[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

සමණාමයං මහා රාජ

ඉට්ඨිය උත්තිය සම්භල භද්දසාල යන
මහ රහතුන් සමඟ සුමණ සාමණේර තැන
කැටුව උපාසක තුමා ද භණ්ඩුක පිරි ගුණ
මිහිඳු සමිඳු වැඩම කළහ පොසොන් පොහොය දින

අනුබුදු හිමි ඒ මොහොතෙදි මේ විදියට දෙසනවා
දඹදිව සිට වැඩම කළෙමු විස්තර පහදනවා
ඔබ කෙරෙහිම අනුකම්පා කොට වැඩි බව කියනවා
දම් රජුගේ සව්වන් බව මිහිරි හඬින් දෙසනවා

****

අනුබුදු හිමි වරම

සිරිලක් දිවයින ම පුනරුදයක් ලැබුම
ලක්බිම බුදු සසුන නො නැසී පැවැතීම
තෙවලා බුදු දහම ලෝ තුළ පැතිරීම
අනුබුදු මිහිඳු හිමියෝ දුන්නේ වරම

****

මහින්දාගමනය

ඉට්ඨිය උත්තිය සම්බල පිරිස ද
භද්දසාල සුමන සාමණේර ද
අනාගාමී වූ භණ්ඩුක තෙමේ ද
ලක්දිව වැඩියා මිහිඳු සමිඳුන් ද

භණ්ඩුක තෙමේ පැවිදි කරන්නේ
සාමණේරයන් උපසපන් වන්නේ
ලක්දිව බුදු සාසනේ පිහිටන්නේ
පොසොන් මහේ අසිරිය විහිදෙන්නේ

****

සිව් පිරිස

පිරිසක් සමඟ අඹ තලයට වැඩි සේක
සිරිලක් බිමේ මහ රජ හමු වූ සේක
මිහිරක් උදාකර සදහම් දෙසු සේක
මඟ පල ලබන මං පෙත හෙළිකළ සේක

ගස් ගල් වලට වඳීමින් සිටි පිරිස් මෙයින්
පස් පව් වලින් වැළකෙන හැටි කියා දෙමින්
සිත් සැන සෙනා සදහම් පද දෙසූ බැවින්
සිව් පිරිසක් වුණා සම්බුදු සසුන තුළින්

****

එදා හෙළ දිව

මිහින්තලාවේ ගිරි මුදුනේ
පුන්සඳ බැබළෙන රෑ යාමේ
අරලිය, නා මල් සුවඳ මිටට ගෙන
හමන සුළඟ සිල් ගුණය පතුරුවා
වැළඳ ගමී සිත සනසවමී
බැතියෙන් සිරි සරණත පුදමී
මෙත පා අප වෙත හිමි වැඩිදා
මිසදිටු අඳුර දුරට පළවා
පෙළහර පෑ පෝදා
සියලු සතුන් වෙත අබය ලැබුණු දා
මිගදායක් විය එදා හෙළ දිව

****

නිර්මල දහම

පුන් පෝ සඳ පිරුණු තෙමඟුල සැමරීම
දුර්මත බිඳ හෙලුන ලොව සම්බුදු දහම
උපත ද බුදු වීම ලෝසත සැනසීම
බොදු දන නැණ පහන නිර්මල බුදු දහම

****

පොසොන් සඳේ මිහින්තලේ

අනුබුදු මිහිඳු හිමි වැඩි අඹතලා ගලේ
දෙව් පෑතිස් නිරිඳු හට තිස්ස යැයි කී වෙලේ
ඇසූ අඹ ඥාති පැන රජුගෙන් මිහින්තලේ
සුදු සඳ අදත් පායනවා මිහින්තලේ

දෙව් පිය නිරිඳු හිමි දෙසූ දම් රසය උරා
අටසැට ලෙනක් කරවා දෙන ලදි පවරා
එහි වස් වැසූ ඒ හිමිවරු දවස පුරා
දම් වැසි වැස්සුවා සිරිලක් දෙරණ පුරා

****

අවසර හිමියනි

යුවරද පදවි හැර පිය උරුමෙන් ලැබුණ
නිවනෙහි සදාකාලික සැපතම සෙවුන
දිවයුරු සදිසි හෙළ දිව පෑවු සොබන
අවසර මිහිඳු අරහත් හිමියනි කලණ

මෙත් කරුණා නමැති මහ පදනම මත්තේ
උත්තම බුදු සසුන, හිමි නංවා ඇත්තේ
පන් දෙදහස් වසර ගණනක නොතැවෙන්නේ
ලක් කිත් ලක් දිනිති ඉන් නිම් හිම් නැත්තේ

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූලි 02 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.05 ට ලබයි. 03 වන දා බදාදා පූර්ව භාග 00.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 02 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය ජූලි 09 වන දා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09

Full Moonපසෙලාස්වක

ජූලි 16

Second Quarterඅව අටවක

ජූලි 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]