Print this Article


අසමසම ගුණ මහිම: පාදතල චක්‍ර ලාංඡන

පාදතල චක්‍ර ලාංඡන

බක් අමාවක පෝදා මැයි 04 වනදා පත්‍රය හා සම්බන්ධයි

බෝධිසත්වයන් වහන්සේ සසරේ මෙම පුණ්‍ය කර්ම කියූ ප්‍රමාණයෙන් සිදුකර පිරිනිවන් පා අන්තිම ආත්මභාවයේ දී සුගතියේ උප්පත්තිය ලබනවා. ඒ සුගතියේ උප්පත්තියෙන් පසු නැවත මනුෂ්‍ය ලෝකයේ උප්පත්තිය ලබනවා. මනුෂ්‍ය ලෝකයේ උප්පත්තිය ලද පසු මේ සඳහන් කරන මහා පුරුෂ ලක්ෂණය ලබනවා. “උබ්බේග භය” උත්ත්‍රාස භය නැතිකර මනුෂ්‍යයන් සංවිධානය කර මනුෂ්‍යයන්ට දස දාන වස්තුවෙන් ම සංග්‍රහ කිරීමේ පුණ්‍යකර්මය සිදු කළ කෙනෙකු ලබන මේ මහා පුරුෂ ලක්ෂණය ලබනවා. ඒ පාද තලයෙහි යට චක්‍ර ලාංඡනයක් පහළ වීමයි.

මේ චක්‍ර ලාංඡනයේ අර දාහක් පිහිටනවා. කෙසේ ද යත් ධර්ම චක්‍රයේ පවතින්නේ අර තිස්හතයි. පාදතල චක්‍ර ලාංඡනයේ අර දාහකි. සසරේ සිදු කළ යුතු ප්‍රමාණයෙන් පුණ්‍යකර්ම සිදු කළ අයෙකුට මේ පාදතල චක්‍ර ලාංඡන ලක්ෂණය ලැබෙනවා. මේ ලක්ෂණය ලැබූ පුද්ගලයා ගිහි ගෙදරක වාසය කරනවා නම් සක්විති රජකම ලබනවා. මේ සක්විති රජුට, බ්‍රාහ්මණ, සිටුවරු, ශ්‍රමණ ආදී වශයෙන් පිරිවර ලබනවා. ඒ වගේ ම ජනපද වැසියන්, අමාත්‍යවරු, පෞද්ගලික ආරක්ෂකයෝ, නගර ආරක්ෂා කරන එනම් සතර දොරවල් ආරක්ෂා කරන හමුදාව, උප රජවරු, රජුට අයත් ඒ ඒ ප්‍රදේශයන්වලට පාලන පුද්ගලයන්, අනාගතයේ රජවීමට සිටිනා රාජකුමාරවරු ආදී වශයෙන් විශාල පිරිවරක් ලැබීම මේ ලක්ෂණය ලැබූ තැනැත්තාට ලැබෙන ආනිසංස යි.

මේ පාදතල චක්‍ර ලාංඡනය ලැබූ කෙනා ගිහි ගෙදරක වාසය නොකර පැවිදි වූවොත් සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. සම්මා සම්බුද්ධත්වයට පත් වූ පසු ආනිසංස වශයෙන් මහා පිරිවරක් ලබනවා. සක්විති රජුට ලැබෙන්නේ මනුෂ්‍ය ලෝකයේ පිරිවර පමණයි. එහෙත් තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවතුන් වහන්සේට භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා වශයෙන් සිව්වනක් පිරිසක් ම ලබනවා. එපමණක් නොවේ දෙවියන් බ්‍රහ්මයන් ආදී වශයෙන් මහා පිරිසක් ලබනවා.

“පිරූ දම් පාරමී” නම් වූ බක් අමාවක පෝදා පත්‍රයේ පළවූ ලිපියෙහි පාලි පාඨයන් “කටත්තා, උපචිතත්තා, උස්සන්නත්තා, විපුලත්තා, සතපුඤ්ඤ වශයෙන් නිවැරැදි විය යුතුයි.