[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුගති සැප ලබා දෙන ඡත්ත මානවක ගාථා

සුගති සැප ලබා දෙන ඡත්ත මානවක ගාථා

බුදුරජාණන් වහන්සේ විවිධ ස්වරයන්ගෙන් හා විවිධ උපමා උපමේය ක්‍රමයන් භාවිත කරමින් ධර්මය දේශනා කර ඇත. ධර්ම දේශනා ක්‍රම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ඒ බව පැහැදිලි වේ. විශේෂයෙන් ධර්ම දේශනා කිරීමේ දී ශ්‍රාවකයාට තේරුම් ගැනීමට පහසු වනු වස් විවිධ ක්‍රම උපයෝගී කරගෙන ඇත. ඒවා පුද්ගලානුරූපව හා ස්ථානුරූපව විවිධ අයුරින් දේශනා කොට ඇති බව පැහැදිලි වේ. එහිදී විශේෂ කරුණු හතරක් පිළිබඳ අවධානය යොමු කොට ඇත.

එනම්

ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් කරුණු පැහැදිලි කරදීම (පටිපුච්ඡා ව්‍යාකරණීය)

යම් ප්‍රකාශයකට ඍජුව ම පිළිතුරු දීම ( එකංස ව්‍යාකරණීය)

කොටස් වශයෙන් බෙදා විස්තර කරදීම (විභජ්ජ ව්‍යාකරණීය)

නොවැදගත් ප්‍රශ්න ඉවත් කරලීම (ඨපනීය) යනුවෙනි

මෙලෙස ධර්ම දේශනා කිරීමේදී මුල, මැද, අග යහපත් වීමත්, ව්‍යඤ්ජන සහිත වීමත්, හුදෙක් අංග සම්පූර්ණ වීමත් සිදු වනු ඇත. ඉහත මතක් කළ සුවිශේෂී කරුණු හතරට අමතරව තවත් කරුණු හතරක් පිළිබඳ සඳහන් වේ. එනම්

තමන් වහන්සේගේ අදහස අනුව (අත්තජ්ඣාසය)

අසා සිටින්නාගේ අදහස අනුව ( පරජ්ඣාසය )

අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් දේශනා කිරිම (පුච්ඡාවසික)

යම් කරුණක් අරමුණු කොට ගෙන දේශනා කිරීම (අට්ඨුප්පත්තික)

බුදුරජාණන් වහන්සේ ඉහත කරුණුවලට අනුව ඒ ඒ පුද්ගලයින් අරමුණු කොටගෙන ධර්මය දේශනා කොට ඇත. එම ධර්මය ගාථා හා කථා විලාශයෙන් උපමා උපමේය භාවිත කොට දේශනා කළහ. නමුදු සංගීත ස්වරයක් ධර්මය දේශනා කිරීමේ දී අනුගමනය කොට නැත.

එයට හේතුව සංගීතය යනු රාගය උත්සන්න කරන දෙයක් බැවිනි. එවිට සසරෙහි හා ජීවිතයෙහි පවතින යථා තත්ත්වය අවබෝධ කර ගැනීමට අපහසු වනු ඇත. සංගීතය තුළින් ඇති වන්නේ රාග සිතිවිලි ය. අද වුව ද, සංගීතයට බොහෝ දෙනෙක් ඇලුම් කරති. නමුදු යථාර්ථය දකින්නෝ ඉතා අල්ප ය.

“අනුජානාමි භික්ඛවෙ සරභඤ්ඤං” යනුවෙන් හඬ නගා ධර්මය ගායනා කිරීම අනුදත් බැවින් මධුර ස්වරයෙන් ධර්මය දේශනා කිරීමට බාධාවක් නැත. සරභඤ්ඤ ස්වරය නම් ගීත ස්වරයෙන් තොර වූ මාධූය¸ ස්වරය යි. එය අධ්‍යාත්මික තෘප්තියක් ඇති කරවන්නකි. සංගීත ශාස්ත්‍රයේ ස,රි,ග,ම,ප,ධ,නි යන සප්ත ස්වරය තුළින් රාගය ඉස්මතු වේ. නමුදු පිරිත් ආදී දේශනා තුළදී බොහෝ දුරට භාවිත කර ඇත්තේ ස,රි,ග,ම,ප, ස්වර පහ පමණි.

මේ අනුව සලකා බැලීමේ දී ධර්මය තුළ ඇත්තේ සරාගික ස්වරූපයක් නොව විරාගික ස්වරූපයකි. එය අහස පොළව සේ වෙනස් අයුරින් දේශිත ය. මුලු ධර්මස්කන්ධය ම පරිහරණය කිරීමෙන් සත්වයාට දැනෙන්නේ නිරාමිස පී‍්‍රතියකි. එය තම අධ්‍යාත්මය පෝෂණය කරමින් නිර්වාණය නම් වූ උතුම් සැපතට පමුණු වන මාවත ද වන්නේ ය. නමුදු බුදු හිමි දෙසූ දහම් අතර බු.නි. මහා රථ වග්ගයෙහි ඡත්තමානවක විමාන වත්ථු තුළ ඇතුළත් ඡත්ත මානවක ගාථා සංගීත ස්වරයෙන් දේශිත ය. එහි ඇත්තේ තුණුරුවන්ගේ ගුණ බැවින් ක්ෂණයකින් ඡත්ත නම් කුමරාට තුණුරුවන් ගුණ අවබෝධ කර ගැනීමට හැකි විය. එය ඔහුගේ පරලොව දිවිසැප ලැබීමට හේතු වූයේ ද, එම හේතුවෙනි. එහි නිධානය වන්නේ,

බුදුන් වහන්සේ සැවැත් නුවර වැඩ වසන සමයේ ඡත්ත නම් තරුණයෙකු විය. උක්කට්ඨා නුවර පොක්ඛරසාති නම් බමුණු පඬිවරයාගෙන් ශිල්ප ශාස්ත්‍රය හදාරා එය නිමාකොට තුටු පඬුරු වශයෙන් ගුරුවරයාට කහවණු දහසක් රැගෙන ඒමට තම නිවහනට ගොස් ඒවා පිළියෙළ කොට ගෙන එන අතර මඟ දී සොර මුලකට හසුවී ජීවිතක්ෂයට පත්වන අයුරු බුදු හිමි යෝ දිවැසින් දුටුවහ.

ඒ අනුව ඔහුට පිහිට වනු වස් බුදුරජාණන් වහන්සේ එම ගමන් මාර්ගයට වැඩම කොට ඔහු එන අතරමඟ ගසක් මුල වැඩ සිටියහ. සොරුන්ගෙන් මරණයට පත්වීමට පෙරාතුව ඔහුට තුණුරුවන් ගුණ ඇතුළත් ගාථා තුනක් උගන්වා වදාළහ. එම ගාථා හා එහි අර්ථය පරික්ෂා කර බැලීම තුළින් එහි ඇති සංගීතස්වරය තුළින් ශ්‍රද්ධා භක්තිය වඩවන තුණුරුවන්ගේ ගුණ මනාව පැහැදිලි වේ.

යො වදතං පවරො මනුජෙසු – සක්‍යමුනී භගවා කත කිච්චො
පාරගතො බල විරිය සමංගි – තං සුගතං සරණත්ථ මුපෙමි

ඒ ශාක්‍ය මුනි වූ භාග්‍යවතුන් වහන්සේ ලෝ සතුන් අතරෙහි ධර්මවාදීනට අග්‍ර වූ සේක. උන්වහන්සේ නිවන් සඳහා කළ යුතු සියල්ලම නිම කරවා වදාළ සේක. සසර සයුරෙහි පරතෙරටම පැමිණි සේක. කාය බලයෙන් , ඥාන බලයෙන් හා වීර්යෙන් යුක්ත වූ සේක. මම ඒ සුගතයන් වහන්සේ සරණ කොට යමි.

රාග විරාග මනෙජ මසෝකං – ධම්ම මසංඛත මප්පටිකූලං
මධුරමිමං පගුණං සුවිභත්තං – ධම්ම මිමං සරණත්ථ මුපෙමි

රාගය නැති කිරීම සඳහාත්, තෘෂ්ණාව ක්ෂය කිරීම සඳහාත්, ශෝක රහිත වීම සඳහාත් අසංඛත ධර්මය (නිර්වාණය) ලබා ගැනීම සඳහාත් ( සතර මඟ සතර ඵල හා නිර්වාණය යන නව ලොව්තුරා ධර්මය ලබා දෙන්නා වූ ) මිහිරි ලෙසත්, සියුම් ලෙසත් මනාව බෙදා දේශනා කරන ලද්දා වූ මේ උතුම් ධර්මය මම සරණ කොට යමි.

යත්ථ ච දින්නමහප්ඵල මාහූ – චතුසු සුචිසූ පුරිස යුගෙසු
අට්ඨ ච පුග්ගල ධම්ම දසා තෙ – සංඝමිමං සරණත්ථ මුපෙමි

යම් කෙනෙකුට දෙන ලද්දා වු දානය මහත් ඵල වන්නේ යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක් ද, මේ සාසනයෙහි එබඳු පිරිසුදු පුරුෂ පුද්ගලයෝ සතරෙක් වෙති. ධර්ම අවබෝධ කර ගන්නා වූ එකී අට වැදෑරුම් ආර්ය මහා සංඝ රත්නය මම සරණ කොට යමි.

ඉහතින් දක්වන ලද ඡත්ත මානවක ගාථා තුළ අන්තර්ගත වන්නේ බුද්ධ, ධම්ම හා සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ හා එය සරණ යාම පිළිබඳවයි. ඡත්ත මානවක කුමරාගේ මරණය වැළැක්විය නොහැකි වුව ද, ඔහුගේ ඊළඟ භවය යහපත් කර ගැනීම උදෙසා බුදු හිමි පිහිට වූහ. කර්ම ශක්තිය බුදු කෙනෙකුට වුව ද වැළැක්විය නොහැක.

මෙහි දී වැදගත් වන්නේ ඡත්ත මානවකගේ මරණය නොව ඔහුට දිව්‍ය සැප ලැබීමට අවශ්‍ය මාර්ගය බුදු හිමි තුණුරුවන් ගුණ ඇතුළත් කොට දේශනා කිරීමයි. එය කටපාඩම් කර ගත් ඡත්ත මානවක කුමරා තුණුරුවන් ගැන පැහැදීමෙන් ම මරණයට පත්වූ පසු භවය දෙව්සැප ලැබීම ය. මරණයට ආසන්න ඕනෑම කෙනෙකුට තුණුරුවන් මෙනෙහි කර ගැනීම ඉතා වැදගත් වනු ඇත. දවසක සිතිවිල්ලට භව භෝගාදී භෞතික සම්පත් ළං නොකරගෙන පින් සිතිවිල්ලක් ම ළං කර ගැනීම ඊළඟ භවය සාර්ථක වීමට මාර්ගය වන්නේ ය. 

බක් අවඅටවක පෝය

බක් අවඅටවක පෝය අප්‍රේල් 26 වන දා සිකුරාදා අපර භාග 02.40 ට ලබයි. 27 වන දා සෙනසුරාදා අපර භාග 05.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 26 වන දා සිකුරාදාය.

මීළඟ පෝය මැයි 04 වනදා සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]