[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුඛුමච්ඡවිලක්ඛණං: 12 වන මහා පුරුෂ ලක්ෂණය

සුඛුමච්ඡවිලක්ඛණං

12 වන මහා පුරුෂ ලක්ෂණය

තථාගත බුදුරජාණන් වහන්සේ පෙර ඉපදීම්වල දී පෙර භවයන්වල දී මනුස්සයෙක් ව උප්පත්තිය ලබා සිටිය දී ශ්‍රමණයන්, බ්‍රාහ්මණයන් වෙත ගොස් ප්‍රශ්න කර තිබෙනවා.

“කිං භන්තෙ, කුසලං” කුසලය යනු කුමක් ද? “කිං අකුසලං” අකුසලය යනු කුමක් ද? “කිං සාවජ්ජං” වැරැදි දේ මොනවා ද? “කිං අනවජ්ජං” නිවැරැදි දේ මොනවා ද? “කිං සෙවිතබ්බං” සේවනය කළ යුතු දේ මොනවාද? “කිං න සෙවිතබ්බං - සේවනය නොකළ යුතු දේ මොනවා ද? කුමක් කළේ නම් මට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතී ද? කුමක් සිදු කළොත් මට බොහෝ කාලයක් හිතසුව පිණිස, සැප පිණිස පවතින්නේ ද? යනුවෙන් . ඒ ඒ ආචාර්යවරුන් බ්‍රාහ්මණයන් වෙත ගොස් පැහැදිලි කර ගනිමින් ධර්මය ඉගෙනගැනීම හා අවබෝධ කර ගැනීම සිදු කරගෙන තියෙනවා.

එනම් ප්‍රඥාව වැඩෙන ආකාරයෙන්, සියුම් සියුම් දේ පිළිබඳව නො සැලකිල්ලෙන් සිටින්නේ නැතිව ඒ සෑම කරුණක් පිළිබඳව ම හොඳින් දැන ගැනීමයි. ඒ වගේ ම ඉතාම සියුම් කරුණු පිළිබඳව පවා ශ්‍රමණයන්, බ්‍රාහ්මණයන් වෙත ගොස් අසා දැන ගන්නා නිසා විශේෂ පුණ්‍ය කර්මයක් ලෙසට මෙම කර්මය රැස්වෙනවා.

“සමණං වාති සමිතපාපට්ඨෙන සමණං” පව් සමනය කළ නිසා ශ්‍රමණ යැයි පවසනවා. ‘බ්‍රාහ්මණං වාති බාහිතපාපට්ඨෙන බ්‍රාහ්මණං’ තමන්ගේ කෙලෙස් ඉවත් කළ නිසා බ්‍රාහ්මණ යනුවෙන් ද හඳුන්වනු ලබනවා. මහා ප්‍රඥා යනුවෙන් හඳුන්වන්නේ හා ප්‍රඥා ආදී ප්‍රඥාවලින් සමන්විත නිසා, මේ එහි වෙනස යැයි කියා වෙනස පෙන්නුම් කරනවා.

මහා ප්‍රඥාව නම් කුමක් ද? මහත් වූ සීල ස්කන්ධයක්, ඥානයෙන් ග්‍රහණය කර ගන්නා නිසා මහා ප්‍රඥා කියා හඳුන්වනවා. ‘මහන්තෙ සමාධික්ඛන්ධෙ” මහත් වූ සමාධි ස්කන්ධයක් ග්‍රහණය කර ගැනීමට හැකියාව තියෙනවා. මෙහි සමාධිය ලබන්නේ සමතයෙනි. එවැනි සමථයානික ක්‍රම හතළිහක් දේශනා කර තිබෙනවා. ‘පඤ්ඤාක්ඛන්ධෙ’ මහත් වූ ප්‍රඥා ස්කන්ධයක් ග්‍රහණය කර ගැනීමට පුළුවන් නිසා, සමථ භාවනාවේ ක්‍රම හතළිහෙන් සමහර ඒවා තුළින් ප්‍රථම ධ්‍යානයට සම වදින්නට හැකිවෙනවා. ඒ වගේ ම තවත් සමහර ක්‍රමයන් තුළින් දුතිය ධ්‍යානයට සම වදින්නට පුළුවන්. ඒ වගේ ම තෘතිය ධ්‍යානයට, චතුර්ථ ධ්‍යානයට, සම වදින්නට පුළුවන්. ඒ වගේ ම සමහර ක්‍රමවලින් ධ්‍යානවලට සමවදින්න හැකියාවක් නැහැ.

මේ ආකාරයෙන් නොයෙක්, නොයෙක් ක්‍රමයන්ගෙන් මේ මේ ආකාරයට සිදු කළ විට මේ මේ ආකාරයේ ප්‍රතිඵල ලැබෙනවා. කියන දේ දැන ගැනීම මහා ප්‍රඥාව ලෙස දක්වනවා.

“විමුත්තිඛන්ධෙ’ මහත් වූ විමුක්ති ස්කන්ධය ග්‍රහණය කර ගැනීමට පුළුවන්. විමුක්තිය යනු මාර්ගඵල ලැබීමයි. “විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙ’ මහත් වූ විමුක්ති ඤාණ දර්ශන ස්කන්ධයක්, යම් වූ මාර්ගඵලයක් ලැබුණා නම්, ඒ මාර්ගඵල ලැබූ පුද්ගලයාට පහළවෙන ඥානයයි. එවැනි ඥාන පහක් සෝවාන් වූ උතුමන් වහන්සේට පහළ වෙනවා. සකෘදාගාමීන් වහන්සේලා එවැනි ඥාන පහක් ලබනවා. ඒ වගේ ම අනාගාමීන් වහන්සේලා ඥාන පහක් හා රහතන් වහන්සේලා ඥාන හතරක් වශයෙනි. මේ ඥාන සියල්ලක් ම හඳුන්වනවා එකුන්විසි ප්‍රත්‍යවේක්ෂා ඥානය කියා. “පරිග්ගණ්හාතීති මහාපඤ්ඤා” ග්‍රහණය කර ගැනීමට පුළුවන් නිසා මහා ප්‍රඥා යනුවෙන් හඳුන්වනවා.

නිකිණිපුර අටවක පෝය

නිකිණිපුර අටවක පෝය අගෝස්තු 07 වනදා බදාදා පූර්ව භාග 11.40 ට ලබයි. 08 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 14 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]