[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසමසම ගුණ මහිම : එණිජංඝො හොති

එණිජංඝො හොති

මෙම ලිපියෙහි පළමු කොටස ඇසළ අව අටවක පෝදා පත්‍රයේ පළවිය.

එණිජංඝලක්ඛණං

බෝධිසත්වයන් වහන්සේ අන්‍යයන්ට ශිල්ප ශාස්ත්‍ර, විද්‍යාව, අති විශේෂ ඤාණයන් ලබාගැනීම පිණිස වෙහෙසෙද්දී ඒ වගේ ම තමන්ගේ ශිෂ්‍යයන් වැඩියෙන් වෙහෙස වන්නේ නැත්තේ කොහොමද? යැයි විශේෂයෙන් ම සලකා බලා තියෙනවා. මොවුන් කෙසේ වහ වහා දැන ගන්නේ ද? කවුරු හෝ ධර්මය ඉගෙන ගන්නවා නම් එනම්, ශිල්ප ක්‍රම හතරෙන් යමක් ඉගෙන ගන්නවා නම් බෝධිසත්වයන් වහන්සේ, මේ අය කොහොම ද ඉගෙන ගන්නේ, මොන ක්‍රමවේදයකින් ද අවබෝධ කර ගන්නේ කියා විමසා බලා තිබෙනවා. බෝධිසත්වයන් වහන්සේ ඒ ඒ කාලයට අනුරූපීව, ඒ ඒ ශිෂ්‍යයන්ගේ අවබෝධ මට්ටම හඳුනාගෙන ඒ අය වෙනුවෙන් වෙහෙසී තියෙනවා. ඒ වගේ ම බෝධිසත්වයන් වහන්සේ උගන්වන විට විශේෂයෙන් ම බලා තියෙනවා. මම මේ අයට මෙය අවබෝධ කරන්නේ කෙසේද’ය කියා.

ඊළඟට . “ඛිප්පං පටිපජ්ජෙය්‍යුං” ධර්මය අසා අවබෝධ කරගෙන ඉතා ඉක්මනින් පිළිපදින්නේ කොහොමද? පුහුණු කරන්නේ කොහොමද? කියා බලා තිබෙනවා. යම් ශිල්පයක් දැනගන්නවා කියන දේ වෙනම කාරණයක් වන අතර, එය පිළිපදිනවා කියන දේ තවත් කාරණයක්. මේ ක්‍රමවේදයන් උගන්වා තිබෙනවා. “ යමක් කියා දුන්නාට පමණක් පළක් නැහැ. ප්‍රායෝගික ජීවිතයෙත් එය තිබිය යුතුයි.” බෝධිසත්වයන් වහන්සේ කියා දීම, පමණක් කර නැහැ. එය ප්‍රායෝගික ජීවිතයේ පුරුදු කරවා තියෙනවා.

දීර්ඝ කාලයක් ගත කර ඉගැන්විය යුතු කාරණාවක් උන් වහන්සේ ඉක්මනින් වෙහෙසිලා, අඩුපාඩුවක් නැතිව දීර්ඝ කාලයක් වෙහෙස නොවෙන ආකාරයට විශේෂයෙන් ම මහන්සිවෙලා උගන්වා තියෙනවා. බොහෝ පිරිස්වලට ශිල්ප ශාස්ත්‍ර උගන්වද්දී මෙම කාරණය විශේෂ කාරණයක් ලෙස ගත හැකි ය. බෝධිසත්ව අවධියේ ම එවැනි ක්‍රමවලට ඉගෙනගෙන තිබෙනවා. ‘ශරභංග‘ ජාතකයේ දී අවුරුදු ගණනාවක් ඉගෙනගත යුතු ශිල්පයක්, බෝසතාණන් වහන්සේට ඉගෙන ගැනීමට ගතවන්නේ සුමානය යි. සමහර ජීවිතවල ස්වයංභූ ඤාණයෙන් අවබෝධ කරගෙන තියෙනවා. කුස ජාතකය, උම්මග්ග ජාතකය, විදුර ජාතකය, සම්භව ජාතකය ආදී ජාතක ගණනාවක් පෙන්විය හැකියි. එවැනි ජාතක ගණනාවක් භාග්‍යවතුන් වහන්සේ බෝසත් අවධියේ දී ම තනියම ස්වයංභූ ඥානයෙන්, තමා තුළ උපන් ඥානයකින්, මේ ලෝකයේ තියෙන සියලු ශිල්ප සියලු ශාස්ත්‍ර, සියලු කලා සහ ඊට එහා ගිය දැනුමකින් විශේෂයෙන් ඒ දැනුම තමන් තුළ උපදවාගෙන අතිවිශිෂ්ට ආකාරයෙන් අන්‍යයන්ට පෙන්නුම් කර වදාළ සේක.

මෙම ලක්ෂණය උන්වහන්සේ සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරාවට ම “කඨත්ථා, උපචිතප්පා, උස්සන්නත්ථා, විපුලත්ථා යන ක්‍රම හතරටම සිදු කර මරණයට පත්ව, දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලබා නැවතත් මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයෙක් ලෙස උප්පත්තිය ලැබූ පුද්ගලයා “එණිජංඝො හොති” නම් වූ මහා පුරුෂ ලක්ෂණය ලබනවා.

එනම් ඒණි මුවාගේ පාදය වැනි ය. “ජංඝා” යනු කෙන්ඩ කියන අදහස යි. සාමාන්‍ය පුද්ගලයෙකුගේ පාදයෙහි අස්ථිය යි ඉදිරියට නෙරා පිහිටන්නේ. යම් දෙයක පාදය ගැටෙන්නේ නම් ප්‍රථමයෙන් අස්ථිය යි ගැටෙන්නේ. මාංශ පේශිය කොටස තිබෙන්නේ පිටුපසට වන්නට. භාග්‍යවතුන් වහන්සේගේ අස්ථිය මැද පිහිටා වටේට ම මාංශ පේශිය පිහිටා තිබෙනවා. ඉතාමත් යහපත් ආකාරයට පාදයෙහි යට කෙළවරෙහි සිට, ක්‍රමානුකූලව විශාල වූ වටකුරු වූ ‘ජංගාවක්’ ආකාරයෙන් පිහිටා තිබෙනවා. උදාහරණයකින් පවසන්නේ නම් වී බිස්සක ස්වරූපයකින් යුතුයි.

මෙම ලක්ෂණය ලැබූ උත්තමයා ගිහිගෙදර වාසය කරන්නේ නම් සක්විති රජ වෙනවා. සක්විති රජු වූ පසු මොනවාද ලැබෙන්නේ. “යානි තානි රාජාර හානි” රජුට සුදුසු වූ චතුරංගනී සේනාව නම් වූ රජුගේ අංග. රජුට අවශ්‍ය උපභෝග වස්තු ලබනවා. එනම් අනිවාර්ය වස්තූන්. පරිභෝග වස්තු ලබනවා . එනම් අනිවාර්ය නොවුණත් තිබිය යුතු වස්තූන්. රජුට සුදුසු වූ ඒ සියල්ල වහවහා ලැබෙනවා. සිත අනුව ලැබෙනවා. සිතෙන සිතෙන දේ රජුට ලැබීමේ හැකියාව.

ගිහි ගෙදර හැර සම්මා සම්බුද්ධත්වයට පත්වූ පසු ශ්‍රමණයන් වහන්සේ නමක් බවට පත් වූ පසු කුමක් ලැබෙන්නේ ද?. “සමණංගානි’ ශ්‍රමණයන් වහන්සේ නමකට සුදුසු වූ ශ්‍රමණයන් වහන්සේ නමකගේ අංග වූ අත්‍යවශ්‍ය පිරිකර හා සිව්පසය අඩුපාඩුවක් නොමැතිව ලබනවා.

අට්ඨ කතාවේ තවදුරටත් මේ ආකාරයෙන් විස්තරවනවා. මෙම කර්මය නම් බොහෝ කාලයක් ශිල්ප ශාස්ත්‍රාදිය ඉගැන්වීම. ශිෂ්‍යයන්ට සකසා ශිල්ප ශාස්ත්‍රය ඉගැන්වූයේ නැතිනම්, ඒ ශිෂ්‍යයන්ට උක්කුටිකයෙන් ඉන්න ලැබෙන කාලය වැඩි වෙනවා. දීර්ඝ කාලයක් එක දිගට ම වාඩි වෙලා ඉගෙන ගන්න වෙනවා වැනි දේ සිදුවෙනවා. සසරේ ඉගැන්වීම් කටයුත්ත හරියාකාරව නොකළ අය එසේ නැතිනම්, සමහර වෙලාවට පණිවුඩ ගෙනියන, නිතරම ඇවිදගොස් කරන කාර්යයන් වැඩිවෙනවා. ඒ ආකාරයට ඇවිදින්න වූ විට පාදය වෙහෙසට පත්වෙනවා. ඒ ආකාරයෙන් වෙහෙසට පත්වීමෙන් පාදයේ කෙන්ඩ ලියා බිමට දැම්ම සේ, හූරලා බිමට දැම්ම සේ ක්ෂය වෙනවා.

තථාගතයන් වහන්සේ සකසා ඉගැන්වීම කළ නිසා දෙවියන් සහිත ලෝකයා මේ කාරණය දැනගනිත්වා කියා, අනුපූර්වයෙන් ඉහළට එසවුන විශාලවූ වටකුරු වූ, ‘ඒණිජංග’ මහා ලක්ෂණය ලබනවා. මෙහි ආනිසංසය නම් මහා පුරුෂ ලක්ෂණයට අනුව භාග්‍යවතුන් වහන්සේට උපභෝග, පරිභෝග වස්තු කිසිදු අඩුපාඩුවක් නොමැති ආකාරයෙන් ලබනවා කියන කාරණයයි.

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි 31 වන දා බදාදා පූර්ව භාග 11.57 ට ලබයි. අගෝස්තු 01 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 31 වන දා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 07 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]