[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධම්මපදයෙන් ජීවිතයට : කළ කළ පින පිනවයි මන

කළ කළ පින පිනවයි මන

ඉධ නන්දති පෙච්ච නන්දති
කතපුඤ්ඤො උභයත්ථ නන්දති
පුඤ්ඤං මෙ කතං ති නන්දති
භිය්‍යා නන්දති සුග්ගතිං ගතො

මෙලොවත් තුටුවෙයි - එලොවත් තුටු වෙයි
දෙලොව ම තුටු වෙයි – කළ පින් ඇති අය
සිහි කොට තුටු වෙයි – පිනක් කළෙමි යයි
වැඩියත් තුටු වෙයි – ඉපදී දෙව් ලොව

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සේක් අනේපිඬු සිටාණන් ගේ බාල ම දියණිය වූ සුමනා දේවිය ඇරබ මේ ගාථාව වදාළ සේක.

සැවැත් නුවර අනාථපිණ්ඩික සිටුවරයාණන් ගේ නිවසෙහි දිනපතා පන්සියයක් නමකට දන් පිරිනැමෙයි. අනේපිඬු සිටුතුමා විසින් මේ දෛනික මහා දානමය පුණ්‍ය කර්මයෙහි කාර්යය සංවිධානය සිය වැඩිමහල් දියණිය වූ මහා සුභද්‍රාවනට පවරා තිබිණ. ඇය විවාහ වී ස්වාමියා ගේ නිවසෙහි වාසයට ගිය පසු ඒ කටයුතු චූල සුභද්‍රාවනට පවරණ ලදී. ඕ ද පසු කලෙක විවාහ ව ස්වාමියා ගේ නිවසෙහි වාසයට ගියා ය. ඒ දෙදෙනා ම විවාහ වන විට සෝවාන් ව සිටිය හ.

වැඩිමහල් දියණියන් විවාහ වී ගිය පසු මේ කාර්ය භාරය බාල ම දියණිය වූ සුමනා දේවියට පැවරිණි. ඕ ද බණ අසා සෝවාන් වූවා ය. පින්කම් සංවිධානයෙහි ම නිරතව විසූ හෙයින් ඕ ඉතා සතුටින් සියල්ලන් හා ප්‍රිය වාදී ව ප්‍රීතියෙන් හා සැහැල්ලු සිතින් කල්ගත කළා ය.

මේ අතරතුර සුමනා දේවී හදිස්සියේ ම බරපතල ලෙස ගිලන් වුවා ය. ඇය සුව වන බවක් නො පෙනිණ. එක් දිනක් හදිසියේ ම ඕ පියාණන් තමන් වෙත කැඳවූවා ය. අනාථ පිණ්ඩික සිටුතුමා ද දියණිය බරපතළ සේ රෝගාතුර හෙයින් වහා ඇය වෙත දිව අවුත් “ඇයි දියණියෙනි, මා හිදිසියේ ම කැඳවූයේ?” යි ප්‍රශ්න කළේ ය. “මලණුවෙනි, ඔබ කුමක් ද විමසුයේ?” යි සුමනා දේවි ප්‍රශ්න කළා ය. තමන්ට තම දියණිය ‘මලණුවෙනි’ යි ඇමතීම ගැන විමතියට පත් සිටු තෙම “දියණියෙනි, ඔබේ කතාව අමුතු ය. ඔබ ගේ සිහිය අවුල් වූ බවක් පෙනේ.” යි පැවසී ය. “නැත බාල සොහොයුරාණනි, මම සිහි ඇතිව කතා කරමියි සුමනා දේවි පිළිතුරු දුන්නා ය. “දියණියෙනි, ඔබට බයක් දැනෙනවා ද?” යි සිටුතුමා යළි විමසූ විට “නැත මලණුවනි, මට බයක් නො දැනේ” යි පවසා සදහට ම දෙනෙත් පියා ගත්තා ය.

සෝවාන් ඵලයට පත් ව සිටියා වූව ද සිටුතුමා ට ඉන් ඇති වූ ශෝකය විඳ දරා ගත නො හැකි තරම් විය. අවමංගල චාරිත්‍ර නිම වූ වහා ම හැඬූ කඳුලෙන් බුදුරදුන් දකින්නට ගිය හෙතෙම “ස්වාමීනි, මගේ දියණිය සුමනා දේවි මියගියා”යි වැලපෙන්නට පටන් ගත්තේ ය. ඔහු අස්වසමින් භාග්‍යවතුන් වහන්සේ “සිටුතුමනි, මරණය සියල්ලන්ට ම උරුම බව ඔබ නො දන්නේදැ’යි විමසූ හ. එහෙත් මට විඳ දරා ගත නො හැක්කේ මෙ තරම් නුවණැතිව, සංවරව සිටි මගේ දියණිය අවසන් මොහොතේ උමතුවෙන් දොඩවා මිය යාම ය”යි හෙතෙම සැල කර සිට්යේ ය. “මොනවා ද, ඔබේ බාල දියණිය දෙඩවූයේ?” යි භාග්‍යවතුන් වහන්සේ විමසූ හ. “ස්වාමීනි, මා ඇයට දියණියනි, යි ඇමතූ විට ඕ මට ‘බාල මලණුවෙනි’යි කතා කළා”යි පැවසූ සිටුතෙම තමන් හා දියණිය අතර වූ සංවාදය මුළුමනින් ම බුදුරදුන්ට සැලකර සිටියේ ය. “සිටුවරය, ඔබේ දියණිය මිය ගියේ සිහි විකල්ව නො වේ. ඇය සිහි විකල්ලෙන් දෙඩවූයේ නැත.” “එසේ නම් ඇය මට මලණුවෙනි , යි ඇමතුවේ කවර හෙයින් ද ස්වාමීනි?” “ඇත්තට ම සිටුතුමනි, ඔබ ඇය ගේ මලණු කෙනෙකි. ඔබ ලබා ඇත්තේ සෝවාන් ඵලය පමණි. සුමනා දේවි සකෘදාගාමීව සිටියා ය.” “එය ද ස්වාමීනි හේතුව?” “එසේ ය සිටුවරය. ඇය ඔබට බාල සොහොයුරායැයි ඇමතුවේ ඒ නිසා ය.”

අනතුරුව තම දියණිය ගේ නව ජන්මය ගැන දැන ගන්නට සිටුතුමාට අවශ්‍ය විය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මගේ දියණිය මරණින් පසු උපන්නේ කොහි ද?” “ඔබේ දියණිය දැන් තුසිත දෙව්ලොව ඉපිද සිටින්නී ය.” “ස්වාමීනි මගේ දුව මනුලොව සිටිය දී කාගේත් සිත් ගනිමින් ප්‍රසන්න පැවතුම් ඇතිව මහත් ප්‍රීතියෙන් සිටියා ය. දැන් ඕ මිය ගිය පසු පරලොව ද මහත් සොම්නසින් සිටින බව දැන ගතිමි.” යි සිටුතුමා උදම් වූ විට බුදුරජාණන් වහන්සේ “සිටුතුමනි, එය සැබෑවක් ම යැ” යි වදාළ සේක.

නිකිණිපුර අටවක පෝය

නිකිණිපුර අටවක පෝය අගෝස්තු 07 වනදා බදාදා පූර්ව භාග 11.40 ට ලබයි. 08 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 14 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]