[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිතෙන් ලැබෙන අනුසස් බහුලයි

පිරිතෙන් ලැබෙන අනුසස් බහුලයි

පිරිත් දේශනාවකට පෙර පිරිත් දේශනාව හා එයින් ලැබෙන ශාන්තිය පිළිබඳ අවබෝධයක් ලබා ගන්නේ නම් පිරිත් දේශනා ශ්‍රවණය කිරීමෙන් උපරිම ආනිශංස ලබා ගැනීමට පුළුවන.

හාත්පසින් ම ආරක්ෂාවරණය ලබාදෙන දේශනාව පිරිත් දේශනාව නමින් හඳුන්වන්නට පුළුවන. උපන් සෑම සත්වයාට ම වාපිත් සෙම් කිපීමෙන්, මහාභූත පීඩනයෙන්, අව්වැසි සුළං ආදියෙන්, අපත්‍ය ආහාර පානවලින්, වසවිස ගිනි ආදියෙන්, සොරසතුරු උවදුරුවලින්, ග්‍රහ නක්ෂත්‍ර තාරකාදියෙන් ,ඇස්වහ. කටවහ, හෝවහ ,ශාපවලින් අපල උපද්‍රව කරදර කායික මානසික වධ වේදනා ඇතිවීම ස්වභාවික ය. එවන් කරදර විපත් දුරු කරගෙන , සැපසේ ජීවත්වීම සඳහා අප විවිධ ක්‍රමවේධ අනුගමනය කරගන යනවා.

සිත කය පිරිසුදුව තබා ගැනීම, පරිසරය සකස් කර ගැනීම, ආහාරපාන ව්‍යායාම ගැනීම, ඖෂධ ප්‍රතිකාර ගැනීම, ආගමික ශාන්ති කර්ම ආදි වශයෙනි.

ශාරීරික මානසික දුක්වේදනා තුරන් කර ගැනීමට ආගමික වශයෙන් විවිධාකාර ශාන්ති කර්ම, පුදපූජා යාගහෝම කළ වග මානව පරපුරේ ආගමික ඉතිහාසයෙන් දක්නට පුළුවන.

තම තමන්ගේ විශ්වාසය අනුව, දැනුම හා පාරම්පරික සිරිත් අනුව සකසාගත් ගස් , ගල්, පර්වත, ගුහාවල දේවායතන පිහිටුවා පුදපූජා, යාගහෝම ,බලිබිලි ස්ත්‍රෝත්‍ර ගායනා සිදු කළ අයුරු ද භාරත ශිෂ්ටාචාරයෙන් ප්‍රකට වේ.

අප බුදුරජාණන් වහන්සේ මිනිස් සමාජය තුළ පැවැති මිත්‍යා අදහස්වල සාවද්‍ය බව දක්වා කෙනෙකුට කරදරයක් ඇති විට එයින් මිදී මෙලොව පරලොව ශාන්තිය ඇති කර ගැනීමට තෙරුවන් සරණයාම මූලික කරගත් පිරිත් දේශනාවක් ශ්‍රවණය කරන ලෙසත්, එය සිදුකරන ආකාරයත් දේශනා කළ සේක.

සත් දිනකින් මියයන්නට සිටි දීඝායු කුමරුට. අප බුදුරදුන්ගේ උපදෙස් මත පිරිත් මණ්ඩපයක් කරවා ඒ මැද කුමරුන් හිඳුවා හත් දිනක් පිරිත් කරවා සත්වැනි දින බුදුරදුන් වැඩ දීඝායුකෝ හෝතු යනුවෙන් මහා කරුණාවෙන් දේශනා කළ පමණින් එක්විසි වසරකට දීර්ඝායුෂ වින්දනය කළ වග ධම්මපදට්ඨ කතාවේ දැක්වේ.

සිල්වත් ගුණවත් අයට වන්දනාමාන කිරීම, මව්පිය ගුරුවර වැඩිහිටියන්ට ගරු සරු දැක්වීම, ආචාර සමාචාර පැවැත්වීම, ඔවුන්ගේ ආශිර්වාද ගැනීම නීරෝගී සම්පත් ලබා ගැනීමට මහෝපකාරි වේ.

අභිවාදන සීලිස්ස
නිච්චංවජ්ඣාපචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඪන්ති
ආයුවණ්ණෝ සුඛං බලං

ඉතා පවිත්‍ර චේතනාවෙන් කරන ප්‍රාර්ථනය තරම් උතුම් පරිත්‍යාගයක්, ඥානයක් ලෝකයේ ඇත්තේම නැත. ලෝභ, ද්වේෂ, මෝහාදියෙන් තොරව කරුණා මෛත්‍රියෙන් කරන ප්‍රාර්ථනය ඒකාන්තයෙන් ම සඵල වන්නේ ය.

පිරිත් දේශනාවකින් අපේක්ෂා කරන පරමාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමේ දී ප්‍රධාන කාරණ තුනක් අවශ්‍ය වේ.

දේශකයන්ගේ කරුණා මෛත්‍රී විවෘත චිත්ත සන්තානය,

ශ්‍රවණය කරන අයගේ ශ්‍රද්ධාව, සම්මාදිට්ඨිය, අවධානය හා දේශනාවේ ගුණය යි.

පිරිත් බණ දේශනා කරන අයගේ චිත්ත වීථිවල ගමන් කරන්නේ සත්ව කරුණාව හා මෛත්‍රිය නිසා සියලු සත්වයන් කෙරෙහි උපරිම වශයෙන් සමස්ත විශ්වය තුළ අසීමිත විවෘත හදවතක් ඇති වේ. එක්තැනක සිට කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත චක්‍රවාට කරා විහිදවන චිත්තධාරා ශක්තිය පිරිත් බණ දේශනයන් තුළ පවතී. රූපකාය එක්තැනක පැවැතිය ද මානසික ශක්තිය සමස්ත විශ්වය කරා විහිදුවන විට මිනිසුන්, දෙවියන් , බඹුන්, යක්ෂ පේ‍්‍රත නේරයික අසුර ගාන්ධර්ව , තිරිසන් ආදී සියලු සතුන් කෙරෙහි පවත්නා විශ්වාසය තහවුරු වේ.

බුද්ධ ධර්මය අනුව මෙලොව කිසිම සතෙකු එකම සසරේ උපදින්නේ හෝ ජීවත්වන්නේ හෝ නැත. කුරා කූඹියාගේ පටන් විශාල සතුන් මිනිසුන් සසරදී නොයෙක් ජාතිවල ඥාති මිත්‍රාදීන් වශයෙන් ජීවත් වී ඇත. මතු පැවැත්ම ද එසේමැයි .එය දන්නා මිනිසාට සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යන අදහසින් තමාගෙන් අනුනට මනසට විවෘත කළ යුතුවන්නේ, එයට යෝග්‍යතම අවස්ථාව එළඹෙන්නේ පිරිත් දේශනා කරන විට ය.

සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා
නහනෙය්‍ය නඝාතයෙ

කම්මාවරණ, ක්ලේසාවරණ, දිට්ඨාවරණ වශයෙන් පිරිතෙන් ලබන ප්‍රයෝජන ලබා ගැනීමට බාධා කාරක කරුණු තුනකි. පෙර ආත්මයක හෝ මේ ආත්මයේ දී හෝ පංචානන්තරිය වැනි අකුසල කර ඇත්නම් පිරිත් දේශනාවෙන් ප්‍රතිඵල ලබා ගැනීමට දුෂ්කර වන්නේ ය. තණ්හා මානාදී වශයෙන් කෙලෙස්වලින් පීඩාවිඳින අයට ද පිරිත් දේශනාවෙන් අර්ථයක් වන්නේ නැත. බුද්ධාදී තෙරුවන් කෙරෙහි. කර්ම, කර්මඵල. සුගති. දුගති පිළිබඳ විශ්වාසයක් නොමැති අයටද පිරිත් දේශනා නිරර්ථක වන්නේ ය.

මෙසේ අපමණ ගුණ ඇති බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රයේ ගුණ දන්නා ශීලාදී ගුණයෙන් ප්‍රභාමත් ශ්‍රද්ධා, සති. සීල, සමාධි , ප්‍රඥා යන අධ්‍යාත්මික පංචමහා බලශක්තීන් ඇති උපාසක උපාසික ලොකු කුඩා සෑම දෙනාටම මෙම පිරිත්දේශනාව ශ්‍රවණය කිරීමේ ආනිශංස බලයෙන් මෙලොව ආයුරාරෝග්‍ය සම්පත් හා පරලොව සුගති සංඛ්‍යාත දේවමානුසිකා දී භව සම්පත් කෙළවර අජරාමර ශාන්ත සුන්දර අමා මහ නිවනින් සැනසීමට ලැබේවායි සාධු. සාධූ කියා ප්‍රාර්ථනා කරන්න.

පිරිත් දේශනාවේ අක්ෂරයක් , වචනයක්, ගාථාවක් සූත්‍රයක් පාසා ශ්‍රවණය කිරීමෙන් චිත්ත සන්තානය තුළ ජනිතවන කුසලධර්මයන් ඔබ නමින් මිය පරලොව ගිය ඥාතී මිත්‍රාදීහු අනුමෝදන් වෙත්වා. සසර දුකින් මිදී උතුම් අමා මහ නිවන් සුවයෙන් සැනසෙත්වා’යි සිතන්න.

තවද මෙම කුසලානිශංස ධර්මයන් සතරවරම් දෙවියෝ ද, ඉෂ්ටකාමී දෙවි දේවතාවෝ ද නවග්‍රහ මණ්ඩලයට අධිපති දෙවි දේවතාවෝ ද, අනුමෝදන් වෙත්වා, පුණ්‍යානුමෝදනාවෙන් අතිශය ප්‍රමෝදයට පත්වුනණා වූ එම දෙවියෝ ඔබ අප ආරක්ෂා කරත්වායි ප්‍රාර්ථනා කරන්න.

එසේම ලෝකයේ සියලු සත්වයෝ මේ පින් අනුමෝදන්වෙත්වා සුවපත්වෙත්වා නිවන් දකිත්වායි සිතන්න.

බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන් ද මෙම මහා පිරිත්දේශනාවේ බලයෙන් ද ඔබ සියලු දෙනාටම සියලු දුක් , බිය, රෝග දුරින්ම දුරු වේවා ග්‍රහ අපල අහෝසි වේවා මෙලොව වශයෙන් ආයුරාරෝග්‍ය සම්පත් හා පරලොව දේව මානුෂිකාදී සම්පත් කෙළවර ජාති ජරා මරණාදියෙන් තොර උතුම් අමාමහා නිවනින් සැනසීම ලැබේවායි ප්‍රාර්ථනා කරන්න.

බක් අවඅටවක පෝය

බක් අවඅටවක පෝය අප්‍රේල් 26 වන දා සිකුරාදා අපර භාග 02.40 ට ලබයි. 27 වන දා සෙනසුරාදා අපර භාග 05.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 26 වන දා සිකුරාදාය.

මීළඟ පෝය මැයි 04 වනදා සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]