[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ 42 වැනි උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ 42 වැනි උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

ඓතිහාසික පුලතිසිපුර මහා වාලුකා නදීතෙර උදකුක්ඛේප සීමා මාලකයේ දී

උතුම් සසුන් මෙහෙවරක්

උදකුක්ඛේප සීමා, බද්ධ සීමා යන දෙතැනින් ම මහා සංඝයාගේ අනුමැතිය පරිදි උපසම්පදා විනය කර්මයක් සිදු කළ හැකි ය. උදකුක්ඛේප සීමා යනු ජලාශයක් මැද දර්ශනීය මණ්ඩපයක් තනා ඒ තුළ සිදුකරනු ලබන උපසම්පදා විනය කර්මය යි. බද්ධ සීමාව නම් ගොඩ බිම පිහිටි විනය කර්මයකින් අනුමත කරන ලද සීමා මාලකයක සිදු කරනු ලබන උපසම්පදා විනය කර්මය යි.

ධර්ම විනයට අනුගතව පිහිටුවාගත් සීමා මාලකයක් නම් මේ දෙකින් කවර එකක උපසම්පදා කළ ද වරදක් නැත. ඉහත කී පරිදි උදකුක්ඛේප සීමා, බද්ධ සීමා යන දෙයාකාර සීමා බෞද්ධ රටවල පිහිටුවා තිබේ. දැනට වසර 119 පමණ සපුරා ඇති මේ භික්ෂු වංශයෙහි මෙවර පවත්වනු ලබන්නේ 42 වැනි උපසම්පදා මහෝත්සවය යි.

සම්බුද්ධ ශාසනයේ ආයුෂය මේ විනය කර්මය බව සලකා ඉදිරියටත් මෙවන් උතුම් පුණ්‍ය කර්මයන් සිදු කොට සසුන රැකගැනීමට සියලු දෙනාම උත්සාහවන්ත විය යුතු ය. එසේම වාසනාවන්ත කුළ දරුවන් සසුනට පූජා කළ යුතු ය.


උපසම්පදා විනය කර්මය සුවිශේෂී වූවකි

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවට අයත් අරියවංශ සද්ධම්ම යුත්තික පාර්ශ්වය මහා විහාර වංශික ශ්‍රී ලංකා භික්ෂු ශාසනයේ ක්‍රමික විකාශය තුළ වසර 119 ක් පැරැණි පළාත් සංඝ සභා (09) නමයකින් හෙබි ගාල්ල, කළුතර, කොළඹ, මීගමුව, වයඹ මධ්‍යම, නව වයඹ, නැගෙනහිර, තමන්කඩු, කරන්දෙණිය හා සබරගමු යන නම්වලින් හැඳින්වෙන ප්‍රාදේශීය සංඝ සභා මගින් මුළු දිවයිනම ආවරණය කෙරෙන 500 කට අධික ආරාමවලින් හා උපසම්පන්න භික්ෂූන් 2500 කින් ශක්තිමත් වූ පාර්ශ්වයකි. අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශවයේ උපසම්පදා විනය කර්මය පැවැත්වෙනුයේ 42 වැනි වතාවට ය. මෙවර උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලබන උපසම්පදාපේක්ෂකයන් සිය නමකි. මෙවර ජුනි මස 21, 22, 23 යන දිනයන් හි පවත්වනු ලබන අධිශීල ශික්ෂා සංඛ්‍යාත සුපරිශුද්ධෝපසම්පදාව විනය කර්මය සුවිශේෂී වූවකි. අප පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී කදුරුවෙල ධම්මපාලාභිධාන නැගෙනහිර තමන්කඩු දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ස්ථවිරයන් වහන්සේගේ පූර්ණ කැපවීම මත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ පූර්ණ සහයෝගය පරිදි පොළොන්නරුව මහ දිසාපතිතුමන්ගේ හා නගරාධිපතිතුමන්ගේ නියාමකත්වයෙන් පුලතිසිපුර මනම්පිටිය සාම පාලම සමීපයේ මහා වාලුකානදී තෙර ශ්‍රී ලංකා නාවික හමුදාපතිතුමන්ගේ අනුග්‍රහයෙන් ඉදිකරන ලද උදකුක්ඛේප සීමා මාලකයේ දී මෙම උපසම්පදා විනය කර්මය සිදු කිරීම මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවට ම සෙත, ශාන්තිය, ආශිර්වාදය, ආරක්ෂාව ලබාදීමෙහි ලා උපස්ථම්භක වන අතීත ශ්‍රී ලංකාවේ උදුම්බරගිරි (දිඹුලාගල) විහාරය පදනම්ව ගොඩනැගුණු සංඝ සාමාගි‍්‍රය සනිටුහන් කෙරෙන උදාර පුණ්‍ය ක්‍රියාවකි. මෙම පුණ්‍යක්‍රියාව අරමුණු කර ගනිමින් ක්‍රියාකාරී වූ පෙර සඳහන් කරන ලද සියලු දෙනා වෙත අපගේ ආශිර්වාදය හා පුණ්‍යානුමෝදනය මෙයින් පිරි නමමු.

ජනතාවගේ සිත් සතන් වෛරයෙන් ක්‍රෝධයෙන් නොව, පින් සිතින් පිරී යා යුතු ය. ගෙවී ගිය වෙසක් පෝදින හා ඉන් පසුවත් ජනතා මනස තුළ යම් බඳු විපිළිසරයක් විය. සැකයෙන් බියෙන් තොරව ජනතාව එදිනෙදා කටයුතුවල යෙදිය යුතු ය. මෙබඳු අති මහත් ගාම්භීර පුණ්‍යක්‍රියාවකින් ජනිත වන පුණ්‍ය චේතනා ශක්තිය ග්‍රහ අපල දුරු කොට ජනතාව සුඛිත මුදිත කරන්නට සමත්වනු ඇත. පෙර පරිදි සැකෙන් බියෙන් තොර සාමාන්‍ය දිවි පෙවෙතක් රටපුරා ගොඩනැගෙනු ඇත.

අප පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී කදුරුවෙල ධම්මපාලාභිධාන නැගෙනහිර තමන්කඩු දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ස්ථවිරයන් වහන්සේ අති මහත් කැපවීමෙන් යුතුව මෙම උපසම්පදා විනය කර්මය සංවිධානය කිරීම අප පාර්ශ්වයටම ලැබුණු මහඟු ආශීර්වාදයකි. උන්වහන්සේට මෙන්ම, මෙම පුණ්‍යක්‍රියාව සඳහා විවිධාකාරයෙන් ස්වකීය ශ්‍රමය, ධනය මෙන්ම ක්‍රියාකාරීත්වය ලබාදුන් ආරක්ෂක අංශවල සියලු දෙනාටත්, දිසාපතිතුමන්, නගරාධිපතිතුමන් ඇතුළු සියලුම ක්‍රියාකාරීකයන්ටත් විශේෂයෙන් අප පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී කදුරුවෙල ධම්මපාල නාහිමිපාණන් වහන්සේටත්, උන්වහන්සේ වටා එක්ව සිටින පොළොන්නරුවේ මෙන්ම අප පාර්ශ්වීය සියලුම මහා සංඝරත්නයටත් අත හිත දුන් සියලුම මව්පිය, වැඩිහිටියන්ට මෙන්ම තරුණ කැළටත් විශේෂයෙන් කදුරුවෙල මුස්ලිම් ප්‍රජාව ඇතුළු මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ටත් මානසික සුවය සැනසීම උදාවේවා. සත්සිත් නිවේවා. දහමින් දැයම එකළුවේවා!


පොළොන්නරුවේ භික්ෂු ශාසනික සම්ප්‍රදායේ පුනර්ජීවනයක්

අමරපුර අරියවංශ සද්ධම්ම යුත්තික නිකායේ 2019 වර්ෂයේ උපසම්පදා විනය කර්මය පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගංගා සීමා සම්මුති පරිශ්‍රයේ සිට සිදු කරනු ලැබීම පිළිබඳ පළමුව මාගේ බලවත් ප්‍රසාදය හා සතුට ප්‍රකාශ කරමි. දෙවනුව මා එහි ඓතිහාසික වැදගත්කම සිහිපත් කරන්නේ පොළොන්නරුවේ භික්ෂු ශාසනික සම්ප්‍රදායේ පුනර්ජීවනයක් සිදුවන අවස්ථාවක් ලෙස සලකමිනි.

අනුරාධපුරය බිඳ වැටීමෙන් සැත්තෑ වසරක කාලයක් ලංකාව චෝල අධිරාජ්‍යයේ ප්‍රදේශයක් ව පැවැති විට පළමු විජයබාහු රජතුමා ලක් දෙරණ එක්සේසත් කර පොළොන්නරු රාජධානිය පිහිටුවී ය. චෝළයන්ගේ ක්‍රියාකාරකම් නිසා බුදු සසුන විශාල ලෙස හානියට පත් ව තිබිණි. එවකට රුහුණේ පවා ජීවත් විය නොහැකි වූ බැවින් බොහෝ භික්ෂූන්ට බුරුමයට වැඩම කරන්නට සිදු විය. පළමු විජයබාහු රජතුමාට උපෝසථකර්ම කරවීමට නොහැකි වූ බලවත් ගැටලුව වූයේ විනයකර්මවල ගණපූරණයට පොහොනා තරම් උපසම්පන්න භික්ෂූන් වහන්සේ නොසිටීම යි. ඒ අනුව එතුමා රාමඤ්ඤ රටින් උපසපන් භික්ෂූන් මෙහි වැඩමවා ලක්දිව භික්ෂු ශාසනය යළි ස්ථාපනය කළේ ය.

එතුමාගෙන් පසු පොළොන්නරුවේ වෙහෙර විහාර රාශියක් ඉදි කළ මහා පරාක්‍රමබාහු රජතුමා එ තැනින් නොනැවතී එවකට පිරිහී තිබුණු භික්ෂු ශාසනය ප්‍රතිසංශෝධනයට සුවිසල් මෙහෙවරක් සිදු කළේ ය. පැරැකුම් රජු විසින් දිඹුලාගල මහා කාශ්‍යප මාහිමියන් උදව් කරගෙන සසුනේ සිටි දුසිල්වතුන් නෙරපා, නිකාය සමගිය ඇති කොට උපසම්පදාවන් නියමානුකූලව පැවැත්වීමට කටයුතු කරන ලදී. රජුගේ ගල්විහාර කතිතාවතේ භික්ෂු භාවයට පත් කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග හා උපදෙස් දක්වා තිබේ. එසේ ම එතුමා වර්ෂයක් පාසා උත්කර්ෂවත් අන්දමින් දාස්තොට නම් ස්ථානයේ උපසම්පදාකර්ම පැවැත් වූ බව ද සඳහන් වේ. ඓතිහාසික තොරතුරු විමසා බැලීමේ දී පොළොන්නරු රාජධානිය බිඳ වැටීමෙන් පසු නැවත වරක් උපසම්පදා විනය කර්මයක් මෙහි සිදු කිරීම සැදැහැති බෞද්ධයාට සතුටු විය හැකි ඓතිහාසික අවස්ථාවකි.


අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ වාර්ෂික උපසම්පදා විනයකර්මය

භික්ෂු ශාසනය සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 කට පසු මහා මහින්ද මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයේ ප්‍රතිෂ්ඨාපනය කළ බව වංශ කථාවල සඳහන් වේ. එම ප්‍රතිෂ්ඨාපනය සිදු වූ ආකාරය පිළිබඳ වංශ කථාගත තොරතුරු විමසන විට ඉතා වැදගත් ප්‍රකාශයක් හමුවේ. එනම් මිහිඳු මාහිමියන් ඇමතූ දෙවනපෑතිස් රජතුමා විමසුවේ ස්වාමීනි, ශ්‍රී ලංකාද්වීපයේ සම්බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාපනය වී තිබේද යන්නයි. එහිදී මිහිඳු මාහිමියන් ප්‍රකාශ කළේ ලක්දිව මව්පියන්ට දාව උපන් කුල කුමරෙක් සසුනෙහි පැවිදිව උපසම්පදාව ලැබ විනය දේශනා කිරීමට සමත් වන්නේ යම් දිනක ද, එදින සිට සම්බුද්ධ ශාසනය ලක්දිව පිහිටන බවයි.

මෙම ප්‍රකාශය තුළින් ශාසන ඉතිහාසයේ උපසම්පදා විනය කර්මයට පැවති ගෞරවනීය භාවයත්, එම විනය කර්මයෙහි ඇති විනයානුකූල භාවයත්, මැනවින් පැහැදිලි ය. මෙසේ ශ්‍රී ලංකාවේ ඇරඹුණ භික්ෂු ශාසනය පසුකාලීනව අභාවයට ගිය අතර මහනුවර වකවානුවේ දී නැවත සියම් දේශය මූලික කොට ගෙන පිහිට වූ බව ඉතිහාසගත තොරතුරුවල සඳහන් වේ. මේ සඳහා වැලිවිට අසරණ සරණ සරණංකර මාහිමිපාණන් වහන්සේ මූලික වූ අතර උන්වහන්සේ ඇති කළ බෞද්ධ පුනරුදය නිසා ශාසන මාමක බොහෝ කුලදරුවෝ උඩරට පහතරට භේදයකින් තොරව පැවිදි බවට පත්වූහ.

අනතුරුව ලක්දිව අමරපුර නිකාය සහ රාමඤ්ඤ මහා නිකාය බිහි වූ බව බෞද්ධ තොරතුරුවල දැක්වේ. නිකාය කිහිපයකට වෙන් වී යාම තුළ වඩාත් සාකච්ඡාවට හා අවධානයට යොමු වූයේ නිවැරැදි ශාසන ප්‍රතිපදාව යි. මේ නිසා සෑම නිකායක් ම විනයානුකූලව සිය ප්‍රතිපත්ති සකසා ගැනීමටත්, ගරු විනයකර්ම ආදිය විනය නිර්දේශවලට අනුකූලව සිදුකිරීමටත් උනන්දුවිය. මෙහි ප්‍රතිඵලය වූයේ කුඩා කුඩා කණ්ඩායම් ලෙස නිකාය නමින් වෙන්වීම යි. ඒ තුළින් වඩාත් පිරිසුදු වූ භික්ෂු ශාසනයක් රට තුළ ස්ථාපනය කිරීමට ඒ ඒ භික්ෂු ගණයන් උත්සාහ දරා ඇත.

මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය වර්ෂ 1900 අපේ‍්‍රල් මස 29 වැනිදා කළුතර බෝඹුවල ශ්‍රී සුබෝධිරාජාරාමයේ දී අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකාය පිහිටවනු ලැබී ය. මෙහි ප්‍රථම මහා නායක ධුරයට පත්වූයේ විනය පිළිබඳ විශාරද දැනුමක් තිබූ කුශාග්‍ර බුද්ධිමතෙක් ලෙස ධර්ම විනය, ශබ්ද ශාස්ත්‍ර පිළිබඳ ශ්‍රේෂ්ඨ පාණ්ඩිත්‍යයකින් හෙබියා වූ දන්ගෙදර ශ්‍රී ජයවර්ධනාරාමාධිපති ගණාචරිය දන්ගෙදර සිරි සුමනජෝති මහා නාහිමියන් ය.

අභිනව නිකාය පිහිටුවා දෙ මසක් ගතවන අවස්ථාවේ දී නිකායේ ප්‍රථම උපසම්පදා විනය කර්ම සිදුකිරීමට නියම විය. මේ අනුව ශ්‍රී බුද්ධ වර්ෂ 2444 ක් වූ පොසොන් මස දී කොළඹ නාගුලුගම්තොට කල්‍යාණි නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී සාමණේරයන් වහන්සේලා සය නමක් උපසම්පදා කරමින් නිකාය උපසම්පදා විනය කර්ම අරඹනු ලැබී ය.

ආරම්භක මහා නා හිමිපාණන් වහන්සේගේ පටන් මේ දක්වා අප නිකායට නායකත්වය සැපයූ මහා නා හිමිවරු සංඛ්‍යාව දොළොස්නමකි. මෙම ඓතිහාසික මොහොතේ දී උන්වහන්සේලා නාමිකව හෝ සිහිපත් කිරීම කළගුණ සැලකීමේ මහඟු පින්කමකි. ඒ අනුව නිකායේ මහා නායක ධුරය දැරූ මාහිමිවරුන් වහන්සේලා මෙසේ ය.

1. අතිපූජනීය දන්ගෙදර සිරි සුමනජෝති මහා නා හිමි

2. අතිපුජනීය මහගම සිරි රතනපාල මහා නා හිමි

3. අතිපූජනීය දන්ගෙදර සිරි සරණපාල මහා නාහිමි

4. අතිපුජනීය ගණිනිගම සිරි අමිතසාර මහා නාහිමි

5. අතිපූජනීය ගිරිකොල සිරි ගුණරතන මහා නාහිමි

6. අතිපූජනීය වළකුඹුරේ සිරි ධම්මජෝති මහා නාහිමි

7. අතිපූජනීය අංකුඹුරේ සිරි සෝමානන්ද මහා නාහිමි

8. අතිපූජනීය පඹුරේ සිරි ඤාණාලංකාර මහා නාහිමි

9. අතිපූජනීය ඇස්වන්නේ සිරි පේමරතන මහා නාහිමි

10. අතිපුජනීය දුනගහ සිරි ඤාණාරාම මහා නාහිමි

11. අතිපූජනීය බෙල්ලන සිරි පේමානන්ද මහා නාහිමි

දොළොස්වන මහා නා හිමිපාණන් වහන්සේ ලෙස වර්තමානය් දි පාර්ශ්වයට නායකත්වය සපයන්නේ කුරුණෑගල රිදීගම රම්බඩගල්ල ශ්‍රී විද්‍යාසාගර පරිවේණාධ්‍යක්ෂ ශී‍්‍ර සෝමානන්ද පඤ්ඤාසාගර වංසාලංකාර විනය කීර්ති ශ්‍රී පරියත්ති විශාරද කර්මවාගාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත අතිපූජනීය එගොඩමුල්ලේ අමරමෝලි මහානා හිමිපාණන් වහන්සේ ය. වර්තමාන මහා නා හිමියන් පාර්ශ්වයේ නායකත්වය භාරගැනීමත් සමඟම අප පාර්ශ්වය සංවර්ධනාත්මක පියවර රාශියකට අවතීර්ණ වී ඇත. පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරින් වහන්සේ ලෙස මා හට නිකාය වෙනුවෙන් කිරීමට ඇති කාර්ය භාරය නොපිරිහෙලා ඉටුකිරීමට වර්තමාන මහා නා හිමිපාණන් වහන්සේගේ හා අනුනා හිමිපාණන් වහන්සේලාගේ නොමද සහාය අතිශයින් ම මහෝපකාරි වී ඇත.

ඉහත කී මහා නා හිමිවරුන්ගේ යුගවලදී අවම වශයෙන් උපසම්පදා විනයකර්ම දෙකක්වත් සිදුකර ඇති අතර සමහර මහා නා හිමි යුගවලදී එවැනි විනයකර්ම අටක් පමණ සිදුකර ඇත. නිකායේ සොයාගත හැකි තොරතුරුවලට අනුව මේ වන විට උපසම්පදා පුණ්‍ය මහෝත්සව පනහකට (50) ආසන්න සංඛ්‍යාවක් අප නිකාය විසින් විවිධ ප්‍රදේශ මූලික කොටගෙන සිදුකර තිබේ. මෙහි සුවිශේෂත්වය වන්නේ පාර්ශ්විය සම්ප්‍රදායට අනුකූලව මෙම විනය කර්ම සියල්ලම පාහේ උදකුක්ඛේප සීමා මාලකයක දී සිදුකිරීම යි. ආපදාවකට මුහුණ දුන් එක් අවස්ථාවක දී පමණක් සැලසුම් කළ උපසම්පදා විනය කර්මය බද්ධ සීමාවක දී සිදුකිරීමට අප පාර්ශ්වයට සිදුවිය.

2019 ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර අරියවංශ සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ උපසම්පදා විනය කර්මය හා පුණ්‍ය මහෝත්සවය අප පාර්ශ්වයට සුවිශේෂි අවස්ථාවකි. එසේ සුවිශේෂී වීමට බලපෑ හේතු ගණනාවකි. ශ්‍රී ලංකාවේ රාජධානි ඉතිහාසය තුළ පුලතිසි පුරවරය දෙවන රාජධානිය වේ. එහිදී ශාසන ශෝධන හා කතිකාවත් ඇතිකරනු ලැබූ බව ශාසන ඉතිහාසයේ දැක්වේ. ඒ අනුව රාජධානි වකවානුවේ දී පුලතිසිපුරවරය පදනම් කොට ගෙන උපසම්පදා විනය කර්ම සිදුකර ඇති බව පිළිගත හැකි ය. නමුත් රාජධානි වකවානුවෙන් පසුව රාජ්‍ය නායකයා ලෙස අතිගරු ජනාධිපතිතුමාගේ පූර්ණ දායකත්වයෙන් පුලතිසි පුරවරයේ සිදුකරන ප්‍රථම උපසම්පදා විනය කර්මය ලෙස මෙය දැක්විය හැකි ය. තවද පුලතිසි පුරවර ඉතිහාසය තුළ උදකුක්ඛේප සීමාමාලකයක සිදුකරන පළමුවන උපසම්පදා විනය කර්මය වන්නේ ද මෙම උපසම්පදා විනය කර්මය යි.

ඒ අනුව ශාසන ඉතිහාසයේ සනිටුහන් වන මෙම උපසම්පදා විනය කර්මය හා පුණ්‍ය මහෝත්සවය ජුනි මස 21 වන දින සන්ධ්‍යා භාගයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ බැතිබර දායකත්වයෙන් හා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නා හිමිපාණන් ඇතුළු මහා නායක සානුනායක වර ප්‍රමුඛ ශ්‍රී සුමනජෝති මහා කාරක සංඝ සභාවේ මූලිකත්වයෙන් පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පවත්වන සමාරම්භක උත්සවයෙන් ආරම්භ කෙරේ. ඉන් අනතුරුව එදින සිට 2019.06.23 දින සන්ධ්‍යා භාගය දක්වා තෙදින පුරා මනම්පිටිය සාම පාලම අභියස ඉදිකර ඇති සම්බුද්ධ ප්‍රතිමා මන්දිරය අසල මහාවාලුකා නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදාපේක්ෂක සාමණේර හිමිවරු සියක් නමක් අතිපාරිශුද්ධ උපසම්පදා ශීලයෙහි පිහිටුවීමට නියමිත ය. 2019.06.23 සන්ධ්‍යාවේදී පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ප්‍රධාන ශාලාවේ දී නවක උපසම්පදාලාභීන් සඳහා මාර්ගෝපදේශ වැඩමුළුවක් පවත්වා එහි නිමාවත් සමඟම මහානායක, සානුනායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ ශ්‍රී සුමනජෝති කාරක මහා සංඝ සභාවට හා කර්මවාගාචාරයන් වහන්සේලාට ප්‍රසාද පූජා පැවැත්වීමෙන් පසු උපසම්පදා විනය කර්මය හා මෙම පුණ්‍යෙීත්සව මාලාව නිමාවීමට නියමිත ය.


විනයකර්ම අතර ප්‍රමුඛතම විනයකර්මය උපසම්පදා විනය කර්මය යි

ශාසන ඉතිහාසයේ ගරු විනයකර්ම අතර ප්‍රමුඛතම විනයකර්මය වනුයේ උපසම්පදා විනයකර්මය යි. අමරපුර අරියවංශ සද්ධම්ම යුත්තික නිකායේ ආරම්භය සිදු වන්නේ ද පාරිශුද්ධ උපසම්පත්තිය මූලික කොටගෙන ය. මෙවර පොළොන්නරුව මනම්පිටිය පාලම අභියස දී සිදුකිරීමට නියමිත අමරපුර සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ විනයකර්ම පූජෝත්සවය වෙනුවෙන් ශුභාශිංසන පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම මහත් භාග්‍යයක් හා සොම්නසට කරුණක් බව ප්‍රකාශ කර සිටිමි.

අමරපුර සද්ධම්ම යුත්තික නිකායේ ආරම්භය 1900 අප්‍රේල් මස 24 වැනි දා කළුතර බෝඹුවල ශි‍්‍ර සුබෝධිරාජාරාමයේ දී සිදු විය. ශ්‍රේෂ්ඨ පාණ්ඩිත්‍යයකින් යුක්ත වූ විනය විශාරද දන්ගෙදර සිරි සුමනජෝති මහ නාහිමියෝ ද, ආරම්භක මහෝපාධ්‍යයන් වහන්සේ ලෙස අතිපූජ්‍ය බෝඹුවල දස්සනසාර මාහිමිපාණෝ ද පාරිශුද්ධ භාවයෙන් අනූන වූ උපසම්පදා විනයකර්මයට එවක මූලික වූ හ.

වර්තමානයේ සිට අද දක්වා මහානායක මාහිමිවරුන් දොළොස් නමක් නිකායේ උන්නතිය සඳහා කටයුතු කොට ඇති අතර, කුරුණෑගල, රිදීගම, රම්බඩගල්ල විද්‍යාසාගර පරිවේණාධ්‍යක්ෂ ශාස්ත්‍රපති පණ්ඩිත එගොඩමුල්ලේ අමරමෝලි මහානායක මාහිමියන් වහන්සේ වර්තමාන මහානායක මාහිමිපාණන් වහන්සේ වෙති. උන්වහන්සේ නිකායට පමණක් නො ව ශ්‍රී ලාංකේය සම්බුද්ධ ශාසනයට ම නව ආලෝකයක් ලබා දෙමින් නිකාය කතිකාවත කාලානුරූප ව සංශෝධනය කළහ. නිකායේ අනන්‍යතාව තහවුරු කිරීමට පසුබිම සැකැසූහ.

එසේම අමරපුර සද්ධම්ම යුත්තික පාර්ශ්වයෙහි විශාල පුනර්ජීවනයකට කටයුතු සිදු කැරුණේ ද වර්තමාන මහා ලේඛකාධිකාරීන් වහන්සේ වන කදුරුවෙල ජයන්ති විහාරාධිපති, කදුරුවෙල ධම්මපාල නා හිමිපාණන් වහන්සේ විසිනි.

උන්වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් මෙවර සිදු වන පාරිශුද්ධ උපසම්පදා විනයකර්ම පුණ්‍යෝත්සවයේ සියලු කටයුතු සාර්ථක වේවා යි ශුභාශිංසනය කරන අතර, ඊට සහභාගි වන මහා සංඝරත්නයට හා ආධාර අනුග්‍රහ දක්වන සියල්ලනට නිදුක් නිරෝගී භාවය හා චිරජීවනය සැලසේවා යි ප්‍රාර්ථනය කරමි.

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජුනි 25 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.12 ට ලබයි. 26 වන දා බදාදා පූර්ව භාග 04.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 25 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය ජූලි 02 වන දා අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09

Full Moonපසෙලාස්වක

ජූලි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]