[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අටවස් සපුරන බෞද්ධයා ගුවන් විදුලිය

අටවස් සපුරන බෞද්ධයා ගුවන් විදුලිය

වසර දෙදහස් පන්සියයක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන මේ පුණ්‍යවන්ත දේශයේ ගුවන්විදුලි මාධ්‍ය සංස්කෘතිය නවමු මානයකට යොමු කරමින් පරම ගම්භීර අමා දම් නද ගුවන් තරංග ඔස්සේ සැදැහැති දනන්ගේ සවන්පත් සිසාරා හදමඬල සුවපත් කරන්නට, නිර්වාණ මාර්ගයේ රුවන් දොරටු විවර කරනු වස් පරම පවිත්‍ර චේතනා පෙරටුව කොළඹ 07 ශ්‍රී සම්බෝධි මහා විහාරාධීශ්වර, ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ, බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර, ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම ශ්‍රී කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ අපවත් වී වදාළ ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක ව වැඩවිසූ අතිපූජනීය සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහා නායක ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් වෙසක් මස 15 වන පුණ්‍යවන්ත දිනයේ දී කොළොම්පුර ශ්‍රී සම්බෝධි මහා විහාරයේ සිට මංගල ගුවන් තරංග පින්වත් ආර්යශ්‍රාවක මහා සංඝරත්නයේ සෙත් පිරිත් ආශිර්වාද මධ්‍යයෙහි ගුවන් ගැබට මුදා හරින්නට යෙදුණි.

ආරම්භක අවදියේ දී ශ්‍රී ලංකාද්වීපයේ ම ධර්මයේ හඬ සූවිසි පැය මුළුල්ලේ ම සන්නිවේදනය කරන ප්‍රථම බෞද්ධ මාධ්‍ය ආයතනය ලෙස එෆ්.එම්. 101.3 න් හා එෆ්.එම් 101.5 න් බෞද්ධයා රූපවාහිනියට සමගාමීව වැඩසටහන් ප්‍රචාරය කෙරුණු මුත් 2011 අගෝස්තු මස පළමුවන දින උදෑසන 9.00 ට යෙදුන විකාශන කාලය තුළ දී විචිත්‍ර ධර්ම දේශක හා පිටිගම විජිත හිමියන්ගේ වැඩමවීමෙන් හා ගුවන්විදුලියේ ප්‍රථම නිවේදක චමිල් මදුසංක මහතාගේ මෙහෙයවීමෙන් බෞද්ධයා ගුවන්විදුලි මැදිරියේ පටිගත කළ ප්‍රථම ධර්ම දේශනාව ලෙස ගුවනට මුසු විය. එසේ ඇරඹි මේ සද්ක්‍රියාව වත්මනෙහි දිනකට නව ධර්ම දේශනා දොළොසක් පමණ ගුවනට මුසු කරන්නට සමත්ව ඇත. කොළඹ ශ්‍රී සම්බෝධි මහා විහාරය කේන්ද්‍ර කොටගනිමින් සිරිලක පුරා විහිදුනු ශාඛා ජාලය බෞද්ධයා ගුවන්විදුලියෙහි අතිසාර්ථක ගමන් මග ශක්තිමත් කරන්නට මහත් රුකුලක් වන්නේ ය.

එහි ලා සිරි දළදා පහස ලත් සෙංකඩගල පුර අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරස්ථානයේ පිහිටුවා තිබෙන මහනුවර ශාඛාව, සියනෑ පුරයෙහි නාරංවල ගුණරත්න සම්බෝධි සෙවනෙහි පිහිටා තිබෙන ගම්පහ ශාඛාව, දක්ෂිණ ලංකාවේ වෙහෙරහේන පූර්වාරාම රාජමහා විහාරස්ථානයේ පිහිටා තිබෙන මාතර ශාඛාව, හස්තිශෛලපුර ඇත්කඳ රාජමහා විහාරස්ථානයේ පිහිටා තිබෙන කුරුණෑගල ශාඛාව, මහ බෝ මහ සෑ සුපිහිටි පින්බර රජරට ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ පිහිටා තිබෙන අනුරාධපුර ශාඛාව වගේම සම්බුදු වාම ශ්‍රී පා පියුම් පහස ලත් රුවන්පුර උඩකරවිට ශ්‍රී ඉසිපතනාරාම මහා විහාරස්ථානයේ පිහිටා තිබෙන රත්නපුර ශාඛාව, සුවහස් දනන්ගේ නොමද වන්දනාවට පාත්‍ර වූ ඓතිහාසික කළුතර බෝසමිඳුන් පිහිටි පුරවරයේ ඇති කළුතර ශාඛාව හා අලුතින්ම එක්වුණු දකුණු සිරිලක කිරිවෙහෙර සමිඳුන්ගේ සිසිලස ලබන හොඳහිත සිතිවිලි මන්දිරයේ පිහිටි අපගේ තිස්සමහාරාම ශාඛාවත් ගෞරවයෙන් සිහිපත් කරමි.

එසේම බාහිර පටිගත කිරීම් හා පොහෝ දින සජීවී විකාශයන් තුළින් ග්‍රාමීය ජනතාව වෙත අපගේ සේවාව තව තවත් සමීප කරන්නට සමත් වී තිබේ. මෙය බෞද්ධයා ගුවන් විදුලිය ලද මහා ජයග්‍රහණයක් බව එම අවස්ථාවල දී අප සමඟ අදහස් දක්වන සැදැහැවත්හු ප්‍රකාශ කරති.

වර්තමානයේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති මෙන්ම බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ බොරලන්දේ වජිරඤාණ ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හා පරිපාලන මණ්ඩලයේ පිරිසගේ මග පෙන්වීමෙන්, අධ්‍යක්ෂ ජනරාල් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර පරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂ මහේෂ් ද අල්විස් ගුවන්විදුලි ප්‍රධාන උපදේශක කේ.එම්. ආරියසිරි, වැඩසටහන් අධ්‍යක්ෂ කල්‍යාණ අලවත්තේගම, බෞද්ධයා ගුවන්විදුලි නියෝජ්‍ය අධ්‍යක්ෂ චමිල් මදුසංක මහත්වරු ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලයේ මෙහෙයවීමෙන් යසිත් වික්‍රමරත්න, කසුන් සමීර, අචින්ත සමරකෝන්, දමිත් මදුසංක, දිනේෂ්් ගුණරත්න, චතුර කනිෂ්ක, මංජුල දිසානායක, කවිඳු අකලංක, සිතාරා ගීතාංජලී, සඳුනිකා මදුශාන්ති, සදීප නෙත්සර, ඉෂාර ගයාන්, සිසිල් ජිනදාස, තුෂාර අබේසේකර, චින්තක පතිරණ, සංජය මදුසංක, අමිල නිශාන්ත, නදීකා පි‍්‍රයංගනී, තරිඳු වනසිංහ, අසිත නාමල්, උමේෂ් අංජන, නාමල් අංජන, නවිඳු මාධව, නීල් වර්ෂහැන්නැදිගේ හා සාලිය මහතා යන කල්‍යාණමිත්‍ර සහෝදරයන්ගේ කැපවීම නිසා බෞද්ධයා ගුවන්විදුලිය ශ්‍රී ලාංකික ජනතාවගේ ධර්ම සන්නිවේදනයේ පරමාදර්ශී හඬ ලෙසින් ජනාදරයට පත්වෙමින් අපමණ ගෞරවාදරයට පත්ව තිබේ.

අති සාර්ථකව අට වසරක් පුරාවට බෞද්ධයා ගුවන්විදුලිය තුළින් උතුම් වූ නිර්මල බුද්ධ භාෂිතය ම දේශනා කළ කල්‍යාණමිත්‍ර මහා සංඝරත්නය ඉතාමත් ගෞරව නමස්කාර පූර්වකව සිහිපත් කරනවා, ඒ වාගේම මේ සාර්ථක ගමන උදෙසා උපකාර කළ, වචනයකින් හෝ අප ව දිරිමත් කළ පින්වත් පිරිසත් අප මේ මොහොතේ ගෞරව පූර්වකව සිහිපත් කරනවා. පින්වත් ඔබ සැමගේ දායකත්වය අපගේ ගමන් මග ශක්තිමත් කළ බවත්, දානයන් අතර උතුම්ම දානය වන ධර්ම දානය ලොවට බෙදාදීමට මහෝපකාරී වූ බවත් නොරහසකි.

වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය මැයි මස 11 වනදා සෙනසුරාදා අපරභාග 07.44 ට ලබයි
12 වන දා ඉරිදා අපරභාග 05.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 12 වන දා ඉරිදාය.

වෙසක් පසළොස්වක පෝය මැයි මස 18 වන දා සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]