[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙවළා බුදු වදන් අතරින් 34: සැපවත් ජීවිතයකට හිමිකම් කියන්නෝ

තෙවළා බුදු වදන් අතරින් 34: සැපවත් ජීවිතයකට හිමිකම් කියන්මෝ

සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩ සිටි සමයෙහි භාග්‍යවතුන් වහන්සේ එක් දිනෙක පිඬු පිණිස නගරය බලා වැඩම කළ සේක. කුඩා දරුවන් පිරිසක් එක්ව දණ්ඩක් රැගෙන නාගයෙකුට හිංසා පීඩා කරනු තථාගතයන් වහන්සේ දුටු සේක.

දරුවන්ගේ එම ක්‍රියාව අනුමත නොකළ භාග්‍යවතුන් වහන්සේ ඔවුන් අමතා “සැප කැමැතිවන යමෙක්, සුවයට කැමැති සෙසු සත්වයන් හිංසනයට ලක් කරන්නේ නම්, එම තැනැත්තා පරලොව දී සැප නොලබයි. එහෙත් සැප කැමැති යම් කෙනෙක් සැපයට කැමැති සෙසු සත්වයන්ට හිංසා නොකරයි නම් හෙතෙම පරලොව දී සැප ලබයි” යනුවෙන් දේශනා කළහ.

උදාන පාලියේ එන දණ්ඩ සූත්‍රයේ ඇතුළත් මෙම අදහස කාල, දීප, දේශ භේදයකින් තොරව සැම තැනකටම, සැම කෙනෙකුටම අදාළවන විශ්වීය සදාචාරාත්මක ඉගැන්වීමකි. මිනිසා මෙන්ම සතුන්ද හිංසනයට හා පීඩාවට පත්කිරීම වර්තමාන ලෝකයේ පොදුවේ දක්නට ලැබෙන ප්‍රවණතාව යි. මේ අනුව අන්‍යයන් හිංසනයට හා පීඩනයට පත්කිරීම විවිධ නයින් සිදුවේ. හිංසනය හේතුවෙන් දුකට වේදනාවට පත්වන මිනිසුන්ගේ මෙන්ම සතුන්ගේ ද ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් ඉදිරිපත් වීමට විවිධ සංවිධාන බිහිවී තිබෙන අතර ඉදිරියටත් එවැනි සංවිධාන නිර්මාණය වෙමින් පවතී. මෙම පසුබිම යටතේ බුදුරදුන් වදාළ ඉහත උපදේශය බෙහෙවින් වැදගත් වේ.

බුදුරදුන්ගේ ධර්මය හිංසනය මුළුමනින්ම පිටු දකින, සදාචාරාත්මක ඉගැන්වීම් පද්ධතියකි. පංච ශිලයේ පළමුවන ශික්‍ෂා පදයෙන් ආරම්භ කෙරෙන අවිහිංසාවාදී පිළිවෙත නිර්වාණගාමී ප්‍රතිපදාව යටතේ ශීලයේ පදනම වශයෙන් පිළිගෙන තිබේ. අවිහිංසාව මෙතරම් වැදගත් කොට සලකන්නේ එය සියලුම ජීවීන්ගේ සහජ අවශ්‍යතාව වන නිසයි. ලොව සෑම ජීවියෙක්ම හිංසනයට හා දඬුවමට අකැමැති ය (සබ්බේ තසන්ති දණ්ඩස්ස). එය පොදු ධර්මතාව යි. එය එසේ නොවේ යැයි කිසිවෙකුටත් පැවසිය නොහැකි ය. මෙම සනාතන ධර්මය අනුවය බුදුරදුන් හිංසනය හා දඬුවම අනුමත කර නොමැත්තේ. බුදුරදුන් හිංසනයෙන් වැළකීමට අනුශාසනා කරන්නේ එයින් දිට්ඨධම්මික වශයෙන් මෙන්ම සම්පරායික වශයෙන් ද හානිකර ප්‍රතිඵල ඇතිකරන නිසයි. චුල්ලකම්මවිභංග සූත්‍රයේ දැක්වෙන පරිදි සියලු ජීවීන් ඝාතනය කරමින් දයාවෙන් තොරව කටයුතු කිරීමේ ප්‍රතිඵල වශයෙන් මරණින් පසු නිරයගාමීවන අතර, යම් හෙයකින් මනුෂ්‍යයෙකු ව උපදින්නේ නම් අල්පායුෂ්ක අයෙකු බවට පත් වේ. යමෙක් සියලු ජීවීන්ට අතින් (පාණිනා) පහරදීමෙන්, ගල් කැටවලින් (ලෙඩ්ඩුනා)පහර දීමෙන්, දඩුමුගුරුවලින් (දණ්ඩෙන) පහර දීමෙන් හෝ ආයුධවලින් (සත්‍ථනෙ) පහර දීමෙන් වෙහෙසට, දුකට, වේදනාවට, හිංසනයට පත්කරන්නේ නම් එහි ප්‍රතිඵලයක් වශයෙන් මරණින් පසුව නිරයේ උපදින අතර යම් හෙයකින් මිනිස් ලොව උපදින්නේ නම් ලෙඩ රෝග බහුල, ශරීරික පීඩා බහුල තැනැත්තෙක් බවට පත් වේ. යම් කෙනෙක් සියලු සත්වයන් කෙරෙහි දයාවෙන් යුක්තව මෙත්සිත පතුරුවමින් හිතානුකම්පීව වාසය කරන්නේ නම්, ඔහු හෝ ඇය මෙම අඳුරු සහගත, දුක්ඛදායක අත්දැකීම්වලට භාජනය නොවේ. මෙම බුද්ධ වචනය අනුව කවර ආකාරයේ හිංසනයක් වුවද බුදුදහමින් අනුමතකර නොමැත.

බොහෝ ආගම්වල විවිධ අරමුණු ඇතිව මනුෂ්‍ය ඝාතනය අනුමත කළ අවස්ථා තිබෙන මුත් බුදුරදුන්ගේ නෛර්යාණික දහමෙහි ඝාතනය මෙන්ම හිංසනයත් මුළුමනින්ම බැහැරකොට තිබේ. ඒ අනුව නූතන ලෝකයට ගැලපෙන උසස්ම ආගමික හා සදාචාරාත්මක ප්‍රතිපදාව බුදුසමය බව අවිවාදයෙන්ම පිළිගැනීමට සිදු වේ.

ධම්මපදයේ දැක්වෙන පරිදි සෑම ජීවියෙකුගේ ම සහජ ස්වභාවය නම්, මරණයට මෙන්ම දණ්ඩනයට අකැමැති වීම ය. තමා මෙන් ම අන්‍යයන් ද මරණය හා හිංසනය පිළිකුල් කරයි. මෙම පොදු ධර්මතාව මැනවින් වටහාගෙන තමා උපමා කරගනිමින් අනුන් නැසීමෙන් හා ඝාතනය කිරීමෙන් වැළකිය යුතුබව එහි දැක්වේ. මේ වනාහි මෙලොව පරලොව වශයෙන් ලැබෙන ලාභ අලාභ ගැන සැලකිලිමත් වීමෙන් ඇතිකරගන්නා විරතියක් හෝ වැළකීමක් නොවේ. ආත්මාවබෝධය පදනම්කරගත් උසස් සදාචාර ඤාණයක ප්‍රතිඵලය නිසා ඇතිකරගත් ප්‍රතිපත්තියකි. පරලොව තිබුණත්, නැතත් අපාය හෝ දෙව්ලොව තිබුණත්, නැතත් ප්‍රාණඝාතය මෙන්ම හිංසනය කිසිසේත් ම අනුමත කළ හැකි දෙයක් නොවේ. ධම්මපදයේ එන යථෝක්ත ඉගැන්වීමෙන් අවධාරණය කෙරෙන්නේ අතිශයින් ම දියුණු සංස්කෘතියකට හිමිකම් කියන උසස් මිනිසෙකුගේ ආකල්පය හා චින්තනය යි. වර්තමානයේ එය වෙනත් ආකාරයෙන් නීති රෙගුලාසි හඳුන්වා දෙමින් ක්‍රියාත්මක කිරීමට උත්සුක වුව ද, බුදුරදුන්ගේ ඉගැන්වීම වන්නේ ආත්ම අවබෝධය පදනම්කරගත් උසස් සදාචාර ඤාණයක් ඇතිකර ගැනීමෙන් පමණක් එයින් වැළකීම වඩාත් නිවැරැදි පිළිවෙත බව යි.

දණ්ඩ සූත්‍රයේ දැක්වෙන පරිදි සර්පයෙකු (නයෙකූ) හිංසනයට පත්කළ කුඩා දරු පිරිස අමතා බුදුරදුන් දේශනා කළේ සැප කැමැති, සැප සොයන යම් කෙනෙක් වෙතොත් එම තැනැත්තා හෝ තැනැත්තිය සැපයට කැමැති සෙසු ජීවීන් හිංසාවට හා පීඩනයට ලක් නොකළයුතු බවයි. අනුන් හිංසනයට හා පීඩනයට භාජනය කරන්නා පරලොව දී සැප නොලබන බවද, කුඩා දරුවන්ට පැහැදිලි කළ සේක. දණ්ඩ සූත්‍රයෙන් පෙන්වා දෙන්නේ අන්‍යයන්ට හිංසා කරන්නා පරලොව දී අයහපත් දුක්ඛදායක ඉරණමකට භාජනය වන බව යි. ඒ අනුව සැප කැමැති කෙනෙක් වෙතොත් ඔහු හෝ ඇය අන්‍යයන්ට හිංසා පීඩා කිරීමෙන් වැළකිය යුතු ය. සැප යනු අතිශය පුළුල් අර්ථයකින් යුක්ත වූවකි. එය කායික හා මානසික වශයෙන් අංශ දෙකකින් යුක්ත ය. ඒ අනුව කෙනෙකු කයින් ද, සිතින් ද දුකට වේදනාවට පත්කිරීම බුදුදහමට අනුව වරදකි. ඇතැම් විට කායික හිංසනය නොකළත් මානසිකව හිරිහැර කරනු දක්නට ලැබේ. එසේම අනුන්ට හිංසා කිරීමේ දී පළමුව කිලිටි වන්නේ තම සිතයි. ද්වේෂයෙන් හා මෝහයෙන් කිලිටි වූ සිතින් කියන කරන සැම දෙයකටම ලැබෙන අනුරූපි විපාක දුක්ඛදායක ය. ඒ අනුව අන්‍යයන් පීඩාවට පත්කිරීමේ දී වැඩි හානිය ඇත්තේ එම ක්‍රියාවෙහි නිරතවන්නාට බව වටහා ගැනීම අවශ්‍ය වේ.

අවිහංසාව (අවිහිංසා සංකප්ප) උසස් චින්තනයකට උරුමකම් කියන්නකි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සංකප්ප යටතේ මෙය අවධාරණය කර තිබේ. ඒ අනුව බුදු සමය පිළිපදින ආර්ය ප්‍රතිපදාව අනුගමනය කරන්නෙකුගේ චින්තනය පරපීඩා මානසික ධර්මයන්ගෙන් තොර වූවකි. සියලු සත්වයන් කෙරෙහි යොමු වූ හිතානුකම්පී බවකින් යුක්ත, සියලු සත්වයන්ගේ සුවය කැමැතිවන (සබ්බේසත්තා භවන්තු සුඛිතත්තා) උසස් චින්තනයකින් බෞද්ධයාගේ මනස සැකසී තිබේ. බෞද්ධ සංස්කෘතිය සැකසී තිබෙන්නේ ද මෙම උසස් පුරුෂාර්ථවලින් පෝෂණය ලැබීමෙනි. වෛර කරන්නන් අතර වෛර නොකර සිටීම (වෙරිනෙසු අවෙරිනො) බෞද්ධ පිළිවෙත වේ.

එහෙත් මෙම ඉගැන්වීම මගින් පෝෂණය වූ චින්තනයක් ඇත්තේ අතිශය සුළුතර පිරිසකට පමණි. බොහෝ දෙනෙකු හිංසනයට ලැදියාවක් දක්වන බව විවිධ සිදුවීම් ඇසුරෙන් වටහාගත හැකි ය. බෞද්ධ පිළිවෙත වන්නේ හිංසනය වෙනුවට සාමයෙන් ගැටලු විසඳා ගැනීම යි. කුඩා කල සිටම හිංසනය පිටු දකින, අන්‍යයන්ට අනුකම්පා කරන, දයාවෙන් යුක්ත අයෙකු බවට පත්වීමට දරුවන්ට මගපෙන්වීමට දණ්ඩ සූත්‍රය බෙහෙවින් වැදගත් වේ. එබැවින් දෙලොවින්ම කායික හා මානසික සුවය ලැබීමට නම් හිංසාවෙන් වැළකිය යුතු ය. ලොවට හිතානුකම්පීව දයාවෙන් යුක්ත පුද්ගලයා දීර්ඝ කාලීන සැපයට හිමිකම් කියයි. 

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජුනි 25 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.12 ට ලබයි. 26 වන දා බදාදා පූර්ව භාග 04.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 25 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය ජූලි 02 වන දා අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09

Full Moonපසෙලාස්වක

ජූලි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]