[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හැත්තෑ පස්වන වියට පා තබන දෙල්ලව ජිනරතන නා හිමි

හැත්තෑ පස්වන වියට පා තබන දෙල්ලව ජිනරතන නා හිමි

ගාල්ල නෙලුව දෙල්ලව ශ්‍රී නාථාරාමය, පරදූව ශ්‍රී වර්ධනාරාමය දේවාලේගම ශී‍්‍ර සුගත විහාරය සහ පොල්ගම්පල ධර්මරාජ විහාරය යන විහාරස්ථානයන් හි ආධිපත්‍යය උසුලන දෙල්ලව ශී‍්‍ර විද්‍යාවර්ධන පරිවේණාධ්‍යක්ෂ, මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ විධායක කාරකසභික , ශාස්ත්‍රවේදී, ප්‍රවීණාචාර්ය දෙල්ලව ශ්‍රී ජිනරතනාභිධාන ගාලු මාතර දෙදිසාවේ උප ප්‍රධාන සංඝ නායන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලක්දිව ථෙරවාදී භික්ෂු පරපුරේ උදාර ගුණයන් මේ යැයි ජීවමානව ප්‍රකට කරමින් වැඩසිටින අපිස් සතොස් ගුණයෙන් පිරිපුන් ශික්ෂාකාමී මහා යතිවරයන් වහන්සේ නමකි.

ගාලු දිසාවේ නෙලුව දෙල්ලව නමැති සැදැහැවත් සොඳුරු මිනිසුන් වසන සුන්දර පෞරාණික ගම් පියසක් වෙයි. එහි විසූ සත් ගුණවත් දොන් හෙන්ද්‍රික් අබේතුංග මහෝපාසක මහතාණන් ගේ හා හබරකඩ ලියනගේ නැන්සිනා ගුණවර්ධන මහෝපාසිකා මාතාවගේ පුත්‍ර රත්නයක් ලෙස 1944 මැයි මස 15 වැනිදා දෙල්ලව ශ්‍රී ජිනරතන නාහිමියෝ ජන්මලාභය ලැබූ හ. ගිහි කල ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ තවලම රජයේ මිශ්‍ර පාඨශාලාවෙන් සහ දෙල්ලව රජයේ මිශ්‍ර පාඨශාලාවෙනි.

1956 ඔක්තෝබර් 08 වැනිදා ප්‍රව්‍රජ්‍යාභාවයට පත් ජිනරතන හිමියන්ගේ ප්‍රව්‍රජ්‍යාචාර්යවරයන් වහන්සේලා වූයේ ඇල්ගිරියේ විපුලසාර, දෙල්ලව පුඤ්ඤානන්ද යන මාහිමිවරු ය. පැවිදිවීමෙන් පසු මොරවක ශ්‍රී සිද්ධාර්ථ, ගොඩපිටියේ ජේතවන යන පිරිවෙන් වෙතින් ධර්මවිනය, භාෂා ශාස්ත්‍රය මැනවින් හදාළ ජිනරතන නාහිමි උසස් පාරිවේණික අධ්‍යාපනය ලැබුවේ ඌරාපොළ සිරි රතනජෝති මහ පිරිවෙණෙනි. 1966 ජුනි මස 24 වැනි දින මහනුවර මල්වතු මහා විහාරීය උපෝසථාගාරයේ දී අධිසීල සංඛ්‍යාත උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභය ලැබූ අතර එහි දී ජිනරතන හිමියන්ගේ ආචාර්යයන් වහන්සේලා වූයේ දෙල්ලව සිරි පුඤ්ඤානන්ද, වැලිහේනේ ඉන්දසාර යන මාහිමිවරු ය.

ඉක්බිතිව 1969 -1970 යන වර්ෂයන් හි රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් දෑ අවුරුදු ගුරු පුහුණුව ලැබූ උන් වහන්සේ පේරාදෙණිය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ බාහිර ශිෂ්‍යයෙකු ලෙස ශාස්ත්‍රවේදී උපාධිය ලැබූ හ. 1968 දී අකුරැස්ස ගොඩපිටිය ජේතවන පිරිවෙණේ කෘත්‍යාධිකාරි ලෙස පත් වූ ජිනරතන හිමියෝ එම වසරේ ම එහිම පරිවේණාචාර්යවරයෙකු ලෙස ද ගුරු සේවාවට පිවිසිය හ. 1971 දී තත් පිරිවෙණේ ම පරිවේණාධිපති ධුරයට පත් වූ අතර 1978 දී අකුරුස්ස මාරඹ විද්‍යා ශ්‍රී පිරිවෙණේ පරිවේණාධිපති ධුරයට ද, 1982 දී මොරවක ශ්‍රී විජය පිරිවෙණේ පරිවේණාධිපති ධුරයට ද 1995 දී දෙල්ලව ශ්‍රී විද්‍යාවර්ධන පිරිවෙණේ පරිවේණාධිපති ලෙස ද අප රටේ සාම්ප්‍රදායික පාරිවේණික අධ්‍යාපන ක්ෂේත්‍රයට උන් වහන්සේ ගෙන් සිදු වූයේ අද්විතීය සේවාවකි.

දෙල්ලව ශ්‍රී නාථාරාමය, පරදූව ශ්‍රී වර්ධනාරාමය, දේවාලේගම ශ්‍රී සුගත විහාරය සහ පොල්ගම්පල ධර්මරාජ විහාරය යන විහාරස්ථානයන් හි විහාරාධිපති ලෙස එදා මෙදා තුර ජිනරතන නාහිමි සිදු කරන සේවාව මෙහිදී වෙසෙසින් ඇගයිය යුතු ය. බටුවන්ගල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ලෙස ද, බටුවන්ගල සමථ මූල මණ්ඩලයේ සභාපති ලෙස ද, නෙලුව ප්‍රාදේශීය විහාරාධිපති සංගමයේ සභාපති ලෙස ද උන් වහන්සේ සිදු කළ සේවාවන් ද වඩාත් කැපී පෙනෙයි. එසේම දෙල්ලව ශ්‍රී නාථාරාම විහාරස්ථානය කේන්ද්‍රකරගෙන 1983 දී සිරි පුඤ්ඤානන්ද නමින් දහම් පාසලක් ආරම්භ කිරීමත්, 1987 දී එහිම ශ්‍රී විද්‍යාවර්ධන පිරිවෙන ආරම්භ කිරීමත්, අභිනවයෙන් දේවාලේගම ශී‍්‍ර සුගත විහාරය සහ පොල්ගම්පල ධර්මරාජ විහාරය ආරම්භ කර ඒවායෙහි සුචරිතෝදය සහ සිරි ජිනරතන යන නම්වලින් යුත් දහම් පාසල් ආරම්භ කිරීමත් උන් වහන්සේගේ නිහඬ සේවාවන් ගේ තවත් මාහැඟි ප්‍රතිඵල යි.

භික්ෂුන් වහන්සේ නමක් සතුව පැවතිය යුතුම නිහතමානී චාම් පැවැත්ම, කාරුණිකභාවය, බහුශ්‍රැතභාවය, ඉවසීම හා දූරදර්ශී නුවණ, අත්තුක්කංසන පරවම්භනයෙන් තොරවීම ජිනරතන නාහිමියන් ගේ උදාර චරිතය පුරාවටම අපට දැකගත හැකි ශ්‍රේෂ්ඨ ගුණාංගයෝ ය.

2001 දී හිනිදුම් පත්තුව ඇතුළු මාතර පළාතේ උපප්‍රධාන සංඝනායක පදවියටත්, 2009 දී ගාලු මාතර දෙදිසාවේ උපප්‍රධාන සංඝනායක පදවියටත් පත් කළ උන් වහන්සේ ඉකුත් 2018 වසරේ උපාධ්‍යාය පදවියට පවා නම් කිරීමට ශ්‍රී රෝහණ මහා සංඝ සභාව තීරණය කළේ උන් වහන්සේ ගේ සේවාවන් වෙනුවෙන් ඉහළම ප්‍රසාදයක් පළ කිරීමක් ලෙස යි.

ස්වකීය භාරදුර ශාසනික වගකීම් ඉදිරියට පවත්වාගෙන යාමට සමත්, දැන උගත් ශික්ෂාකාමී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් සසුනට දායාද කිරිම ද ජිනරතන නාහිමි සිදු කළ තවත් උදාර ශාසනික සේවාවකි. මෙම ශිෂ්‍ය පිරිස අතර ශ්‍රී රෝහණ පාර්ශ්වීය තරුණ භික්ෂු සංවිධානයේ ලේඛකාධිකාරි, නෙලුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි, ගාලු දිස්ත්‍රික් පිරිවෙන් සම්බන්ධීකරණ නිලධාරි, ශාස්ත්‍රපති දෙල්ලව ධම්මරතන හිමි, ශාස්ත්‍රවේදි දෙල්ලව පුඤ්ඤරතන හිමි, රාජකීය පණ්ඩිත දර්ශනපති බෙංගමුවේ ඉන්දරතන හිමි, ගෞරව ශාස්ත්‍රවේදි දෙල්ලව චන්දරතන හිමි, ශාස්ත්‍රවේදී රන්සෑගොඩ ඤාණරතන හිමි, උපාධි අපේක්ෂක මාවරලේ පියනන්ද හිමි ඇතුලු විසිනමක් භික්ෂූන් වහන්සේ වෙති.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය හා රුහුණු සේවය මගින් ධර්ම දේශනා පවත්වා ඇති උන්වහන්සේ බුදුසරණ ආදී පුවත්පත්වලට හරවත් ධර්ම ශාස්ත්‍රීය ලිපි රැසක් ද සපයා තිබේ. දෙල්ලව ශ්‍රී ජිනරතන නාහිමියන්ට ශතවර්ෂාධික කාලයක් නිදුක්ව, නීරෝගීව ලෝක ශාසනික සේවාවන් හි නිරතවීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත්. සියලු සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ රැකවරණයත්, නොමදව ලැබේවායි උපතින් 75 වැනි වියට සැපත් වන මෙම අනුස්මරණීය අවස්ථාවේ දී ඉමහත් බැති සිතින් ප්‍රාර්ථනා කර සිටිමි.


සම්බුදු සසුන වෙනුවෙන් කළ මෙහෙවර පැසසුම් කටයුතු යි

ව්‍යක්ත විනීත විශාරද ධර්මානුධර්ම ප්‍රතිපත්තිවලින් පිරුණු භික්ෂුව නිසා ශ්‍රී සම්බුද්ධ ශාසනය විරාජමාන වේ. එවන් සංඝ සෝභන ගුණවලින් සමලංකෘත වූ පරදූව ශි‍්‍ර වර්ධනාරාමය දෙල්ලව ශී‍්‍ර නාථාරාමය, දේවාලේගම සුගතවිහාරය, පොල්ගම්පොල ධර්මරාජවිහාරය යන විහාරයන්හි අධිපති කීර්ති ශී‍්‍ර ධර්මරක්ෂිත සද්ධර්ම විශාරද දෙල්ලව ජිනරතනාභිධාන ගාලු මාතර දෙදිසාවේ උප ප්‍රධාන සංඝ නායක ස්ථවිරයන් වහන්සේගේ ජන්ම දිනයෙන් පන් සැත්තෑ වියක් සපිරීම නිමිත්තෙන් ආශිර්වාද පළකරන්නේ හද පිරි සතුටිනි.

එක්දහස් නවසිය හතළිස් හතර වසරේ මැයි 15 වන දින මෙලොව ජන්ම ලාභය ලත් නායක ස්ථවිරයන් වහන්සේ පුරාකෘත පුණ්‍ය බල මහිමිය හේතු කොටගෙන දෙල්ලව ශ්‍රී නාථාරාමාධිපතිව වැඩවිසූ දෙල්ලව පුඤ්ඤානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හා ගොඩපිටිය රාජමහා විහාරාධිපතිව වැඩ විසු වැලිහේනේ ඉන්දසර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යවරයෙකු ලෙස ප්‍රවෘජ්ජා භුමියට පත්වූහ. භික්ෂුවක් විසින් උගතයුතු බණ දහම් මනාකොට ඉගෙන පාරිවේණික අධ්‍යාපනය ද මනාකොට ග්‍රහණය කර ගනිමින් රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් පරිවේණාචාර්ය පුහුණුව ලැබුහ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි උපාධිය ලබාගෙන දැන උගත් තරුණ භික්ෂුවක් ලෙස අධ්‍යාපනික සේවාවට අවතීර්ණ වෙමින් පිරිවෙන් කීපයකම පරිවේණාධිපතිධුරය දරමින් සුවිශාල සේවයක් සිදුකළහ. විශ්‍රාම සුවයෙන් කටයුතු කළත්, උන්වහන්සේ භික්ෂුවගේ කාර්යභාරය මැනවින් අවබෝධකරගෙන සිය යුතුකම් මැනවින් ඉටුකරමින් නෙළුව සමථමූල මණ්ඩලයේ සභාපති ධුරය හා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ද සභාපති ධුරය දරමින් කළ සේවයත් ගා/ශ්‍රී විද්‍යාවර්ධන පිරිවෙණ ආරම්භකොට ක්‍රියා කිරීම පැසසුම් ක්‍රියාවකි.

ශ්‍රී රෝහණ මහා සංඝ සභාව ආරම්භ කළ දා සිට ක්‍රියාකාරීව කටයුතු කරමින් ශ්‍රී රෝහණ සංඝ සභාවේ දියුණුව වෙනුවෙන් ඉදිරිපත්ව දැක්වු දායකත්වය අපමණ ය. එබැවින් අප සංඝ සභාව විසින් උන්වහන්සේ ඍජුව ම දායක කර ගිනිමින් අවස්ථා කීපයක දී ම තනතුරු සම්මාන වලින් සම්මානිත කරන ලදී. අප ස්ථවිරයන් වහන්සේ සංඝ සභාවට අවනතව ක්‍රියාකරන සංඝ විනය කර්මවලට පිරිමහින නොමද සහායක් ලබා දෙන පි‍්‍රයශීලි නිහතමානි භික්ෂුවක් ලෙස ක්‍රියාකිරීම මම වඩාත්ම අගය කරමි.

භික්ෂුවක් ලෙස ක්‍රියාකිරීමේ දී වඩාත්ම වටිනාකාර්ය වනුයේ තවත් සිසු පිරිසක් තමන් වහන්සේ කළ සේවාව ඉදිරියට කරගෙන යෑමට සසුනට දායාද කිරීමයි. එය ඉතා විශිෂ්ට අයුරින් ඉටුකළ උන් වහන්සේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා රාශියකගේ ගුරුවරයා වෙයි. ඒ අතුරින් පිරිවෙන් සම්බන්ධිකරණ නිලධාරි රෝහණ මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය ශාස්ත්‍රපති දෙල්ලව ධම්මරතන හිමියන් මා හොඳීන් දන්නා දක්ෂ තරුණ භික්ෂුවකි.

සම්බුද්ධ ශාසනය වෙනුවෙන් උදාර මෙහෙවරක් කරමින් දිවිමගේ හැත්තෑපස්විය සපුරන දෙල්ලව ජිනරතනාභිධාන ගාලු මාතර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක ස්ථවිරයන්ට තෙරුවන් සරණින් නිදුක් නීරෝගි සුව ලැබේවායි පතම්හ.

වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය මැයි මස 11 වනදා සෙනසුරාදා අපරභාග 07.44 ට ලබයි
12 වන දා ඉරිදා අපරභාග 05.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 12 වන දා ඉරිදාය.

වෙසක් පසළොස්වක පෝය මැයි මස 18 වන දා සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]