[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රශ්න කිරීම හා අවංක වීම

ප්‍රශ්න කිරීම හා අවංක වීම

අජාන් බ්‍රහ්මවංසෝ හිමි

දරුවෙක් හදාවඩා ගැනීමේ දී ඔහු කිසිම ආගමක් අදහන්නේ නැති කෙනෙකු විදිහට, නැත්නම් සියලුම ආගම්වලට විවෘත වූ මනසක් ඇත්තෙකු විදිහට හෝ කිසියම් ආගමක් අදහන්නෙකු විදිහට හදාවඩා ගැනීම අවශ්‍ය නැහැ. ඒ වෙනුවට කළ යුත්තේ ඔබේ දරුවා ගුණාංග දෙකක් සඳහා උනන්දු කිරීම යි. එසේ උනන්දු කළ යුතු එක් කාරණයක් නම් සැමවිටම සෑම දෙයක් ගැන ප්‍රශ්න කිරීම යි. සෑමවිටම ප්‍රශ්න කිරීමට ළමයා උනන්දු කළ යුතුයි. කිසිවෙක් කිව් පළියට කිසිවක් විශ්වාස නොකර ප්‍රශ්න කිරීමට ළමයා උනන්දු කළ යුතුයි.”

අනුන් කියන දේ ප්‍රශ්න කිරීමෙන් තොරව, විශ්වාස කිරීම නිසා ඔබ ලොකු අමාරුවක වැටුණු අවස්ථා බොහෝ ය. ඔබේ ජීවිත කාලය තුළ අන් අය කිව් නිසා ඔබ විශ්වාස කළ බොහෝ දේ පසුකලෙක සාවද්‍ය බව, වැරැදි බව ඔබ තේරුම් ගන්නවා. එසේ වූ විට බොහෝ වද වේදනා ,පීඩාවන්ට ගොදුරු වෙන්නට සිදුවෙනවා. මේ නිසා කෙනෙක් කිව් පළියට කිසිවක් විශ්වාස කරන්න එපා. ප්‍රශ්න කරන්න. නැවත ප්‍රශ්න කරන්න. නැවත නැවත ප්‍රශ්න කරන්න. එය තමයි විද්‍යාත්මක ක්‍රමය. සත්‍යය සොයා ගන්න විදිහ ඒක තමයි.

මෙලෙස ප්‍රශ්න කිරීමට දරුවා උනන්දු කරන අතරම ඔහු අවංකවීමට ද එලෙසම උනන්දු කරන්න. දරුවා අවංක වීමට උනන්දු කළවිට ඔහු සත්‍යයට බොහෝ ගරු කරන්නෙකු වනු නිසැකයි. ඔවුන් ප්‍රශ්න කිරීමට උනන්දු කළ විට ඔවුන් තෘප්තිමත් වන උත්තරයක් ලැබෙන තුරු ඔවුන් ප්‍රශ්න කරනවා ඇති. වංක වූ විට ඔවුන් ඔවුන්ගේ අත්දැකීම්වලට වංක වන්නා සේ ම, ඔවුන්ගේ ජීවිතයටද වංක වෙනවා ඇති. මේ නිසා ඔවුන් ප්‍රශ්න කිරීමට පොළඹන්න. ඒ අතරම අවංකවීමට උනන්දු කරන්න. එවිට නිවැරැදි දේ කුමක්ද? ඇත්ත කුමක්ද යැයි ඔවුන් සොයා යනවා.

මේ ගුණාංග දෙකට ඔබ, ඔබේ දරුවා උනන්දු කළ විට ඔහු ප්‍රශ්න කිරීමටත්, අවංක වීමටත් හුරුවෙයි. එවිට ඔවුන්ගේ ආගම කුමක්දැයි සොයා ගැනීමට අවශ්‍ය මෙවලම් ඔවුන් සතුවෙනවා ඇති. බුද්ධාගම ආගමක් විදිහට සුදුසු යැයි ඔවුන්ට හැඟුණෙන් එම ආගම ප්‍රශ්න කිරීමට භාජනය විය යුතු යි. මෙය අනිත් ආගම් සම්බන්ධවත් මේ සමාන යි.

“මා කියන නිසා මෙය විශ්වාස කළ යුතුයි. ඔබ එය විශ්වාස නොකළහොත් අපායට යාවි. මුදල් වාසි ලබාගත හැකි නිසා ඔබට එය විශ්වාස කළ හැකියි”. කියා කියනවාට වඩා එහි කිසියම් අවංකභාවයක්, ඇත්තක් තිබිය යුතුයි. ඒ වගේ ප්‍රශ්න කිරීම්වලට භාජනය වීමට හැකිවිය යුතුයි. එසේ වූ විට එය සත්‍යය යැයි පිළිගන්නට පුළුවන් වේවි. මෙන්න මේ විදිහට ඔබේ දරුවන්ට උගන්වනවා නම් දරුවන් හොඳින් රැකබලා ගන්නවා කියන්නේ එයයි.ඔබ ඔවුන් බලසම්පන්න කරන්නේ එවිටයි. ඔවුන්ට මෙය මෙසේ කළ යුතුයැයි, මෙය විශ්වාස කළ යුතුයි කියනවා වෙනුවට කළ යුත්තේ එයයි. එවිට ඔවුන් පාලනය කරනවා වෙනුවට යහගුණාංග ඔබ ඔවුන් තුළ වගා කරනවා.

මෙය දූ දරුවන් සමඟ පවත්නා සබඳතා පිළිබඳව පමණක් නොවෙයි. වෙනත් සබඳතා පිළිබඳවත් එසේමයි. ඔබ කිසිවකුට ආදරය කරන්නේ නම්, එම ආදරය ඇලීමක් නම්, ඔබ ඒ මගේ එක්කෙනා, මගේ ස්වාමිපුරුෂයා , මගේ සහකාරිය , මගේ තාත්තා, මගේ අම්මා කියා සිතනවා. ඔබ ඒ විදිහට සිතනවා නම්, එය ඇලීමක් . එහිදී කිසියම් විදිහක හිමිකාරත්වයක්, අයිතිකාරකමක් තිබෙනවා. හැමවිටම එවැනි සබඳතාවක කිසියම් ප්‍රමාණයක පාලනයක් තිබෙනවා.

ඔබ මහත් සේ ආදරය කරන කිසිවකු මිය ගියොත් ඔබත් දුකට පත්වෙනවාද? සැබෑ ආදරය යනු කුමක්දැයි තේරුම් ගත් සැබෑ බෞද්ධයෙක් නම්, තමා සමඟ බොහෝ කාලයක් සිටි කෙනෙක්, වෙනත් භවයක් නැත්නම් වෙනත් ජීවිතයක් කරා ගමන් කරමින් සිටින විට ඇයි එය තේරුම් නොගන්නේ? ඇයි සිත අවුල් කර ගන්නේ? ඇයි? දුක් වේදනා විඳින්නේ. මියගිය කෙනෙකු ගැන වේදනාවක් හා දුකක් ඔබ තුළ තිබේ නම් ඒ කිසිවක් නිසා නොවේ. මියගිය තැනැත්තා ගැන ඇති හිමිකාරත්වය, අයිතිකාරත්වය නිසයි. ඒ මගේ බිරිඳ. ඒ මගේ ස්වාමිපුරුෂයා , ඒ මගේ පුතා කියා දුක් වෙන්නේ ඒ අයිතිකාරකම නිසා නේද?

නොඑසේ නම් වෙනත් කෙනෙකුගේ ස්වාමි පුරුෂයෙක් මළ විට ඔබ දුක් වෙනවාද? දුක් වුණත් අර තරම්ම නොවෙයි. වෙනත් කෙනෙකුගේ දරුවෙකු මළවිට දුකක් ඇති වුණත්. ඒත් තමාගේ දරුවගේ විපතේ දී ඇතිවන දුකට සමාන දුකක් නොවෙයි. ඒත් ඒ මගේ දරුවා නම් දුක වේදනාව හරිම බලවත්. මේ සියල්ල ඇතිවන්නේ මමායනය නිසයි. හිමිකාරත්වය නිසයි. ඒත් සැබැවින්ම ආදරය කරන්නේ කෙසේද කියා අප දැනගත්විට අප එකිනෙකා කෙරෙහි සැලකිලිමත් වෙන්නේ , එය එසේ කරන්නේ, හිමිකර ගැනීමත්, අයිතිකාර කර ගැනීමත් යන චේතනාවෙන් යුතුව නොවෙයි. ඒ කියන්නේ ඔබ ඔබේ දරුවා සමඟ, ඔබේ දෙමාපියන් සමඟ. ඔබේ සහකරුවා හෝ සහකාරිය සමඟ. ඒ එක්කම ඔබ ඔබ සමඟ ම සබඳතා පවත්වාගෙන යන්නේ නම් එවැනි හිමිකාරකමකින් තොර සබඳතාව ලස්සන, පිරිසුදු සබඳතාවක් වෙනවා.

බොහෝදෙනාට ජීවිතයේ සහකාරයින් හෝ සහකාරියක් සිටින්නට පුළුවන්. නමුත් සබඳතා දුරදිග ගොස් ඔවුන්ට ඔබේ හිමිකාරකමක්, අයිතිකාරකමක් ඇතැයි ඒත්තු ගෙන සිටියොත් ඒ සබඳතාව හරිම රුදුරු සබඳතාවක් වෙන්න ඉඩ තිබෙනවා. ඒත් මේ තැනැත්තා, මේ ගැහැණු ළමයා, මේ පිරිමි ළමයා මට අයිති කෙනෙක් නොවෙයි. අපට නිදහසක් තිබෙනවා. අප අන්‍යෝන්‍ය විශ්වාසයකින් බැඳී සිටිනවා යන හැඟීමෙන් යුත් සබඳතාවක් සැබෑ ආදරයක් ලෙස හඳුනාගන්න පුළුවන්. එය නිදහසින් පිරුණු ආදරයක්.

මා ගැන කිව්වොත්, මගේ පියා මිය ගොස්, මගේ අම්මා පමණක් ජීවත්ව සිටියදී, ‘මට භික්ෂුවක් වෙන්න පුළුවන්ද?” කියා මා ඇගෙන් ඇසුවා”. ඔබ කරන්නට යන්නේ කුමක්ද කියා හාංකවිසියක් මා දන්නේ නැහැ. ඒත් ඔබට එය කරන්න ඕනෑ නම් එය කරන්න” කියා ඇය කිව්වා. දෙමාපියන් තමාගේ දරුවාට දක්වන පියකරු ආදරය කියන්නේ ඒ වගේ ආදරයකටයි. ඔවුන්ගේ ආදරයක පාලනය කිරීමක් නැහැ. නමුත් අන්‍යෝන්‍ය වැටහීමත්, සැලකිලිමත් වීමත්, දරුවාගේ කැමැත්තට ඉඩදීමත් එම ආදරය තුළ තිබුණා. සරලව කිව්වොත් එය දරුවාට ඔබේ හදවතේ දොර විවර කිරීමක්.

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූලි 02 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.05 ට ලබයි. 03 වන දා බදාදා පූර්ව භාග 00.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 02 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය ජූලි 09 වන දා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09

Full Moonපසෙලාස්වක

ජූලි 16

Second Quarterඅව අටවක

ජූලි 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]