[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සේරුවිල ලලාට ධාතු නිකිණි මහා පින්කම

සේරුවිල ලලාට ධාතු නිකිණි මහා පින්කම


මින් අනූපස් වසරකට ඉහත දී ඓතිහාසික සේරුවිල මංගල මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියස නිකිණි මහේ ඇරැඹි ශ්‍රීමත් ලළාට ධාතු පූජා මහා පින්කම මෙවර අගෝස්තු මස 8 වන දින සිට 15 වන දින දක්වා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත. සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පාළුගම භාවනා මධ්‍යස්ථානාධිපති, මංගල ධර්මකීර්ති ශ්‍රී මුංහේනේ මෙත්තාරාම මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සේරුවිල මංගල මහා චෛත්‍ය වර්ධන සමිතිය ප්‍රමුඛ සමිති සමාගම් හා රාජ්‍ය ආයතනවල අනුග්‍රහයෙන් පැවැත්වෙන මහා පින්කමට අගෝස්තු මස 8 වන දින සති පිරිත් දේශනාව ආරම්භ කර අගෝස්තු 15 වන දින දක්වා දිනපතා ධර්ම දේශනා හා ආගමික වැඩසටහන් රැසක් ඇතුළත් වෙයි.

තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරිපා පහසින් සදහට ම පවිත්‍ර වූ උන්වහන්සේගේ ශ්‍රී මත් ලලාට ධාතූන් වහන්සේ නිදන් ගත සේරුවිල (තිස්සමහා විහාරය) මහා සෑ රදුන් පිහිටි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ බෞද්ධ පූජනීය ස්ථාන අතුරෙන් සේරුවිලට හිමිවන්නේ වැදගත් තැනකි .

ඓතිහාසික අතින් මෙන් ම, පූජනීය අතින් ද ඉතා වැදගත් වූ මෙම වාර්ෂික පුණ්‍යෙීත්සවය ලංකාවේ ආර්ය ජනාවාස ආරම්භයේ සිට ම, ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වූ නැගෙනහිර වෙරළෙහි මහවැලි මිටියාවත අවුරුදු දහස් ගණනක් තිස්සේ කෝටි සංඛ්‍යාත බෞද්ධ ජනතාවගේ වන්දනීය හා පූජනීය ස්ථානයක් වශයෙන් මහනීය ස්ථානයක වාර්ෂිකව පවත්වන උත්සවය කි. ඓතිහාසික වශයෙන් සිංහලයාගේ මුල්ම ජනාවාස විහිදී ගිය ප්‍රදේශයක දැනට අවුරුදු දෙදහසකටත් වඩා ඉපැරැණි පුරාවස්තුවලින් විසිරී ඇති මෙම පූජා භූමිය කාවන්තිස්ස රජතුමා විසින් ඉදිකරවන ලද්දක් වශයෙන් පිළිගනී. පුරාණ ලංකාවේ කොටස් වෙන්කර ව තිබූ පාලන ක්‍රමයක් අනුව මායා හා පිහිටි රටේ දේශ සීමා වෙන් වූ මහවැලි ගඟේ දකුණු ඉවුරෙහි පිහිටා ඇති මෙම පූජනීය ස්ථානය වටා සිංහලයන් ලක්ෂ ගණනක් පදිංචිව සිට ඇති බව අවට ප්‍රදේශය පුරා විහිදී ඇති ලොකු කුඩා බෞද්ධ නෂ්ටාවශේෂයන්ගෙන් මනාව පැහැදිලි වේ. අද මෙන් ගමන් පහසුකම් නොතිබුණු එදා ගාල්ලෙන් නැව් නැග මුහුදු මාර්ග ඔස්සේ සේරුවිලට වැඩම කළ පූජ්‍ය දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නාහිමියන් නොසිටින්නට සේරුවිල මංගල චෛත්‍යය බෞද්ධයන් වන අපට දැකගන්නට ඉඩ නොලැබෙනු ඇත.

අලි , කොටි, වළසුන්ගෙන් ගහණ මහ වන මැදින් සිංහලයන්ගෙන් හිස් වූ මේ ප්‍රදේශයෙහි මෙවැනි ස්ථානයක් ප්‍රකෘතිමත් කිරීමට අත තැබූ උන්වහන්සේ සියලු ලංකාවාසී බෞද්ධයන්ගේ සදා ගෞරවයට පාත්‍ර විය යුතු ය.

අඩසියවසකටත් එහා මහ ගන වනාන්තරයෙන් වැසී තිබුණු සේරුවිල ප්‍රදේශය වර්තමානයේ විශාල දියුණුවක් ලබා ඇත. නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ ප්‍රබෝධය සහ ශාසන දියුණුවේ ආදී කර්තෘන් වහන්සේ ද වන දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහ නා හිමියන්ට ලැබෙන ගෞරවය අති විශාල ය. ඓතිහාසික සේරුවිල සිද්ධස්ථානය මනා සේ දියුණුකොට ලලාටධාතු නිකිණි මහා පින්කම ආරම්භ කළ දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නාහිමියෝ විහාරස්ථානය සමාජ අවශ්‍යතා සපුරාලන ආයතනයක් විය යුතු බව තරයේ පිළිගන්නා ලදහ. කලින් මාර්ග පහසුකම්, ගමනාගමන පහසුකම් දුෂ්කරතාවලින් පීඩාවට පත් වන්දනාකරුවන්ට අද වන විට මාර්ග පහසුකම් ගණනාවක් ලැබී ඇති අතර, සෝමවතියත් සේරුවිලත් යා කෙරෙන සරත් එන් ද සිල්වා මාවත (සෝමවතිය පාර) නිසා සේරුවිල වන්දනා කිරීමට බැතිමතුන්ට මහත් සෙතක් සැලසී ඇත.

අතිගරු දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහ නා හිමියන් ආරම්භ කර, ජාතික ආගමික වැඩ පිළිවෙළට නව ජීවයක් දෙමින් මේ වන විට ඓතිහාසික සේරුවිල පුද බිම ලෝක උරුමයක් බවට පත් කිරීමට ඇපකැප වී ක්‍රියා කරන්නේ වර්තමාන මංගල රජමහා විහාරාධිපති මුංහේනේ මෙත්තාරාම නාහිමියන් ය. ඒ සඳහා මේ වන විටත් යෝධ සංවර්ධන වැඩපිළිවෙළක් උන්වහන්සේ දියත් කර ඇති අතර, දඹගස්ආරේ නාහිමියන් ඇතිකළ සංවර්ධනය නැවත ඉදිරියට සිදුවෙමින් පවතී. සේරුවිල මංගල රජමහා විහාරය ලෝක උරුමයක් බවට පත්කර දේශීය විදේශීය සංචාරකයන්ට වන්දනාමාන කරගත හැකි භූමියක් බවට පත්කරගැනීමට මෙත්තාරාම නාහිමියන් ඇප කැපවී ක්‍රියා කරති.

නිකිණිපුර අටවක පෝය

නිකිණිපුර අටවක පෝය අගෝස්තු 07 වනදා බදාදා පූර්ව භාග 11.40 ට ලබයි. 08 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 14 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]