[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලය අපේ ඉතිහාසයේ මූලාරම්භය යි

මිහින්තලය අපේ ඉතිහාසයේ මූලාරම්භය යි

මිහින්තලා-ලේක්හවුස් ආලෝක පූජා පින්කමේ දී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා කියයි

 

ආලෝක පූජාව සිදුකරන ලේක්හවුස් ආයතනය එයට අවශ්‍ය වැඩ කටයුතු සියල්ල ඉටු කරනවා

 

ඉරිදා අතිරේක පන්ති තහනම් කර දරුවන් දහම් පාසල් යැවිය යුතුයි - වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු වෙසක් සහ පොසොන් උත්සව උත්සවාකාරයෙන් පැවැත්වීමට අවශ්‍ය පසුබිම සැකසීමට තමන්ට වුවමනා වූ බවත්, ඒ අනුව අදාළ ආයතන සමඟ සාකච්ඡා කරමින් එම කටයුතු සාර්ථකව සිදු කළ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් දා (16) මිහින්තලයේ දී පැවසී ය.

රාජ්‍ය පාලනය සඳහා එදා ලිච්ඡවී රජ දරුවන් දුන් උපදේශවලට අනුව වත්මන් ආණ්ඩුව හා ඇමැති මණ්ඩලය ක්‍රියාකරමින් සිටින බවද වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේ ය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම අදහස් පළ කළේ ඓතිහාසික, මිහින්තලා පුදබිමේ විදුලි ආලෝක පූජා පින්කම විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ලේක්හවුස් ආයතනය වාර්ෂිකව සංවිධානය කරනු ලබන මිහින්තලා විදුලි ආලෝක පුජාව මෙවර ද ඉතා උත්සවාකාරයෙන් පැවැත්විණි.

මිහින්තලා විදුලි ආලෝක පූජාවට එක්වීමට පෙර වික්‍රමසිංහ මහතා අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේ වන්දනා කළේ ය.

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වන්දනාමාන කිරීමට හා මිහින්තලා පුදබිමට ලක්ෂ සංඛ්‍යාත බැතිමත්හු පිරිසක් පෝදා (16) සන්ධ්‍යාව වන විට පැමිණ සිටි අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් අතරට ගොස් සුහදව සහ මිත්‍රශීලිව කතා බහ කරමින් වැඩි වේලාවක් එම ස්ථානවල ගත කළේ ය.

මිහින්තලා පුදබිමේ ආලෝක පූජාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් වික්‍රමසිංහ මහතා මෙසේද කී ය.

සිරිත් පරිදි මිහින්තලා පූජා භූමියට පැමිණ මේ ආලෝක පූජාවට සහභාගි වීමට මට අවස්ථාව ලැබීම මහත් භාග්‍යයක් කොට සලකනවා. මිහින්තලා චෛත්‍ය වන්දනා කිරීමට මම පළමු වතාවට මෑණියන් සමඟ මිහින්තලයට පැමිණෙන විට මෙහි විදුලිය තිබුණේ නැහැ. එකල මිහින්තලා ආලෝක පූජාව සඳහා විදුලිය ලබා ගත්තේ ජෙනරේටර් යන්ත්‍ර මගිනුයි. වර්තමානය වන විට මිහින්තලය පූජා භූමිය විශාල දියුණුවක් ලබා තිබෙනවා.

සිරිත් පරිදි ආලෝක පූජාව පැවැත්වීම එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මගින් සිදුකරන අතර ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු සියල්ල බාර ගෙන සිදුකරන බව එම ආයතනය මා වෙත දැනුම් දී තිබුණා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු වෙසක් උත්සවය සහ පොසොන් උත්සවය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට අපට අවශ්‍ය වුණා. එම නිසා එක් එක් අංශ වෙත කතා කරමින් එම උත්සව පැවැත්වීමට පවතින හැකියාව පිළිබඳව අප සොයා බැලුවා.

වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් සහ පී හැරිසන් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරමින් අවශ්‍ය උදව් උපකාර ලබාදීමට මා කටයුතු කළා. ඒ වගේම මේ සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙස චන්ද්‍රානි බණ්ඩාර අමාත්‍යතුමියට මා උපදෙස් ලබා දුන්නා.අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ද මෙම ස්ථානයට පැමිණ අවශ්‍ය වැඩ කටයුතු පිළිබඳව සොයා බලා ඒවා ඉටු කිරීමේ වගකීම බාරගත්තා. විදුලි බල අමාත්‍යවරයා ලෙස රවි කරුණානායක මහතා මේ පුණ්‍යකර්මය සඳහා අවශ්‍ය විදුලි බලය ලබාදීමට කටයුතු සම්පාදනය කර දුන්නා. ඒ වගේම අනෙකුත් වැඩ කටයුතු සම්බන්ධිකරණය කිරීමේ වගකීම වජිර අබේවර්ධන අමාත්‍යවරයා බාරගෙන එම කටයුතු සිදු කළා.

මිහින්තලය පූජා භුමිය සහ එහි සිදු කෙරෙන ආගමික වැඩසටහන් පැවැත්වීම සම්බන්ධව පවතින අඩුපාඩු කිහිපයක් පිළිබඳව අපේ වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් සඳහන් කළා. මිහින්තලය වාර්ෂික පෙරහර රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වීම සම්බන්ධ ගැසට් පත්‍රය නිකුත් කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කර තිබෙනවා. ඒ වගේම අනෙකුත් කරුණු සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරු සමඟ සාකච්ඡා කර අවශ්‍ය පිළියම් යෙදීමට මම කටයුතු කරන බව කිව යුතුයි.

මිහින්තලය ශුද්ධ වූ පූජා භූමියක්. ඒ වගේම අපගේ ඉතිහාසයේ මුල් ආරම්භය යි. ථෙරවාදී බුද්ධාගම ලෝකයේ පවතින්නේ මිහිඳු හිමියන්ගේ මිහින්තලා ආගමනය නිසයි. සිංහල ජාතිය ඇති වුණේ අනුරාධපුර යුගයේදීි ය. මිහින්තලා පූජා භූමියට තිබෙන ස්ථානය හා වැදගත්කම අපි අවිවාදයෙන් යුතුව පිළිගන්නවා.

මේ වන විට ශ්‍රී මහා බෝධි පරිශ්‍රය සහ මහා විහාරයේ අවශ්‍ය කැණීම් සහ සංරක්ෂණ කටයුතු සිදුකිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආරම්භය සිදුවන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයත් සමඟයි. පණ්ඩුකාභය රජ සමයටත් පෙර ආරම්භ වූ සිංහල ගමක් ලෙස අනුර ග්‍රාමය සැලකෙනවා. සිංහල ජනතාව මුලින්ම ජීවත් වූයේ මල්වතු ඔය ආශි‍්‍රත වූ අතර පසුකාලීනව යාං ඔය ප්‍රදේශයටත් ව්‍යාප්ත වූණා. ඒ අනුව අපි මේ වන විට මල්වතු ඔය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඉදිරියේ දී මල්වතු ඔය ජලාශය ඉදිකිරීමටද අපි බලාපොරොත්තු වෙනවා.

යාං ඔය ආශි‍්‍රතව මේ වන විටත් අවශ්‍ය කරන වාරිමාර්ග දියුණුව ආරම්භ කර තිබෙනවා. මල්වතු ඔය ජලාශය ඉදිකර ඒ ප්‍රදේශ දියුණු වීමත් සමඟ මිහින්තලය ඇතුළු අනුරාධපුර දියුණුවත් ඇති වෙනවා. ඒ අනුව අනුරාධපුරයේ දියුණුවත් සමඟ අපේ ශිෂ්ටාචාරයේ මූලස්ථාන දැක බලා ගැනීමට සහ ඉතිහාසය දැන ගැනීමට සියලුදෙනාට අවස්ථාව ලැබෙනවා.

ආගමික වතාවත්වලට මූලිකත්වය ලබාදෙමින් පොසොන් උත්සවය සැමරීමට අද දිනය වෙන්කර තිබෙනවා. අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුව කටයුතු කරන්නේ ලිච්ඡවී රජදරුවන්ට ලබාදුන් උපදෙස් අනුව යි. අපි කිසි විටෙක එම උපදෙස්වලින් බැහැර වී කටයුතු කරන්නේ නැහැ. විවිධ දේශපාලන ක්‍රමවලට පුරුදු වූ රටක් ලෙස අපේ සියලු දෙනාම එකවර ලිච්ඡවී රාජ්‍ය පාලන ක්‍රමයකට ගමන් කරනවා. යැයිකියා මට කිව නොහැකියි. නමුත් වළවාහැංගුණවැවේ ධම්මරතන නායක ස්වාමීන් වන්සේත්, මමත් එම ස්ථාවරයේ සිටීම පිළිබඳව මම සතුටට පත් වෙනවා.

අපේ වළවාහැංගුණ වැවේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ මිහින්තලය පූජා භූමිය දියුණු කිරීමට විශාල වෙහෙසක් දරා තිබෙනවා. එම දියුණුව වෙනුවෙන් අවශ්‍ය සහයෝගය වර්තමානයේ දීි මෙන්ම අනාගතයේ දී ත් ලබාදීමට මම පොරොන්දු වෙනවා.

මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි.

ඉරිදා දිනවල උදේ වරුවේ අතිරේක පන්ති තහනම් කර දහම් පාසල් අධ්‍යාපනයට දරුවන් යොමු කළ යුතුව තිබෙනවා. මේ පිළිබඳ රජය අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කර අදට වසර 2327 ක් වෙනවා. අපේ ආගම දහම, චාරිත්‍රවාරිත්‍ර සිරිත් විරිත්වලට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මේ සියල්ල සිදු වෙන්නේ මේ උතුම් පුණ්‍ය භූමියේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ, දළදා වහන්සේ වැඩම කළේ මහින්දාගමනය නිසා. ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරයේ මූලික ස්ථානය ලෙස මිහින්තලාව හඳුන්වන්න පුළුවන්.

මිහිඳු පෙරහර මෙවර අපට පවත්වන්නට නොහැකි වුණා. අග්‍රාමාත්‍යතුමා මුදල් දුන්නත්, එය සංවිධානය කර ගන්න නොහැකි වුණා. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා, මිහින්තලා ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මහතා මෙම කටයුතු සාර්ථක කර ගැනීමට විශාල කැපවීමකින් වැඩකටයුතු කළා. අනුබුදු හිමියන්ට තමයි අපි සැමදෙනාම මේ උපහාර කරන්නේ.

පොසොන් මහා පින්කම ජාතික උත්සවයක් ලෙස තවමත් ගැසට්කර නැහැ. මහින්දාගමනයත් සමඟ තමයි මේ සියලු දේවල් ආරම්භ වන්නේ. ඒ නිසා සියලු ලෝකවාසින්ට එහි උරුමතාව තිබෙනවා. මිහිඳු පෙරහර , සති පිරිත් දේශනය, ආලෝක පූජාව ඒ නිසා සිදුකරන්න ඕනේ. මිහින්තලාවට ගැසට් එකක් තියෙනවා, රජදරුවන්ගේ කාලයේ සෙල් ලිපියක, ඒ අග්බෝ රජ්ජුරුවන්ගේ පාලන සමයේ.

ශ්‍රී ලංකාවේ සිටින සියලු භික්ෂූන් වහන්සේලා පුර අටවක පෝයට පෙර දවසේ වැඩමකර අටවක දවසේ මිහිඳු හිමි පිළිරුව මිහින්තලයේ තැන්පත් කරනවා. තැන්පත් කර පුර අටවක දවසට රජ්ජුරුවෝ ඇවිත් ශ්‍රී ලංකාවේ සිටින සියලු භික්ෂුන් වහන්සේලා කැඳවා, අනුරාධපුරයේ සිටින නගර ආරක්ෂකයෝ මුර ආරක්ෂකයෝ හැරෙන්නට අනෙක් සියලුදෙනා මේ පින්කමට සහභාගිවෙලා පා ගමනින් අනුරාධපුරයට වඩිනවා. අපේ රජදරුවෝ එහෙමයි බුදුදහමට ගරුකර තිබෙන්නේ.

මේ රට බෞද්ධ රටක්, දැන් සමහරු විවිධ කතා කියනවා. එයින් තමයි ජාතිවාදය, ආගම්වාදය අවුස්සන්නේ ඒ පිළිබඳ අපට කනගාටුයි.

අග්‍රාමාත්‍ය තුමා මේ ආලෝක පූජා පුණ්‍ය කටයුතුවලට වැඩිපුරම සම්බන්ධ වු කෙනෙක්. ඒ වගේම සුවිශේෂී පරපුරක සිට පැවතගෙන එන කෙනෙක්. ඒ නිසා ඔබතුමන්ට වගකීමක් තියෙනවා මෙය කරන්නට. එකාලේ ලේක්හවුස් ආයතනය රජයට පවරාගෙන තිබුණේ නැහැ. පුද්ගලික ධන පරිත්‍යාගයෙන් තමයි මේ ආලෝක පූජාව පවත්වන්නට යෙදුණේ. පුළුවන්කමක් තියෙනවානම් අයිතිකාර මහත්වරුන්ටම දෙන්න, රජයට පවරා ගත්තාම තමයි මේ අකරතැබ්බ සිදුවුණේ.

පසුගියදා අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා මේ පුදබිමට පැමිණියා. චෛත්‍යවල තීන්ත ආලේප කිරීම, සලපතළ මළුව, දාන ශාලාව ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙන අතර ඒ සඳහා ඔබතුමාගේ අවධානයත් යොමු වෙතැයි බලාපොරොත්තු වෙනවා.

සියලු ආගම්වල අය මේ පුදබිමට පැමිණෙනවා. පොසොන් පොහොයටත් එනවා. ඒ අය හැමදාමත් මේ පඩිපෙළේ නගිනවා. පඩිපෙළ කවදාවත් අහන්නෑ ඔබ හින්දුද? ඔබ දෙමළද? ඔබ ඉස්ලාම්ද? කියලා. අපි දීර්ඝ කාලයක් සැම දෙනාත් එක්කම එකට හිටපු ජාතියක්. ඉරිදා දිනවල උදේ වරුවේ අතිරේක පන්ති තහනම්කර දහම් පාසල් අධ්‍යාපනයට දරුවන් යොමුකර යුතුව තිබෙනවා. සම්බුද්ධ ශාසනය පිහිටවූ දවසේ රජය ම් පිළිබඳව අවධානය යොමුකරනවා නම් බොහොම වටිනවා. දහම් පාසල් ගුරුවරුන්ට වැටුප් දෙනවා. ළමයින්ට නිල ඇඳුම් දෙනවා.

ජනාධිපතිතුමත්, ඔබතුමත් එකම මාර්ගයේ යා යුතුයි. දෙපැත්තක ගියොත් රට සංවර්ධනය කරගන්න අමාරුයි. නොගැළපීම් එක්කරන්න බැහැ. රේල් පීලි දෙක කවදාවත් එකතුවෙන්නේ නෑ. එනිසා සියලු දෙනාගේම ශක්තිය ඇතිව මේ රට සංවර්ධනය කරා ගෙන යා යුතුව තිබෙනවා.

මේ ආලෝකයෙන් අපේ රට ආලෝකමත්ව සෞභාග්‍යමත් දේශයක් බවට පත්වේවායි කියා ප්‍රාර්ථනා කරන බවද උන්වහන්සේ සඳහන් කළහ.

ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරි අභය අමරදාස මහතා 1963 වර්ෂයේ එවකට ලේක්හවුස් ආයතනයේ සභාපතිව සිටි රංජිත් විජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මෙම ආලෝක පූජාව ආරම්භ කළා. එතුමන්ගේ පියා ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන මහතායි. මිහින්තලේ ආශි‍්‍රත ලාංකීය උරුමය ලොවට කියා පාන්නට ඔවුන් ගත් උත්සාහය මල්පල ගැන්වෙන්නේ 1963 .

එතැන් පටන් පොසොන් උදාවත් සමඟ පොසොන් ආලෝක පූජාව සිදු කරනවා. මෙවර පනස් හත් වන වරටත් උත්කර්ෂවත් අයුරින් සිදුකරනු ලබනවා. අවුරුදු පනස් හතක් තිස්සේ මේ පුණ්‍ය ක්‍රියාව සිදුකරනවා. මේ සඳහා ලංකා විදුලි බලමණ්ඩලය සමඅනුග්‍රහය ලබා දෙනවා. මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාගේ උපදෙස් මත සිදු කරනු ලබනවා.

ඒ අනුව ආලෝක පූජා පුණ්‍ය උත්සවයේ දෙවන දින පුද බිම ආලෝකමත් කිරීම සඳහා පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. උතුම් මිහින්තලා පුද බිම ආලෝකමත් කරමින් මිනිසුන්ගේ සිත්සතන් පුබුදුවාලමින් එමගින් මුළු රටම ආලෝකමත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයිද හෙතෙම පැවසී ය.

මෙම ආලෝක පූජාමය පින්කම සඳහා සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය මගිනි. මේ සඳහා ඩයලොග් සමාගම, සිලෝන් බිස්කට් සමාගම, ශී‍්‍ර ලංකා රක්ෂණ සමාගම, ඩී.එෆ්.සී. සී. බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සැදැහැති දායකත්වය ලබාදී තිබුණි.

එම අවස්ථාවට මහා සංඝරත්නය, විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවි කරුණානායක, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන , කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන්, කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර , මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.එම්.ලාල් සෙනවිරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු මහජන නියෝජිතයෝද, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක, ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා, ලංකා විදුලි බල මණ්ඩලයේ උතුරුමැද පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ෂර්ලි කුමාර මහතා ඇතුළු නිලධාරිහු හා ඩයලොග් ආසියාටා සමූහයේ ප්‍රධාන අලෙවි නිලධාරිනි අලී නානායක්කාර මහත්මිය, ලේක්හවුස් සාමාන්‍යාධිකාරි අභය අමරදාස මහතා ඇතුළු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් වන සුභාෂ් කරුණාරත්න, ලාල් පෙරේරා, විරාජිත් බොයිස්, සුමිත් කොතලාවල, වරුණ මල්ලවාරච්චි, රසන්ත චන්ද්‍රතිලක යන මහත්වරු ද ජ්‍යෙෂ්්‍යඨ කළමණාකාර චන්ද්‍රලාල් සූරියආරච්චි මහතාද, බුදුසරණ උපදේශක කර්තෘ බෞද්ධ පත්‍රකලා විශාරද සීසර් සුදුසිංහ, බුදුසරණ කර්තෘ රමණි සුබසිංහ මහත්මිය ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජුනි 25 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.12 ට ලබයි. 26 වන දා බදාදා පූර්ව භාග 04.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 25 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය ජූලි 02 වන දා අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09

Full Moonපසෙලාස්වක

ජූලි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]