[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

පල්ලත්තර ශ්‍රී සුමනජෝති නා හිමි

ගාල්ල මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති පල්ලත්තර ශ්‍රී සුමනජෝති නා හිමියන්ගේ අපවත්වීම නිමිත්තෙනි

ධම්ම පදයේ සඳහන් පරිදි “දුර්ලභ වූ උත්තම පුරුෂයා සැමතැන්හි, සැම කල්හි නූපදී. යම් කලෙක යම් තැනක උපදින්නේ ද එසේ උතුමා උපන් රටට, ගමට මහත් අභිවෘද්ධියක්ම වන්නේය” යන තථාගත දේශනාව අපවත් වී වදාළ පල්ලත්තර ශ්‍රී සුමනජෝති නා හිමිගේ භික්ෂු ජීවිතය හා මනාව ගැලපෙන්නකි.

බෙලිඅත්තේ පල්ලත්තර විසූ දිසානායක ගුරු ගමගේ සාදිර්හාමි සහ වන්නිආරච්චි කංකානම්ගේ ගිමාරාහාමි දම්පතීන්ගේ පුත්රුවනක් ලෙස 1924 දී උපන් මේ පින්වත් කුමරුට සිරිදාස ලෙසින් නම් තැබීය. පල්ලත්තර විද්‍යාලයෙන් හා අහංගම ධර්මාරාම විද්‍යාලයෙන් ද මූලික අධ්‍යාපනය ලබා 1937 දී මුල්කිරිගල රජමහා විහාර පරිවේණාධිපතිව වැඩ විසූ රාජකීය පණ්ඩිත කොටවිල සිරිසුමන මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පල්ලත්තර සුමනජෝති නමින් පැවිදි දිවියට පත් වූහ.

කොළඹ විදුදය පිරිවෙනට අතුළත්ව ප්‍රාචීණ පණ්ඩිත විභාගයෙන් ද සමත් වූ නාහිමියෝ පොළොන්නරුව පලුගස් දමන මහා විද්‍යාලයේ ධර්මාචාර්යවරයෙකු ලෙස ද සේවය කළහ.

අනතුරුව විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය සමත්ව ස්වකීය ධර්ම දැනුම පරාර්ථයෙහිම යොදවමින් ගාල්ල මීපාවල මහා විද්‍යාලයේ සහ ගාල්ල මහින්ද විද්‍යාලයේ ධර්මාචාර්යවරයෙකු ලෙස සේවය කළහ.

නාහිමියන් ඉටු කරනු ලබන ශාසනික සේවාවට උපහාර වශයෙන් මල්වතු මහා විහාරය විසින් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලදහ. ඉතාමත් හරවත්ව හා අර්ථවත්ව, සෑම තරාතිරමකම ශ්‍රාවකයන්ට ගැඹුරු ධර්මයන් අවබෝධ කරගත හැකි ලෙසට සුමටව ධර්ම දේශනා කළ අප නාහිමියෝ ගුවන්විදුලි ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙස ඉතා ප්‍රසිද්ධියට පත් වූහ.

මූලගිරි මහා විහාර වංශය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය, වාග් විද්‍යාත්මක සිංහල ව්‍යාකරණය ආදී ග්‍රන්ථ රැසක් භාෂා සාහිත්‍ය වර්ධනයට ලියා පළ කළහ. ඉන්දියාව, රුසියාව, එංගලන්තය. අමෙරිකාව, කැනඩාව, බෙල්ජියම, ජපානය, කොරියාව, තායිවානය, ඉන්දුනීසියාව, මලයාසියාව, වැනි බොහෝ රටවල වැඩම කළ පල්ලත්තර සුමනජෝති නායක ස්වාමීන් වහන්සේට බුරුම රාජ්‍යයෙන් 2013 දී අග්ගමහා පණ්ඩිත උපාධිය පිළිගන්වන ලදී.

රුහුණ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට පත්ව භාෂා සාහිත්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කළ මෙහෙවර අතිශය ප්‍රශංසා කටයුතු වේ.

තමන් වහන්සේට ලැබූ ගරු සම්මාන ආදියෙන් උන්වහන්සේ වැජඹීම වෙනුවට අදාළ තනතුර බැබළවීමට ක්‍රියාකිරීම උන්වහන්සේගේ සුවිශේෂ ලක්ෂණයකි.

ශාසනභාරධාරි මහා තෙරුන් වහන්සේ නමක් ලෙසින් යුග කාර්යය භාර ඉටු කළ නාහිමියන් වහන්සේ ශාසන අභිවෘද්ධිය සඳහා අනූපමේය මෙහෙවරක් ඉටු කරමින් සැමවිටම නිර්භීතව සිය අදහස් ඉටු කිරීමට ද සමත් වූහ.

අපවත් වී වදාළ පල්ලත්තර ශ්‍රී සුමනජෝති නාහිමියන්ට අමා මහ නිවන් සුව ලැබේවා!

****

අමුණුපුර පියරතන නා හිමි

මහනුවර අස්ගිරිය මහා විහාරයීය මහෝපාධ්‍ය මාලගම්මන ශ්‍රී ධර්මාලෝක පිරිවෙන් කෘත්‍යාධිකාරී ශ්‍රී සම්බුද්ධ ශාසන කීර්ති සමාජසේවා ශිරෝමණී ශ්‍රී විජයසුන්දරාරාම ශ්‍රී සද්ධර්මවර්ධන දහම් පාසලේ ප්‍රධානාචාර්ය, ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය විනය කීර්ති ශ්‍රී සුමංගල අමුණුපුර පියරතන නා හිමි පාණන්ගේ 80 වෙනි ජන්මෝත්සවය නිමිත්තෙන් පියරතන නාහිමියන්ට දිඝාසිරි පැතීමේ පින්කමක් ජුනි 29 සහ 30 දිනයන්හි අස්ගිරිය විජයසුන්දරාරාමයේ දී පැවැත් වීමට නියමිතව තිබිණි.

ඓතිහාසික අස්ගිරිය මහා විහාරය කේන්ද්‍ර කරගෙන ධර්ම ශාස්ත්‍රීය සේවාවක් දශක හයකට ආසන්න කාලයක් සිදු කරන පණ්ඩිත පියරතන නා හිමියන් අස්ගිරිය ශ්‍රී සද්ධර්මවර්ධන දහම් පාසලේ දශක හතරකට ආසන්න කාලයක් එහි ප්‍රධානාචාර්ය නාහිමියන් ලෙස ද දහම් අධ්‍යාපනය වෙනුවෙන් ඉටු කරන සේවය ද ඉතා ශ්‍රේෂ්ඨය, විශ්‍රාමික පිරිවෙන් ආචාර්යවරයෙකු වශයෙන් ද, ඉටු වී ඇති සේවය වැදගත් ය. දළදාවරුණ, බුදුසරණ වැනි බෞද්ධ පුවත්පත් සඳහා අගනා ලිපි සපයමින් ලේඛක බහුශ්‍රැත පඩි රුවනක් වශයෙන් ඉටුකරන සේවය ගිහි පැවිදි දෙපාර්ශ්වයේ ම ගෞරවයට පාත්‍රව ඇත.

පණ්ඩිත පියරතන නාහිමිපාණන්ට දිගාසිරි ප්‍රාර්ථනා කිරීම්වස් ජුනි 29 වෙනිදින අස්ගිරි මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන අනු නා හිමිවරු ඇතුළු මහා සංඝරත්නය විසින් පවත්වනු ලබන සෙත් පිරිත් දේශනයකි. ජුනි 30 වෙනි දින දවල් මහා සංඝගත දක්ෂිණාවකි. පණ්ඩිත අමුණුපුර පියරතන නාහිමිපාණන්ට ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලැබේවා.

****

අකුරටියේ නන්ද නා හිමි

ජාතික හා ජාත්‍යන්තර තලයෙහි ඉහළින්ම සම්භාවනාවට පත් ආචාර්ය අකුරටියේ නන්ද නා හිමි සම්බුදු සසුන ආලෝකමත් කරමින් වැඩවෙසෙන ශික්ෂාකාමී විද්වත් යතිවරයන් වහන්සේ නමකි. බද්දේගම අකුරටිය නමැති ගම් පියසෙහි විසූ සාම විනිසුරු පියදාස බෝපේ කොඩිතුවක්කු මහෝපාසක මහතාගේ හා ගුණවතී වීරතුංග මහෝපාසිකා මාතාවගේ පුත්‍ර රත්නයක් ලෙස 1954 ජනවාරි 20 වැනිදා ජන්මලාභය ලැබූහ.

එවකට ලංකාණ්ඩුවේ ප්‍රධාන පිරිවෙන් පරීක්ෂක ධූරය දැරූ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, විද්‍යෝදය පරිවේණාධිපති, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, අකුරටියේ අමරවංස නාහිමියන්ගේ සහ ගාලු කෝරළයේ ප්‍රධාන සංඝනායකව වැඩ සිටි බද්දේගම පුඤ්ඤසාර නාහිමියන් ගේ ආචාර්යත්වයෙන් 1965 ජුනි 24 වැනි දා පහළකීඹිය පුරාණ මහා විහාරයේ දී ප්‍රව්‍රජ්‍යාභාවයට පත් වූහ. ඉක්බිතිව ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙනට ඇතුළත් වූ උන්වහන්සේ ධර්ම විනය භාෂා ශාස්ත්‍රාදිය මැනවින් හදාළ හ. ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ උත්තරීතර විභාගයන් ගෙන් ද ඉතා උසස් ලෙස සමත් වූ හ.

1979 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, 1986 දී ශාස්ත්‍රපති උපාධියත්, 1990 දී බෞද්ධ අධ්‍යයනය පිළිබඳ වූ උසස් ඩිප්ලෝමාවත්, 1992 දී දර්ශනපති උපාධියත්

පිළිවෙලින් ලබාගත් නන්ද නාහිමියෝ ඉක්බිතිව එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ඉංගී‍්‍රසි ඩිප්ලෝමාවත්, තායිලන්තයේ මහා චූලාලංකාර රාජ්‍ය විශ්වවිද්‍යාලය, එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලය වැනි ඉහළම අධ්‍යාපන ආයතනයන් වෙතින් පශ්චාත් උපාධි, ඩිප්ලෝමා හා දර්ශන විශාරද උපාධිය හිමිකර ගත් හ.

එවකට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්විද්‍යාලයානුබද්ධ ආයතන සතරෙන් එකක් වූ විද්‍යෝදය ආයතනාධිපති ලෙස 1983 සිට 1994 දක්වා ක්‍රියා කළ නන්ද නාහිමියෝ 1994 සිට 1996 දක්වා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ද , සිංහල ශබ්ද කෝෂයේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරයෙකු ලෙස ද පසුව එහි ප්‍රධාන කර්තෘ ධූරයටද පත්ව ඉතා දිගු කලක් අද්විතීය සේවාවන් රැසක් සිදු කළේ ය. මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනේ කෘත්‍යාධිකාරී ලෙස සිදුකරන සේවාව ද බෙහෙවින්ම සම්භාවනාවට ලක් කළ යුත්තකි. මහනුවර මල්වතු මහා විහාරය මගින් කොළඹ නව තොටමුණ සහිත බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය උන්වහන්සේ වෙත පුද කළේ පූර්වෝක්ත සේවාවන් වෙනුවෙන් මහා විහාරය දැක් වූ ඉහළ ම ඇගයීමක් ලෙස යි.

****

උතුරුමාගල නන්දසිරි නා හිමි

කඳාන පොල්පිටිමූකලාන ,අශෝකාරාමාධිපති බෙන්තර වළල්ලාවිට කෝරළය, නැගෙනහිර වැල්ලබඩපත්තුව යන දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක , හිටපු විද්‍යාලයාධිපති, බුද්ධ ධර්මය විෂය පිළිබඳ හිටපු ගුරු උපදේශක, දහම් පාසල් ගුරු, උපදේශක, ශාස්ත්‍රපති, ශ්‍රී සද්ධර්මවාගීශ්වරාචාර්ය, පණ්ඩිත සිරි අභයතිස්ස වංශද්වජ උතුරුමාගල නන්දසිරි නාහිමිපාණන් වහන්සේ ජූලි මස 01 වනදා ස්වකීය 75 වන ජන්ම දිනය සමරනු ලැබූහ.

1944 ජූලි 1 වන දින ගාලු දිස්ත්‍රික්කයේ කරන්දෙණියේ උතුරුමාගල නම් ග්‍රාමයේ එස්.සරබියෙල් දයානන්ද හා ටී.ඇලිස් නෝනා යන දම්පතීන්ගේ පින්වත් පුත් කුමරුවාට එස්. සුමිත් දයානන්ද යන පින්බර නාමය තබන ලදී.

උතුරුමාගල රජයේ විදුහලින්ද කරන්දෙණිය මධ්‍ය මහා විදුහලින්ද අධ්‍යාපනය ලබා සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග විශිෂ්ට ලෙස සමත් වූහ.

1976 ඔක්තෝබර් 22 වනදා කරන්දෙණිය, හල්ගහවේල්ල , අභය ශ්‍රී වර්ධනාරාමයේදී එහි විහාරාධිපතිව වැඩ විසූ කරන්දෙණිය පළාතේ ප්‍රධාන සංඝනායක උතුරුමාගල පඤ්ඤාවංශ නාහිමි. දෙමටගොඩ මල්ලිකාරාමාධිපති හා කඳාන, පොල්පිටිමූකලාන අශෝකාරාමාධිපති කරන්දෙණියේ විමලජෝති නාහිමි, හා වර්තමාන දෙමටගොඩ මල්ලිකාරාමාධිපති කොළඹ පළාතේ ප්‍රධාන සංඝනායක බොරලංකඩ විමලතිස්ස නාහිමි යන මහා ස්වාමිපාදයාණන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් ප්‍රවෘජ්ජ්‍යා භූමියට පත් වූ සේක.

1972 ජුනි 23 වන දා බලපිටිය මාදු ගඟේ ස්වේජින් සීමා මාලකයේදී උපසම්පදාව ලැබූහ.

උන්වහන්සේගේ ජයභූමිය වූ පොල්පිටිමූකලාන, අශෝකාරාම විහාරස්ථානයට වැඩම කොට අද දක්වා සියලු ශාසනික ,ආගමික, සාමාජික කටයුතු සිදු කරගෙන වැඩ වසති. 2019 වසර වන විට උන්වහන්සේ අශෝකාරාම විහාරස්ථානයට වැඩමකොට වසර 43 ක් පමණ වන අතර පැවිදි භූමියට පත් වී වසර 47 ක් පමණ වේ.

විහාරස්ථානය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කර ගැනීම සඳහා අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කළහ.

ශාසනික වශයෙන් රටට, දැයට, සමයට මෙන්ම මුළු ලොවටම සේවය කළ හැකි උදාර ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා උන්වහන්සේ සසුනට දායාද කර තිබේ. ඒ අතර ගුවන්විදුලි හා රූපවාහිනී උතුම් සදහම් දේශක පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියෝද වෙති. එමෙන්ම ශාස්ත්‍රපති බෙලිගස්වේල්ලේ විජිතසිරි පණ්ඩිත ස්ථවිරයන් වහන්සේ (නි.විදුහල්පති, කරුණාරත්න ප්‍රාථමික විදුහල, මත්තුමගල) ශාස්ත්‍රපති උතුරුමාගල අභයසිරි පණ්ඩිත ස්ථවිරයන් වහන්සේ (විශ්‍රාමලත් විදුහල්පති උතුරුමාගල විපුලසාර විදුහල) උතුරුමාගල ධම්මවංශ හිමි මාබිම්ගොඩ මුදිතධම්ම හිමි ආදි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාද වෙති. උන්වහන්සේගේ ඇසුර ලද ගිහි ශිෂ්‍ය පිරිසක් ද වේ.

කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනින් ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සමත් උන්වහන්සේ, කැලණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, කැලණිය පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධියත්, බෞද්ධ අධ්‍යාපන ඩිප්ලෝමාව හා අධ්‍යාපන ඩිප්ලෝමාව ආදී අධ්‍යාපනික සුදුසුකම් ලබා ආචාර්යවරයෙකු , නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු, විදුහල්පතිවරයෙකු ගුරු උපදේශකවරයෙකු වශයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට විශිෂ්ට මෙහෙවරක් ඉටුකර තිබේ.

අශෝකාරාමස්ථ සිරි විමලසිරි දහම්පාසලේ ප්‍රධානාචාර්යවරයා ලෙස වසර ගණනාවක් සේවය කළ උන්වහන්සේ ගුරුවරු පුහුණු කිරීමට තම සේවය ලබා දුන් සේක.

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූලි 02 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.05 ට ලබයි. 03 වන දා බදාදා පූර්ව භාග 00.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 02 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය ජූලි 09 වන දා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09

Full Moonපසෙලාස්වක

ජූලි 16

Second Quarterඅව අටවක

ජූලි 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]