[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිවෙන් අධ්‍යාපනයට පණ පෙවූ , විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය

පිරිවෙන් අධ්‍යාපනයට පණ පෙවූ , විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අබයරත්න අදිකාරී

වර්ෂ 1930 ඔක්තෝබර් පළමු වන දින අරණායක හකුරුගම්මන දී අදිකාරීගෙදර මුදියංසේ පියාණන්ට සහ තැන්නේරැල්ලගේ ලොකුමැණිකේ යන දම්පතීන්ට දාව උපත ලබා අරණායක හකුරුගම්මන ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරීය අබයරත්න අදිකාරී කුඩා දරුවා සසර පුරුද්දට මෙන් මහා සඟරුවනේ ආශීර්වාදයට මැදිව බෙලිගල විජෙසුන්දරාරාම විහාරස්ථානය ඇසුරෙන් කැලණිය විද්‍යාලංකාර පිරිවෙන මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන වැනි සම්භාව්‍ය අධ්‍යාපන ආයතන මඟින් උසස් අධ්‍යාපනය හදාරා “ රාජකීය පණ්ඩිත ” උපාධිය ද සමත්ව විශ්වවිද්‍යාල වරම් හිමිකර ගැනීමට සමත් වන්නේ තරුණ වියට පා තබමිනි.

උසස් අධ්‍යාපනය හදාරා ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය පළමු පන්ති සාමාර්ථයක් සහිතව සමත් ව ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ උපගුරුවරයෙකු වශයෙන් රාජ්‍ය සේවයට එක්ව, පසු කාලීනව එම විද්‍යාලයේම විදුහල්පති ධුරයට පත් වන්නේ අධ්‍යාපනික මෙන්ම පරිපාලනික වශයෙන් එතුමන් සතු සහජ හැකියාවන් නිසාවෙනි. මේ අතර තුර කුමුදු වීරතුංග හා විවාහ දිවියට පත් අදිකාරී මහතා දැයට දායද කළ එකම දියණිය ජිනාදරි අදිකාරී මහත්මිය මේ වන විට වෛද්‍යවරියක් වශයෙන් කටයුතු කරනු ලබන්නීය.

අධිකාරි මහතාට රුචිව පැවති, දර්ශනය සහ සම්භාව්‍ය අධ්‍යාපනය පිළිබඳ අධ්‍යයනය කිරීමේ වුවමනාව නිසාවෙන්ම එක්සත් රාජධානිය (ලන්ඩන්) ඉන්දියාව, වැනි විදේශීය විශ්වවිද්‍යාල මඟින් සහ දේශීය විශ්වවිද්‍යාල මඟින් ද ආචාර්ය උපාධි හතක් හිමිකර ගැනීමට සමත්ව ඇත. පාලි, සංස්කෘත, උර්දු, ඉංග්‍රීසි වැනි භාෂාවන් මැනවින් හැසිරවීමේ ශක්‍යතාවයද ඇති අදිකාරී මහතා සීගිරි කුරුටු ගී සෙල්ලිපි කියවීමට පවා හැකියා පූර්ණත්වයෙන් යුක්තව විසූ ප්‍රාමාණික උගතෙකි. ලෝකයේ රටවල විශාල ප්‍රමාණයක ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා ද සම්බන්ධවී ඇති අදිකාරී මහතා 1990 සිට පැවති සියලු බෞද්ධ සමුළු සඳහා ද තම සහභාගීත්වය දක්වා තිබීම විශේෂත්වය කි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාසල් අධ්‍යාපන අංශය සඳහා තම උපරිම සේවාව ලබා දීමෙන් අනතුරුව සම්භාව්‍ය අධ්‍යාපනයේ මුදුන් මල්කඩ බඳු පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට එක්වෙමින් “පිරිවෙන් පරීක්ෂක ” තනතුරට පත් අදිකාරී මහතා අධ්‍යාපන අමාත්‍යවරුන් වශයෙන් ලලිත් ඇතුලත්මුදලි , රිචඩ් පතිරණ හා රනිල් වික්‍රමසිංහ යන අමාත්‍යවරු යටතේ නියෝජ්‍ය පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ , පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් යනාදී තනතුරුවලට පත්ව ඇත. තම ජීවිත කාලයෙන් වැඩි කොටසක් මෙරට භික්ෂු අධ්‍යාපනයේ අභිවර්ධනය සඳහා ක්‍රියාකළ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න රාජ්‍ය නිළධාරීවරයෙකු වශයෙන් මෙරට පළමු පිරිවෙන් අධ්‍යක්ෂ වරයා හා පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් වරයාද වීමේ භාග්‍යය හිමිකරගත් මෙතුමන් සම්භාව්‍ය අධ්‍යාපනයේ මූලස්ථානය වන පිරිවෙන් අධ්‍යාපනය මිෂනාරී අධ්‍යාපනයෙන් යටපත්ව කිසිදු ක්‍රමානුකූල බවකින් තොරව පැවති අවධියේ විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයක් සකසමින් , 1979 අංක 64 දරන වර්තමාන පිරිවෙන් අධ්‍යාපන පනත සහ 1980 අංක 1 දරන පිරිවෙන් නියෝග මාලාව ද කෙටුම්පත් කොට නීතිපති අනුමැතිය ද ලබා පාර්ලිමේන්තුවෙන් සම්මත කරගැනීමේ භාරදූර කාර්යය ඉටුකරන ලදී. එමඟින් වර්තමානය වන විට පිරිවෙන් අටසියයකට වඩා පාලනය වන්නා සේ ම ශාසනයේ උල්පත බඳු පිරිවෙන් ආයතනයන්හී රාජ්‍ය ආරක්ෂාව ද සුරක්‍ෂිතව පවතී.

මූලික පිරිවෙන්, මහ පිරිවෙන් සහ විද්‍යායතන පිරිවෙන් වශයෙන් වූ පරිපාලනමය හා අධ්‍යාපනික ක්‍රමවේදය ද ගුරුභවතුන්ගේ රාජ්‍ය සේවයෙහි හිමිකම් සහ විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ද ශිෂ්‍ය ස්වාමින්වහන්සේලා වෙනුවෙන් වාර්ෂික පිරිවෙන් ආධාරය ලබාදිීමේ ක්‍රමවේදය ද යනාදී වශයෙන් වූ ක්‍රියාදාමයන් රාශියක් පිරිවෙන් අධ්‍යාපනයේ සුරක්ෂායිතාවයට හා විධිමත් පැවැත්මට ඒකරාශී කිරීම අදිකාරී මහතා විසින් සිදුකළ සදානුස්මරණීය කාර්යයන් අතුරින් බිඳකී.

සම්භාව්‍යය ග්‍රන්ථ රචකයෙකු වශයෙන් ද පෙනීසිටි ආචාර්ය අබයරත්න අදිකාරි මහතා “ ශ්‍රී ලංකාවේ සම්භාව්‍ය අධ්‍යාපනය හා මහ සඟන පර්යේෂණාත්මක ග්‍රන්ථය ලියා පිරිවෙන් ක්ෂේත්‍රයේ වූ මහා සංඝරත්නය ප්‍රමුඛ සැමට ඉමහත් සේවාවක් සැපයූ බව නොරහසකි. පිරිවෙන් අධ්‍යාපන ශාඛාව මඟින් අදිකාරි මහතා ඇරඹූ “ සම්භාෂා ” නම් විශිෂ්ට ප්‍රකාශනයේ ප්‍රථම ඉංග්‍රීසි කලාපය අතිශයින් විද්වත් ප්‍රසාදයට තුඩුදී පවතී. තවද “ න්‍යාය දර්ශන වාදයේ ඤාණවිභාගය”“ සම්භාව්‍ය භික්ෂු අධ්‍යාපනය හා අධ්‍යාපන නීති ” “ සසුන් කෙත සරුකළ සඟ පරපුර ”යනා දී ශාස්ත්‍රීය සම්භාව්‍ය කෘති එතුමන් විසින් විරචිත සුවිශේෂී කෘතීන්ගෙන් සමහරෙකි.

රාජකීය පණ්ඩිත ආචාර්ය , අබයරත්න අදිකාරී මහතා අඩසිය වසක් ම මෙරට භික්ෂු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරමින් පිරිවෙන් අධ්‍යාපනයට පණ පෙවූ අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් විශ්‍රාම ලැබ ඉසිඹු දිවිය ගත කළ අවධිය වුව ද මෙරටෙහි විද්වත් ගිහි පැවිදි ජන ප්‍රසාදයන්ට පත් ව ඇත. “ විද්‍යාලංකාර රත්න විභූෂන ” “ පරියාප්ති ශාසන ධවජාග්‍ර ” වැනි ගෞරව නාම සම්මුතීන්ට ප්‍රාප්තව පැවතීමෙන් ඒ පිළිබඳ මැනවින් ගම්‍ය වේ. වසර අනූවක පමණ කාලයක් මුඵල්ලෙහි දී දිගාසිරි විඳිමින් ශාසන ශෝභමානීව සුවිසල් මෙහෙවරක යෙදෙමින් දැයෙහි ප්‍රාමාණික උගතෙකුව අනූපමේය මානූෂීය සේවාවක් ඉටුකර ඉසිඹු ලැබ මනා සිහිකල්පනාවෙන් යුතුව සිටියදී 2019 ජූලි මස 10 වන දින අභාවප්‍රාප්ත වූ රාජකීය පණ්ඩිත ආචාර්ය, අබයරත්න අදිකාරී මහතා ඔබ තුමන්ට උතුම් අජරාමර සංඛ්‍යාත නිවන්සුව පතමි.

අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ විජිත වෙලගෙදර මහතා ඇතුළු පිරිවෙන් අධ්‍යාපන ශාඛාව වෙනුවෙන්.

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 24 වනදා බදාදා අපරභාග 06.05 ට ලබයි. 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 07.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 25 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය ජූලි 31 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]