිළින්දා

බොහෝ දෙනා හොඳ දේ කරන්නේ සැබැවින් ම ඒ දේ හොඳ නිසා ම නොවේ. ඒ හොඳ දේ සිදු කළා ම තමන්ට ලැබෙන භෞතික වාසි සලකා ගෙන යි. එය ද සිදු කරන්නේ තණ්හාව මුල් කර ගෙන යි. කෙලෙස්වලින් තෙත් වී ගෙන යි. ලෝකෝත්තර වශයෙන් බලන කල ඒ තැනැත්තා සැබැවින් ම අධ්‍යාත්මිකව දිළින්දෙක්. හොඳ යැයි සම්මත සියලු දේ සිදුකර ඇත්තේ සසර පැවැත්ම තහවුරු කර ගැනීම පිණිස මිස සසරින් මිඳීම හෙවත් සසර නැවැත්ම පිණිස නොවේ. පරාර්ථ චර්යාව පෙන්වා සිදු කරනු ලබන ආත්මාර්ථකාමී ක්‍රියා ලෙසින් එවන් ක්‍රියා හැඳින්විය හැකි යි. ආත්මාර්ථය පිණිස කරනු ලබන ක්‍රියාවන්ට පරාර්ථකාමීබව ආරෝපණය කිරීම කුහක ප්‍රතිපදාවේ එක් පැතිකඩක් බව මේ අනුව අප වටහා ගත යුතු වෙනවා.

මෙවන් කටයුතුවල දී තම අධ්‍යාත්මය දියුණු කර ගැනීමට නම් කළයුත්තේ ඒ සිදු කරනු ලබන ක්‍රියාව තමන් විසින් සැබැවින් ම සිදු කරනු ලබන්නේ ඇයිදැයි නුවණින් විමසා බලා කිරීම යි. එසේ නුවණින් විමසන විට මේ ක්‍රියාව තුළින් මගේ තණ්හාව වැඩි වෙනවා ද? මානය වැඩි වෙනවා ද? වෙනත් විවිධ කෙලෙස් ඇති වෙනවා ද? යනුවෙන් වටහා ගත හැකි වෙනවා. කෙලෙස් වැඩෙන ලෙසට හොඳ දේ සිදු කිරීමෙන් සසරින් නිදහස්වීමක් සිදුවන්නේ නැති බව වටහා ගත යුතු වෙනවා. එබැවින් එවැනි ක්‍රියා තුළ තමා ද රවටා ගන්නේ නැතිව,. අනුන් ද රවටන්නට යන්නේ නැතිව සිතට එකඟව කටයුතු කිරීම වැදගත් වෙනවා. ආත්මාර්ථයෙන් තොරව කරනු ලබන ක්‍රියාවේ වැදගත්කම තේරුම් ගෙන, කරනු ලබන ක්‍රියාවෙන් සිදුවන අධ්‍යාත්මික පරිවර්තනය නුවණින් දකිමින් ජීවිතය ගොඩනගා ගත හැකියි.

සාමාන්‍යයෙන් අප බෞද්ධයන් වශයෙන් ජීවිතයේ විවිධ අවස්ථාවන් හි දී බෝධිපූජා පැවැත්වීමට හුරු පුරුදු වී සිටිනවා. බෝධිපූජා පවත්වන බොහෝ දෙනාගේ සිත් තුළ තිබෙන්නේ නිරාමිස චේතනා වෙනුවට සාමිස හෙවත් කෙලෙස් සහිත සිතිවිලි බව වටහා ගැනීම අපහසු නැහැ. ජයසිරිමහ බෝධීන් වහන්සේ වෙතට ගොස් අප සිදුකළ යුත්තේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සිදු කළ දේ නොවේ ද? මහ බෝසතාණන් වහන්සේ ජයසිරිමහ බෝධි මූලය වෙතට ගොස් සිදු කළේ සියල්ල අත හැරීම යි. ලෝකය අතහැරීම යි. එනමුත් උන්වහන්සේගේ ශ්‍රාවකයන් වන අප බොහෝ දෙනා එතැනට ගොස් සිදු කරන්නේ සියල්ල අල්ලා ගැනීම නොවේදැයි ඔබ නුවණින් විමසා බලන්න. ලෝකය අත්හළ තැන නිවන යි. ලෝකය අල්ලා ගත් තැන සසර යි.

නිකිණිපුර අටවක පෝය

නිකිණිපුර අටවක පෝය අගෝස්තු 07 වනදා බදාදා පූර්ව භාග 11.40 ට ලබයි. 08 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 14 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]