[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහම මහ සයුර වැනි ය

දහම මහ සයුර වැනි ය

ආශ්‍රව හෙවත් කෙලෙස් සංසිඳෙන පිළිවෙත් මාර්ගයේ දී සංවරය ද ප්‍රධාන කරුණක් වෙයි. “අත්ථි ආසවා සංවරා පහාතබ්බා” යනුවෙන් සිහියෙන් යුක්ත වූ සංවරයෙන් බැහැර කළ යුතු ආශ්‍රව පවතින බව දක්වයි. “මේ සස්නෙහි මහණ තෙමේ නුවණින් සලකා ඇස නම් වූ ඉන්ද්‍රිය සංවරයෙන් ආවරණය කොටගෙන වෙසේ ද, ඇස නම් වූ ඉන්ද්‍රිය අසංවරයෙන් වෙසෙන්නන්ට පීඩාකාර වූ යම් රාග, ද්වේෂ ආදී කෙලෙස්වල විපාක ලෙස යම් පරිදාහයක් වේ නම්, දැවෙන රත්වෙන ගතියක් වේනම් එය නොවෙයි. එනම් කෙලෙසුන්ගේ දැවෙන, රත්වෙන ස්වභාවයට මුහුණ නොපායි.

යමෙක් නුවණින් කන, නම් ඉන්ද්‍රිය සංවරයෙන් ආවරණය කොටගෙන වෙසේ ද, කන නම් වූ ඉන්ද්‍රිය අසංවරයෙන් වසන්නහුට පීඩා කාර වූ යම් රාග, ද්වේෂ ආදී කෙලෙස්වල විපාක ලෙස යම් පරිදාහ නම් වූ දැවෙන රත්වෙන ස්වභාවයක් වේනම් එය නොවෙයි. නාසය නම් වූ ඉන්ද්‍රිය සංවරයෙන් වෙසේ ද, නාසය නම් වූ ඉන්ද්‍රිය අසංවරයෙන් වන්නහුට පීඩාකාර වූ යම් රාග, ද්වේෂ ආදී කෙලෙස්වල විපාක ලෙස පරිදාහ නම් වූ දැවෙන රත්වෙන ස්වභාවයක් වේනම්, ඒ නොවෙයි. දිව නම් වූ ඉන්ද්‍රිය ද එසේම ය. කය නම් වූ ඉන්ද්‍රිය ද එසේ ම ය. මන නම් වූ ඉන්ද්‍රිය ද එසේම ය. භික්ෂු , භික්ෂුණී උපාසක, උපාසිකා නම් වූ සිව් පිරිසටම භාග්‍යවතුන් වහන්සේ මහත් වූ කරුණාවෙන් මෙසේ අනුශාසනා කරති. යම් හෙයකින් නුවණින් සලකා, සංවරයක් නැතිව වාසය කරන්නා වූ අයට වෙහෙස සහ දැවිලි සහිත ආශ්‍රවයෝ උපදිත් ද නුවණින් සලකා සංවරයෙන් යුක්තව වාසය කරන්නා වූ අයට ඒ වෙහෙස සහ දැවිලි සහිත ආශ්‍රවයෝ නොවෙති. ආශ්‍රවයෝ සති සංවරයෙන් පහ කළ යුතු හෙවත් බැහැර කළ යුතුවේ ම ය.

ඉහත දැක් වූ දහම් පෙළ අප විසින් අපට ම ගළපාගෙන විවරණය කර ගනිමු. ජාති, ජරා, ව්‍යාධි මරණ සහ අපමණ වූ දුක්ඛ දෝමනස්සයන්ට හේතුවන ඇලීම්, ගැටීම් සංසිඳවනවා යන අදහසින් ම තම සිත්හි ධාරණය කරගන්න. එමෙන් ම මෙනෙහි කරන්න. නැවත නැවතත් මෙනෙහි කරන්න. නැවත නැවතත් පුරුදු කරන්න.

භාග්‍යවතුන් වහන්සේ විසින් මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ දී දෙසූ ආරම්භක දහම් පෙළක් මෙසේ ය. “ආතාපි සම්පජානො සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං” කෙලෙස් තවන වීර්යයෙන් යුතුවීම ද, පරීක්ෂාකාරී නුවණින් යුතු අයෙක් වීමෙන් ද සත්ත්ව සංස්කාර ලෝකයේ දැඩි ආශාව සහ දොම්නස, ගැටීම සංසිඳුවන්නේ ය. මෙහි දී කෙලෙස් තවන වීර්යය ලෙස සම්මා වායාමය හෙවත් සතර සම්‍යක් ප්‍රධන් වීර්ය ම ගත යුතු ය. එනම් නූපන් අකුසල් නූපදවීම ය. උපන් අකුසල් බැහැර කිරීම ය. නූපන් කුසල් ඉපිදවීම ය. ඉපදුනු කුසල් වැඩිදියුණු කිරීම ය. මෙය තවදුරටත් පැහැදිලි කරගනිමු. අනුසය හෙවත් බලවත් ලෙස යටපත්ව පවතින්නා වූ රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් ප්‍රාණඝාත, සොරකම, කාමමිථ්‍යාචාර ආදී පස්පව් ලෙසින් ද, දස අකුසල ලෙසින් ද ක්‍රියාත්මක වෙන්නට නොදීමට තරම් සිහිය පවත්වා ගැනීමයි. මෙහි දී මූලික පියවරේ දී මෙසේ සිහිපත් කළ හැකි වන්නේ ය. එනම් අත්තානුවාද බිය – ප්‍රාණඝාතාදී පාපයක් කිරීම නිසා තමා විසින් තමාට ම ඇතිකරගන්නා වූ පශ්චාත්තාපය. පරානුවාද බිය – ප්‍රාණඝාතය කිරීම නිසා අන් අයගෙන් සිදුවන අපවාද දණ්ඩ බිය – වැරැදි පාප, අකුසල් සිදු කිරීම නිසා දඬුවමට ලක්වීම. දුග්ගති බිය – මරණින් මතු දුගතියෙහි ඉපදීම වශයෙනි.

මීළඟ පියවරේ දී, ඔබ සීලයට හෙවත් කායික හා වාචසික සංවරයට පැමිණිය යුතු ය. කුඩා අනු කුඩා වරදෙහි පවා බිය දක්නා බවින් යුතුව, කයින් සහ වචනයෙන් සිදුවන පාපී අකුසල ධර්මයන්ගෙන් වෙන්වීම අවශ්‍ය ය. කායික හා වාචසිකව පවතින ස්වයං සංවරය හෙවත් අවබෝධයෙන් ම සිදුවන හික්මීම, තමාගේ අභ්‍යන්තරයෙහි හෙවත් අධ්‍යාත්මයෙහි මහත් වූ සැහැල්ලු බවක්, නිවීමක්, සංසිඳීමක් ඇතිවන බව අපට වැටහෙන්නට පටන්ගනියි.

පුද්ගලයෙකුගේ ප්‍රසන්න බව, ගුණවත් බව, ගෞරවය අපට වැටහෙයි. වස්තුවක ඇති ප්‍රසන්න බව, ඉෂ්ඨ බව අපට වැටහෙයි. මෙය අස්සාදය නම් වෙයි. පුද්ගලයෙකුගේ හෝ වස්තුවක ඇති ඒ මොහොතේ පැවැත්මයි.

එනමුත් මෙම පුද්ගල සංකල්පය හෝ සිතිවිල්ලෙහි ද වස්තුවෙහි ද තදින් ඇලී නොසිටීමට සිත අවදි කිරීම අවශ්‍යයයි. හේතුව නම්, දිගටම මෙසේ ම නොපැවතීමයි. එය වෙනස්වෙයි. මේ අවබෝධය හඳුන්වන්නේ ආදීනවය පිළිබඳව ඇතිකර ගන්නා වූ පරිචය හෙවත් පුරුද්ද හැටියටයි. සිතෙහි මෙම පුරුද්ද ඇතිවන විට සිත අරමුණු ගැනීමේ දී සමාහිත වෙයි. සන්සුන් වෙයි. සම්මතයේ ප්‍රිය අරමුණේ දී සිත නොසන්සුන් නොවෙයි. දැඩි ආශාවට නොපැමිණෙයි. අකැමැති හෙවත් අනිෂ්ඨ අරමුණේ දී සිත ව්‍යාකූල නොවෙයි. දොම්නසට, තරහවට පත්නොවෙයි. මින් මතුවන අදහස සහ යහපත් වූ ඵලය, විපාකය කුමක් ද? ප්‍රාණඝාත, සොරකම්, කාමයෙහි ඉන්ද්‍රියයන් වරදවා පිනවන්නට සිත නැමීම ආදී පස්පව් දස අකුසල් ආදී රාග, ද්වේෂ, මෝහ මුල්කොට ගත් කෙලෙසුන්ගේ පාලනයක්, දමනය වීමක්, ඇතිවීමයි. මා ස්වාමීන් වහන්සේ නමක් ලෙස මේ අත්දැකීම ලබන අතර ඔබත්, ගිහි ජීවිතයේ උපාසක උපාසිකා ස්වභාවයේ පිහිටා මේ මනරම් සුවදායි අත්දැකීම ලබන්න. මෙය එකවිට ම නොදැනේවි. නොලබාවි. එනමුත් සියල්ල දත් නුවණින් මේ මග පෙන්වූ භාග්‍යවතුන් වහන්සේ කෙරේ අවබෝධයෙන් යුතුව ඇතිකර ගත් පැහැදීම හෙවත් ශ්‍රද්ධාවෙන් සමන්විතව නැවත නැවතත් සිත පුරුදු කරන්න. සිත නිස්සරණයට පත්වේ. සම්මුතියේ සීලයෙහි පිහිටා නිවැරැදිව ලබන සතුටින් කටයුතු කරන්නේ, කිසිදු ආරම්මණයක “මමය, මාගේය, ස්ථිරයි” යන දෘෂ්ඨියෙන් හැකිතාක් දුරට මිදුණේ වෙයි. ඒ සිත නිසලය. අකම්පිත ය.

මෙසේ ලබන්නා වූ අවබෝධය නිසා උපන් අකුසල්, එනම් කරපු, කියපු වැරැදි දෙයින් සිත මුදවා ගන්නට උනන්දු වෙයි. පශ්චාත්තාප නොවී අප්‍රමාදව කුසලයට යොමුවෙයි. නූපන් කුසල් උපදවාගන්නට කැමැත්තක් ඇතිකර ගනී. පවතින කුසල් වැඩිදියුණු කරගෙන පවත්වා ගනිමින් සිත වඩා විදර්ශනා ප්‍රඥාවට එකතු වෙයි.

සතර සතිපට්ඨානයේ පෙන්වා දෙන සිහිය හැකිතාක් දුරට පුරුදු පුහුණු කොට පවත්වා ගැනීමෙන් ඇස අසංවර නොවී, කෙලෙස්වලින් ආවරණය වී පස්සද්ධිය හෙවත් සිතෙහි හා කයෙහි සැහැල්ලු බව දැනෙයි. මේ ලෙස කන, නාසය, දිව, ශරීරය සහ මනස ද මනාලෙස පුරුදු කරන සිහිය නිසා කෙලෙසුන්ගෙන් ආවරණයට පත්වෙයි. පීඩාකාරී තවන, දවන, පුච්චන, රිදවන ඇලීම් ගැටීම්වලට සිතට පැමිණිමේ අවස්ථා නැතිවෙයි.

එනමුත් සතියෙන් යුතු සංවරයට නොපැමිණීම නිසා, ඇස ආදී ඉන්ද්‍රියයන්ගේ සංවරබව තාවකාලික බවට පත්වෙයි. අවස්ථාව හෝ පරිසරය අනුව ද, ඒ ඒ අවස්ථාවන් හි උපදින සිතිවිලි අනුව ද යම්දුරකට සංවර බවක් පැවතිය ද, සතියෙන් මනාව පුරුදු නොකරන ලද සිත අරමුණු ඉදිරියේ කැමැති අකැමැති ලෙස චංචල වෙයි. කෙලෙස් දාහය නිසා ඇලෙයි, ගැටෙයි, දුක් දොම්නස්වලට පත්වෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ “සති සංවරයෙන් පහකළ යුතු හෙවත් බැහැර කළ යුතු ආශ්‍රව ඇත්තේ ය” යන ඉගැන්වීම මෙසේ අවබෝධයට ගනිමු. දහම මහ සයුරකි. ඔබගේ ම අත්දැකීම්, භාවිතය, දහම සොයා යාමේ කැමැත්ත සහ දුක්ඛ දෝමනස්සයන්ගෙන් අත්මිදීමේ අභිලාසය මත මේ උතුම් වූ ධර්ම මාර්ගයෙන් ප්‍රයෝජන ගත හැකිවන්නේ ය.

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 24 වනදා බදාදා අපරභාග 06.05 ට ලබයි. 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 07.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 25 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය ජූලි 31 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]