[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගිහි ගෙදරට දහම් වැටක්: සසර පුරා ආරක්ෂා කළ යුතුතෙවැනි සිල් පදය

සසර පුරා ආරක්ෂා කළ යුතුතෙවැනි සිල් පදය

ගිහි ජීවිතය අසාර්ථක වී, පවුල් ජීවිතය දෙදරායාමට කාම මිථ්‍යාචාරය හෙවත් ලෝක චාරිත්‍රයට අනුකූල නොවන අයුරින් කාමයෙහි වරදවා හැසිරීම හේතු වී ඇත. කාම මිථ්‍යාචාරය යනු කාමයෙහි වරදවා හැසිරීමයි. කාමමිථ්‍යාචාරය ද කර්ම ක්ලේශයකි. ලෝකයේ පවතින ස්වභාවය අනුව හැසිරීම වරදක් ලෙස නොසැලකේ. යම් ස්ත්‍රියක් හෝ යම් පුරුෂයකු හෝ වැරැදි ලෙස එසේ කටයුතු කිරීම බරපතළ අකුසල කර්මයකි. එම අකුසල කර්මක්ලේශය සම්පූර්ණ වීම සඳහා මූලික වශයෙන් කරුණු හතරක් බලපායි.

1.සේවනය නොකළ යුතු හෝ තමාට අයිති නැති ස්ත්‍රියක හෝ පුරුෂයකු වීම

2.කාම සේවන සිතිවිල්ල ඇතිවීම

3.සේවනයට උත්සාහ කිරීම

4.සේවනය ඉවසීම හෙවත් ආස්වාදය විඳීම

යන කරුණු හතර සම්පූර්ණ වීමෙන් එම අකුසලය සිදු වේ.

කාම මිථ්‍යාචාර අකුසලය අල්ප සාවද්‍ය මහා සාවද්‍ය වශයෙන් කොටස් දෙකකි. ශීලාදී ගුණ අඩු අය හා මිථ්‍යාචාරය අල්ප සාවද්‍ය වේ. ගුණ ඇති අය දූෂණය කිරීම මහා සාවද්‍ය වේ. දෙදෙනාගේ කැමැත්ත මත සිදුකිරීම අල්ප සාවද්‍ය වේ. මෘදුත්වයෙන් අල්ප සාවද්‍ය වේ. කෲරත්වයෙන් මහා සාවද්‍ය වේ.

වෙනත් අකුසල කර්මවලට වඩා කාම මිථ්‍යාචාරය නමැති අකුසලයෙහි වෙනසක් පවතී. එනම්, අන්‍යයන් ලවා කරවීමක් නැත. අනිවාර්යයෙන්ම කරන්නා හට මෙහි අකුසල කර්මය සිදුවේ. නියෝගයකින් කළ ද කරවන්නාට පමණක් අකුසලය සිදුවේ.

කාම මිථ්‍යාචාරය නමැති අකුසල කර්මක්ලේශය හා සම්බන්ධ කතාවක් මනෝරථපූරණී අට්ඨකතාවේ සඳහන් වේ. එක්තරා බිරිඳක් තම ස්වාමියාගේ සහෝදරයා සමඟ ජීවත්වන්නට රුචිකත්වයක් දක්වයි. එසේ වුව ද, කාලයාගේ ඇවෑමෙන් එම සබඳතාවය ලෝකයාට හසුවේවි යැයි බියෙන් බිරිඳ තම ස්වාමියා මරා දැමීමට සිතයි. එම අදහස ස්වාමිපුරුෂයාගේ සොහොයුරාට ද පවසයි. ඇයගේ අදහසට එකඟ නොවී තම සහෝදරයා මැරීමට බලවත් ලෙස විරුද්ධ වූ ඔහු වසලිය තී නැසෙව ආදි වශයෙන් බැණ වදිමින් එය ප්‍රතික්ෂේප කරයි. ඔහු එම අදහස මුල දී ප්‍රතික්ෂේප කළ ද, දින කිහිපයක් ඇය විසින් ඇවිටිලි කළ පසු ඔහු ද එකඟ වෙයි.

දිනක් තම ස්වාමිපුරුෂයා ගෙදර පැමිණි පසු ඉතාම සෙනෙහසින් ආදරයෙන් කතා කළ බිරිඳ ගඟට ගොස් දිය නාගෙන එන ලෙස දන්වයි. තම බිරිඳගේ මිත්‍රත්වය හා ආදරණීයබව නිසා අතිශයින් සතුටට පත් ස්වාමිපුරුෂයා ද දියනෑමට ගඟට යයි. ඒ අතර තම සොරසැමියා අතට කැත්ත ලබා දුන් බිරිඳ තම ස්වාමිපුරුෂයා දිය නාගෙන එන අතරමඟදී ගෙල සිඳ මරා දමන ලෙස කියයි. ඔවුන් දෙදෙනා එකතුවී කාමමිථ්‍යාචාරය නමැති අකුසල කර්මය හෙවත් තමනට රිසිසේ කාමයෙහි වරදවා හැසිරීමේ චේතනාව පෙරදැරිව මරණය සිදුකරයි. සැමියා මරණයට පත්වුව ද, තම බිරිඳ කෙරෙහි දැඩි ස්නේහයෙන් බැදුණේ ය. එම නිවස තුළ ගැරඬියෙකු වී උපත ලැබී ය. ඇය විසින් එම ගැරැඬියාද මරා දැමීය. එම නිවස තුළ සුනඛයකු වී උපත ලැබී ය. බිරිඳ විසින් එම සුනඛයා ද මරා දැමී ය. පසුව ගවයකු ලෙස එම නිවස තුළ උපත ලැබී ය. බිරිඳ ගවයා ද මරා දැම්මේ ය.

කාලයාගේ ඇවෑමෙන් ඇයගේ කුසයේ දරුවකු වී උපත ලැබුවේ ය. එම දරුවාට ජාතිස්මරණ ඥාණය ලැබිණි. එම දරුවාට පෙර භවයන් දැක ගත හැකි ඤානය පහළවීමෙන් ඇය තම මව නොවන බවත්, තමා කිහිප අවස්ථාවක දී මරා දැමූ මිනීමරුවා බවත්, සිතා ඇය සමීපයට නොයයි. මව අසලට පැමිණි විගස හැඬීමට පටන් ගනී. කිරි බොන්නේ නැත. මවගෙන් ඈත් වී තම සීයා සමඟ මහණ වී රහත් වූයේ ය.

එම කතාව තුළින් හෙළිවන්නේ කාම මිථ්‍යාචාරයට නැඹුරුවූ මනස විවිධ අකුසල කර්ම කරන සිදුකරන අයුරුයි. වර්තමාන සමාජයේ ද මෙබඳු ආකාරයේ නිදර්ශන දක්නට ලැබේ. ඇතැම් සිදුවීම් ඉතාමත් රහසිගත වන අතර ඇතැම් සිදුවීම් හෙළිවෙයි.

තමන් නොදන්නා සමාජ වටපිටාවක් තිබීම ද ඇතැම් විට සුභදායක ය. ඒවා තමා නොදන්නවා නම්, බොහෝ සෙයින් ගැටලු ඇතිවන නිසා එවැනි සමාජ සිද්ධි නොදැනීමෙන් සමාජයේ ජීවත්වීමට රුචි වෙයි.

සිවිය හෙවත් සම නොමැතිව දුක්විඳින කාන්තාවක් පිළිබඳව සංයුක්ත නිකායේ සඳහන් වේ. විවිධ සතුන් පියඹා අවුත් ඇයගේ ශරීරයෙහි මස් කඩා කන විට ඇය වේදනාවෙන් කෑ ගසයි. පෙර භවයක දී කාම මිථ්‍යාචාරයේ යෙදී සිට එහි විපාක වශයෙන් එසේ දුක් විඳින බව බුදු දහමේ සඳහන් වේ. කාමයෙහි වරදවා හැසිරීම සමාජයට ද, පුද්ගලයාට ද අහිතකර පිණිස පවතින පිළිකුල් සහගත අකුසල කර්මයකි. එකී අකුසල චිත්තය සෑම අයෙකුටම ඇතිවන්නෙක් නොවෙයි. පෙර සංසාරයේ කර්ම ශක්තිය නිසා ම එබඳු අකුසල සිතිවිලි හටගනී.

එම අකුසලය ඇතැම් විට මතු සසර සඳහා ද රැගෙන යයි. ඇතැම් විට මෙය කල්ප කාලයක් ගොස් දුරුවෙයි. ඇතැම් ඒවා ක්ෂණයකින් දුරුවී යයි. ඇතැම් විට භවය පුරාම සරුසාර වෙමින් ගමන් කරයි.

ලෝවැඩ සඟරාවේ මෙම අකුසලය පිළිබඳව මෙසේ දැක්වෙයි.

නොනැවතී අයෙක් පෙර පරදර පවු කැමැති

ගුගුරති ගැලෙති තිස්වා දහසින් උඩෙති

නිමි නැති තවම ලෝකුඹූ නිරයේ පැසෙති

නොකරති මෙපව් නුවණැති අය

වැඩ කැමැති

කාම මිථ්‍යාචාරයේ විපාක ද දරුණු ය. එම අකුසලය සිදුකරන්නා මෙලොවත් නින්දාවට භාජනය වෙයි. සමාජය විසින් ඔහු පහත් කොට සලකයි. අන්‍යයන්ගෙන් පහර කා මරණයට පත්වන අවස්ථා ඇත. සිරගෙයි වැටී දුක්විඳින අවස්ථා ද ඇත. මරණින් මතු නරකයේ උප්පත්තිය ලබා දුක් පීඩා විඳියි. නපුංසක වී උපත ලබයි. තිරිසන් ආත්මවල උපත ලබයි. පුරුෂයෝ ස්ත්‍රීහු වෙති. ස්ත්‍රීහු ඉන් නොමිදෙති. විරූපී වෙති. ජනයාට අපි‍්‍රය වෙති. බොහෝ සතුරන් ඇතිවෙති.

මෙලොව පමණක් නොව, පරලොව ජීවිතය ද අහිත පිණිස පවතින අකුසල කර්මයක් ලෙස සඳහන් කළ හැකි ය.

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 24 වනදා බදාදා අපරභාග 06.05 ට ලබයි. 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 07.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 25 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය ජූලි 31 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]