[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

මඩවල පුණ්ණජි හිමි

මඩවල පුණ්ණජි ස්වාමින් වහන්සේ 2018 ජූලි 27 වෙනි ඇසළ පොහෝ දින වර්ෂ 89 ආයු වළඳා අපවත් වූ සේක.

උන්වහන්සේ 1968 දී අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන් වහන්සේ වෙතින් මහරගම සිරි වජිරඥාන භික්ෂු පුහුණු ධර්මායතනයේදී උතුම් පැවිදි බව ලබා ගත් සේක.

කොළඹ වෛද්‍ය පීඨයෙන් බටහිර වෛද්‍ය විද්‍යාව හදාරා වෛද්‍ය උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව පැවිදි දිවියට පත්වූ උන්වහන්සේ අනතුරුව වසර කිහිපයක් භාවනාව පුහුණු වීමෙහි නිරත වූහ. 1971 මඩිහේ පඤ්ඤාසීහ නා හිමියන් වහන්සේ අලුතින් ආරම්භ කරන ලද ඇමරිකාවේ වොෂිංටන් බෞද්ධ විහාරස්ථානයට ධර්මදූත මෙහෙවර පිණිස පුණ්ණජි හිමියන් වහන්සේ පිටත් කර යැවීය.

1977 දී පුණ්ණජි හිමියන් වහන්සේ ඇමරිකාවේ බොස්ටන් හි දී “ත්‍රිවිධ රත්න සංගමය” ආරම්භ කළ සේක. උන්වහන්සේ මනෝ විද්‍යාව, දර්ශන විද්‍යාව, මෝහනය හා අනෙකුත් විවිධ ආගම් පිළිබඳවද පුළුල් ලෙස අධ්‍යයනය කළහ. තවද බොස්ටන් හා හාවඩ් විශ්වවිද්‍යාල හා සම්බන්ධ වී මානසික විද්‍යාව හා මානසික ප්‍රතිකාර ක්‍රම පිළිබඳ පර්යේෂණ පැවැත්වූ සේක. මෙලෙස බුදු දහම විද්‍යාත්මක පසුබිමක් තුළින් මනස සුවපත් කරන ක්‍රමවේදයක් ලෙස හඳුන්වා දෙමින් ඉංගී‍්‍රසි භාෂාව හැසිරවීමේ විශිෂ්ට හැකියාවද උපයෝගී කරගනිමින් ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් හා භාවනායෝග පුහුණු කරමින් ඇමරිකානුවන් අතර බුදු දහම ප්‍රචලිත කළ සේක.

1981 කැනඩාවේ ටොරොන්ටෝ බෞද්ධ මහා විහාරයේද ඉන් අනතුරුව 1992 සිට කැනඩාවේ මිසිසාගා ප්‍රදේශයේ වෙස්ට් එන්ඩ් බෞද්ධ විහාරස්ථානය හා භාවනා මධ්‍යස්ථානය යන විහාරස්ථානවල වැඩ වාසය කරමින් ධර්ම දේශනා හා භාවනා යෝග පුහුණු කිරීම්වල නිරත වු සේක.

කැනඩාවේ එඩ්මන්ටන් හි බෞද්ධ විහාරස්ථානයේ වැඩ වාසය කළ සමයේදී 2001 “සම්බෝධි භාවනා” නම් ඉංගී‍්‍රසි ග්‍රන්ථය කැනඩාවේදී මුද්‍රණය කර ප්‍රකාශයට පත් කරන ලදී. උන් වහන්සේගේ අවසාන ඉංගී‍්‍රසි ග්‍රන්ථය වන “ඒඵජඥදඤඪදඨ බඩඥ ඵභනඥපදධපථචත ඡ්ඪඨඩබ ජ්ධතඤ එචර” ග්‍රන්ථය 2016 ශ්‍රී ලංකාවේදී ප්‍රකාශයට පත් කරන ලදී. මෙහි සිංහල අනුවාදය වන “අරියමග්ග භාවනා – භව නමැති සිහිනයෙන් අවදි වීම” උන්වහන්සේගේ උපදෙස් හා අනුශාසනා පරිදි සංක්ෂිප්තව සකස් කර 2017 ප්‍රකාශයට පත් කරන ලදී. එම සිංහල ග්‍රන්ථය 2019 දෙහිවල නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ප්‍රකාශයට පත්කර බෙදා හරිනු ලැබේ.

2007 මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ බෞද්ධ මහා විහාරස්ථානයේ අධිපතිව වැඩ විසූ කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නා හිමියන් වහන්සේගේ අපවත් වීමෙන් අනතුරුව එහි ධර්ම දේශනා හා භාවනා වැඩමුළු පැවැත්වීමට පුණ්ණජි හිමිපාණන් වහන්සේට ලැබුණු ආරාධනාව අනුව එහි වැඩ වාසය කළහ. එහිදී උන්වහන්සේ සුවිශේෂී ධර්ම දේශනා හා භාවනා වැඩමුළු පවත්වමින්ද ධර්ම දේශනා ඇතුළත් සංයුක්ත තැටි හා බෞද්ධ ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් නිකුත් කරමින් ද මැලෙසියාවේ පමණක් නොව ලොව පුරා නිර්මල බුදු දහම ප්‍රචලිත කිරීමට අපමණ වෙහෙසක් ගනිමින් සිය පැවිදි දිවිය කැප කළ සේක.

පුණ්ණජි හිමියන් අවස්ථාවක් ලද සැමවිටම ශ්‍රී ලංකාවටද වැඩම කර ශ්‍රී ලංකාවේදී ධර්ම දේශනාවන් පැවැත්වීම හා භාවනා වැඩමුළු පැවැත්වීමට අමතක නොකළ සේක.

2007 වසරේ සිට 2018 වසර තෙක් මැලේසියාවේ බෞද්ධ මහා විහාරස්ථානයේ වැඩ වාසය කරමින් ද නිර්මල බුදු දහමින් මුළු ලොව බැබළ වූ මඩවල පුණ්ණජි මහතෙරුන් වහන්සේ 2018 ජුනි මස ශ්‍රී ලංකාවට වැඩම කළ සේක. හොරණ මෝල්කාව නිසල අරණ භාවනා මධ්‍යස්ථානයේ පැවති භාවනා වැඩමුළුවට ධර්ම දේශනා පැවැත්වීමට බෝධිචිත්තා මෙහෙණින් වහන්සේ විසින් කරන ලද ආරාධනය පිළිගෙන එහි වැඩම කළ උන්වහන්සේ ජූලි 26 වැනි දින උදෑසන ධර්ම දේශනාවක්ද එදිනම රාත්‍රියේදී සුමධුර අවසාන ධර්ම දේශනාවක්ද දේශනා කළ සේක.


ගවරගිරියේ සුදස්සි නා හිමි

අගලවත්ත හල්ඕවිට ශ්‍රී අභිනවාරාමාධිපති ශාස්ත්‍රපති ගවරගිරියේ සුදස්සි නාහිමියන් වෙත කළුතර පළාතේ උප ප්‍රධාන සංඝනායක ධුරය පිරිනමා තිබේ.

උන්වහන්සේගෙන් සිදුවන ආගමික හා සමාජීය සේවාව වෙනුවෙන් එම පදවිය පිරිනමා ඇත්තේ අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික නිකායේ මහනාහිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව විසිනි.

1951 පෙබරවාරි 04 දින රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ගවරගිරිය ග්‍රාමයේදී උපත ලැබූ උන්වහන්සේගේ මව්පියන් වූයේ අයි.කේ. කුමනේරිස් හා පී.යූ.ලැයිසනෝනා දෙපළය. සහෝදර සහෝදරියන් සිව්දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලාවූ ඒ හිමියෝ 1964 පෙබරවාරි මස 25 වැනි දින තිරිවානාගල්ගොඩ ශ්‍රී සාකතුසිංහාරාමයේදී කෙසෙල්ලෙනාවේ සරණතිස්ස නාහිමියන් වෙතින් පැවිදි වූහ.

හොරණ විද්‍යාරත්න පිරිවෙනින් අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියද පසුව කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද, උන්වහන්සේ ලබාගත්හ.

1965 ජනවාරි 17 වැනි දින අගලවත්ත හල්ඕවිට ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයට වැඩමවූ සුදස්සි හිමියෝ 1974 උපසම්පදාව ලැබූහ.

1979 දී ගුරුවරයෙකු ලෙස ක/හල්ඕවිට කනිෂ්ඨ විද්‍යාලයට පත්වීමක් ලැබූ උන්වහන්සේ අනතුරුව ප්‍රදේශ කීපයක පාසල්වල සේවය කර ඇත. 2011 බුලත්සිංහල පොලේගොඩ මහා විද්‍යාලයෙන් ඒ හිමියෝ විශ්‍රාම ලැබූහ. සිය ගුරුදේවෝත්තම කෙසෙල්ලෙනාවේ සරණතිස්ස නාහිමියන්ගේ අපවත් වීමෙන් පසුව හල්ඕවිට ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිපති ධුරයට පත්වූහ.

අභිනව නාහිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහා නිකායේ මහානායක එගොඩමුල්ලේ අමරමෝලි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හල්ඕවිට ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ දී පසුගිය දා පැවැත්විණි.

සුදස්සි නාහිමියන්ට දිගාසිරි පතමු


මහකුඹුක්ගොල්ලෑවේ රතනපාල හිමි

මීගොඩ හේනවත්ත ශ්‍රී ගුණරතනාරාමාධිපති,අධ්‍යාපන දර්ශනපති, මහකුඹුක්ගොල්ලෑවේ රතනපාල මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම නිමිත්තෙන් මෙම ලිපිය පළ කෙරේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහකුඹුක්ගොල්ලෑව නම් ග්‍රාමයේ දී එස්. කපුරුහාමි හා එස්. උක්කුහාමි යන දම්පතීන්ට දාව 1953 ජූලි මස 18 වන දින මෙම පින්වත් කුමරා කේ.සිරිසේන නමින් උපත ලැබී ය. සොයුරු සොයුරියන් නවදෙනෙකුගෙන් යුතු පවුලේ දෙවෙනියා ලෙසිනි.

සුදුසු වයස් සපිරීමත් සමඟ මහකුඹුක්ගොල්ලෑව කනිටු විදුහලින් මූලික අධ්‍යාපනය ලැබීය. ප්‍රදේශයේ ආගමික කේන්ද්‍රස්ථානයක් වූ මැදවච්චිය , ඉසින්බැස්සගල,රුවන්ගිරි රජමහා විහාරස්ථානයේදී 1965 ජනවාරි මස 26 වන දින විහාරාධීශ්වර මහකුඹුක්ගොල්ලෑවේ ගුණරතනාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් මහකුඹුක්ගොල්ලෑවේ රතනපාල නමින් පැවිදි දිවියට පත්විය.

උගත යුතු සිංහල, පාලි, සංස්කෘත හා ඉංගී‍්‍රසි ආදී භාෂාවන් ද ප්‍රගුණකොට ගුණ දහම් සපුරාලූහ. අනතුරුව විසිවයස් සපිරීමත් සමඟ 1979 ජුනි 07 වන දින සුපරිශුද්ධ උපසම්පදාව ලැබූහ.

උසස් අධ්‍යාපනය සඳහා කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත්ව විශ්වවිද්‍යාල වරම් ලැබී ය. කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත්ව එමගින් අධ්‍යාපනවේදී උපාධියෙන් ප්‍රථම පන්ති සාමාර්ථයත්, අධ්‍යාපන දර්ශනපති උපාධියත් හිමිකර ගත්හ. අනතුරුව විජිතපුර මහා විද්‍යාලය, ඉට්ටිකුලම මහා විද්‍යාලය , හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය, අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලය, මීගොඩ මහා විද්‍යාලය,නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය හා ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලය යන විදුහල්වල දස දහසක් දරු දැරියන්ගේ නැණ පහන් දැල්වීමට දායක විය. එම අගනා සේවය අගයමින් හෝමාගම අධ්‍යාපන කලාපයේ ගණිත විෂය පිළිබඳව ගුරු උපදේශකයාණන් වහන්සේ ලෙස පත්ව පුළුල් අධ්‍යාපන සේවාවක නියමුවාණ කෙනෙකු ලෙස ක්‍රියා කළහ.පාසල් පද්ධතිය තුළ පමණක් නොව සමස්ත ලංකා පිරිවෙන් ගණිත උපදේශකවරයෙකු ලෙස ක්‍රියා කළහ. අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන විද්‍යාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරයාණන් වහන්සේ ලෙස ද 1990 දී මාලඹේ ශ්‍රී සුසීලාරාම විහාරස්ථානයේ වැඩසිටිමින් පුනරුත්ථාපන අමාත්‍යාංශයේ උපදේශකවරයෙක් ලෙස ද කටයුතු කළහ.

අනතුරුව 1991 දී මීගොඩ හේනවත්ත ග්‍රාමයට තම කල්‍යාණමිත්‍ර ශාස්ත්‍රපති පණ්ඩිත ගලගම ශාන්තජීව මාහිමියන් සමඟ පිවිස ශ්‍රී ගුණරතනාරාම විහාරස්ථානය ආරම්භකොට ත්‍රිවිධ චෛත්‍යය සහිත සකලාංගයන්ගෙන් සමන්විත ප්‍රදේශයේ දර්ශනීය විහාරස්ථානයක් ලෙස සංවර්ධනය කළහ.

කුඩා දරුවන්ගේ අධ්‍යාපනික අභිවෘද්ධිය සඳහා කටයුතු කිරීමක් ලෙස ශ්‍රී ගුණරතන දහම් පාසල නගාසිටුවීමට මූලිකත්වය ගෙන කටයුතු කිරීම අගය කළ යුත්තකි. උන්වහන්සේගේ සමාජ සත්කාර්යන් අතර ශ්‍රී සුචරිත වර්ධන කුලඟන සමිතිය, සුහද සුබසාධක බෞද්ධ සමිතිය, තරුණ සංසදය, බුද්ධභූමි දඹදිව වන්දනාව ආදී සංගම් තුළින් ප්‍රදේශයෙහි අභිවෘද්ධිය පසක් කළහ.

“සහජීවනය තුළින් ප්‍රජා සංවර්ධනය” වැඩසටහන යටතේ උන්වහන්සේ ආර්ථික දුෂ්කරතා ඇති අයට නිවාස තනා පහසුකම් සලසා දුන්හ.

උන්වහන්සේ ආගමික, ශාසනික, සමාජ මෙහෙවර සිදුකිරීම සඳහා ගුවන්විදුලිය වැනි විද්‍යුත් මාධ්‍ය තුළින් ධර්මදේශනා,ධර්ම සාකච්ඡා සිදුකළ අතර ගීත රචනාකරණයෙහි ද නියැළුණහ. එපමණක් නොව “තෙවන ඇසින් දැකීම වැනි” ග්‍රන්ථකරණයෙහි යෙදෙමින් පොත්පත් මුද්‍රණයට ද දායක විය. පුවත්පත් සඟරා ආදියට ලිපි සපයමින් ද අගනා යුගමෙහෙවරක් සිදුකළහ.

දශක හතකට ආසන්න කාලපරිච්ඡේදයක සමාජීය යුගමෙහෙවර අවසන් කළ උන්වහන්සේ 2019 අපේ‍්‍රල් මස 07 වන දින අපවත් වූහ. අපවත් වී වදාළ මහකුඹුක්ගොල්ලෑවේ රතනපාල මාහිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුව ලැබේවා.

බක් අවඅටවක පෝය

බක් අවඅටවක පෝය අප්‍රේල් 26 වන දා සිකුරාදා අපර භාග 02.40 ට ලබයි. 27 වන දා සෙනසුරාදා අපර භාග 05.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 26 වන දා සිකුරාදාය.

මීළඟ පෝය මැයි 04 වනදා සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]