සසර තරණය 10:
තමා කැමැති තමන්ටම මිස
වෙන කාට ද?
ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති,
ශාස්ත්‍රපති
රාජකීය , පණ්ඩිත
කොත්මලේ
කුමාර කස්සප හිමි
දවසකට කොපමණ දරුවෝ ලෙඩ වෙනව ද, අපට දුක එනව ද? දුක එන්නේ නැහැ. හැබැයි, මගේ දරුවා
ලෙඩ වුණොත්, අන්න එතකොට නම්, දුක යි. දැන්, දුක් වුණේ, දරුවා මගේ කරන මානසික මට්ටම
නිසා මිසක, අර දරුවා ලෙඩ වුණා, කියන ධර්මය නිසා නෙවෙයි.
ලෙඩවීම කියන එක ලෝකයේ කාටත් පොදු ධර්මයක්. ලෝකයේ ගොඩක් දෙනෙක් එක දවසකට ලෙඩ වෙනවා.
ඒ වුණාට අපට දරුවා ලෙඩ වීමේ දුක එන්නේ නැහැ. අප ඒ තැනක, ඒ දුක විඳින්නේ නැතිව ඉන්න
කොට, අප තමන්ගේ දරුවා කරගත්ත කම නිසා, මෙතන දුක් වෙනවා. එහෙමනම්, ඒ දුක ගෙනාවේ, අපට
දරුවා කියන තැනට කරපු තණ්හාව නිසා ද? නැතිනම්, දරුවා මගේ කරගත්, මානසික මට්ටම ඇතුළේ
තිබුණු තණ්හාව නිසා ද? දරුවා මගේ කරගත්, මානසික මට්ටමට කරගත් තණ්හාව නිසා. ඒ නිසා
ලෝකයේ වැඩිපුර ම ආදරය කරන්නේ, කැමැති වෙන්නේ තමන් තමන්ට ම යි.
දවසක්, කොසොල් රජතුමා මල්ලිකා දේවියගෙන් ප්‍රශ්නයක් අහනවා, ලෝකයේ කාටද, වැඩිපුරම
කැමැති, වැඩිපුරම ආදරය කරන්නේ කියලා? මල්ලිකා දේවිය පිළිතුරු දෙනවා, මා වැඩිපුරම
කැමැති, වැඩිපුරම ආදරය කරන්නේ ‘මට’ කියලා. මේ වේලාවේ රජතුමා බොහොම නොසතුටු වුණා.
මොකද? මල්ලිකා දේවිය බොහොම දුප්පත් තැනැත්තියක්. රජතුමා තමයි, අග්‍ර මහේෂිකාව
තනතුරට පත් කළේ. රජතුමා බලාපොරොත්තු වුණේ රජතුමාට ආදරෙයි කියලා කියයි යනුවෙන්.
මල්ලිකා දේවිය පිළිතුරු දුන්නේ මා කැමැති මටම නේ කියලා. ඊටපසුව මේ පවුල් ප්‍රශ්නය
නතර වුණේ, බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහින්. බුදුරජාණන් වහන්සේ ඒ වේලාවේ පැහැදිලි
කරනවා ඇත්ත, තමන් ලෝකයේ වැඩිපුරම ආදරය තමන්ට තම යි. කැමැති තමන්ට ම තමයි. තමන්ට ම
ප්‍රිය යි කියලා දකින කෙනා, ලෝකේ කවදාකවත් පාපයක් නම් කරන්නේ නැහැ කියනවා. ඇයි? ඒ
කෙනා දන්නවා, තමන් තමන්ට පි‍්‍රය මනාප බව පිළිබඳව, හොඳට දන්න නිසා, ලෝකයේ කවදාකවත්,
පාපයක් කරන්නේ නැහැ. මෙහි බොහොම ගැඹුරු කතාවක් තියෙනවා. අප ලෝකේ හැමදාම ප්‍රිය මනාප
වෙන්නේ අපට මිසක, වෙන කෙනෙකුට නෙවෙයි. අප කියනවා දරුවට හරි ආදරෙයි කියලා, දරුවට
ආදරේ, ඔය දරුවා කියන අරමුණ මට සැප වන නිසා, මට සතුට ගෙනෙන නිසා, මිසක, වෙනත් දෙයක්
නිසා නෙවෙයි. මාව සතුටෙන් තියන්න නම්, දරුවා ටිකක් ලොකු වුණාට කමක් නැහැ. එහෙම
නැත්නම්, අප නැහැ කියලා කිව්වාට ඇත්ත එහෙම යි. අප මෙහෙම කිව්වොත්, අපට සිද්ධ වෙනවා,
දරුවාගෙන් සතියකට, දෙකකට ඈතකට යන්න. අප කැමැතිම කෙනෙකුගෙන්. ඊට පසුව සතියකින්
දෙකකින් නැවත දුරකථන ඇමැතුමකින් විමසනවා, කොහොම ද කියලා? එවිට කියනවා, අනේ! මේ
කාලයේ ඔයගොල්ලෝ මතක් වුණේවත් නැහැ. හරි සතුටින් හිටියා කිව්වොත්, මොනවා හිතෙයි ද?
දුකක් හිතෙයි ද? සතුටක් හිතෙයි ද? දුකක් හිතෙයි. මට ඔයගොල්ලෝ මතක් වුණා, හරි
පාළුවෙන් හිටියේ කිව්වොත්? ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන්, අප සතුටු වෙන්න එපෑයෑ. ඒ
දරුවා සතුටින් ඉඳලා නේ කථා කළේ. අප දරුවාගේ සතුටට නම් කැමැති, දරුවා සතුටින් නම්,
අප සතුටු වෙන්න ඕනෑ. නමුත් ඇත්තට ම දුකක් ආවහම, දුකක් ආවේ ඇයි? අපි කැමැති වුණා,
දරුවා ටිකක් දුකෙන් ඉන්නවාට. මාව සතුටෙන් තැබීමට දරුවා ටිකක් දුක් වුණාට කමක් නැහැ.
එතකොට අන්න ඒ වගේ අප ගත්තහම අපේ ජීවිතයේ ඇත්තම කථාව යි.
නමුත් බොහොම සියුම් කාරණාවක් ගැන සිතලා , තමන් තමන්ට ම යි , ලෝකයේ හැමදාමත් කැමැති
වන්නේ. තමන්, තමන්ට තමයි, ආදරය කරන්නේ කියන්නේ ඊට වඩා හාත්පස ගැඹුරු තැනකින්. ඇයි?
ගැඹුරු තැනකින් කියලා කිව්වේ, අපි හිතමු, අප අම්මාට ආදරෙයි කියලා, ඒ අම්මට තියෙන
ආදරණීය හැඟීම අප ගොඩ නඟන්නේ කුමක් මත ද, කියලා බැලුවොත්, අර මුලින් කතා කරපු
පංචඋපාදානස්ඛන්ධයකට නේ. අප අම්මා කියලා කතා කරන තැන, අම්මව විඳින්නේ,
පංචඋපාදානස්ඛන්ධ මට්ටමකින්. අප මුලින් කථා කළා, පංචඋපාදානස්ඛන්ධ මට්ටම කියන්නේ
කුමක්ද කියලා.
පවතින යථාර්ථය නෙවෙයි, කෙන , කෙනා විසින් හදාගත්, රැස්කර ගත්, මට්ටම කියලා. එතකොට,
දැන් අප අම්මව විඳින්නේ පංචඋපාදානස්ඛන්ධ මට්ටමට. දැන් අපට ලෝකයේ පංචඋපාදානස්ඛන්ධ
මට්ටමක් මිස, වෙන ටිකක් හම්බවෙන්නේ නැහැ. මම වෙච්ච ස්කන්ධ වෙන ම හම්බ වෙන්නේ නැහැ.
මෙහෙම උදාහරණයක් කිව්වොත්, තේරුම් ගන්න, ඔබට සිද්ධ වෙනවා අද දවසේ එනම් පෝය දවසක බණ
ඇහුවා කියලා , කාට හරි ඔප්පු කරන්න. ඔබ කොහොමද ඔප්පු කරන්නේ? ඔබ මෙතන හිටියා කියලා.
හාමුදුරුවනේ මේ වේලාවට ආවේ. මේ අය මෙතන හිටියා. මෙහෙම කාරණා ටිකකු යි කිව්වේ. ඔබට
ගොඩක් දේවල් කියන්න පුළුවන් වෙයි. එකක්වත් ඔය ඇත්තෝ ද? එකක්වත් ඔය ඇත්තෝනෙවෙයි. ඔය
ඇත්තෝ නොවන, ඕන තරම් කාරණා ටිකක් ඉදිරිපත් කරන්න පුළුවන් . හැබැයි, ඔය ඇත්තෝ හිටිය
බව නම්, ඔප්පු කරන්න පුළුවන්කමක් වෙන්නේ නැහැ. මෙතන මෙපමණ පිරිස හිටියා කිව්වොත්,
මේ හිටපු පිරිස හොයන්නේ ඔය ඇත්තෝ නෙවෙයි, මේ කාරණා කිව්වෙත්, අහපු දේවලුත් ඔය ඇත්තෝ
නෙවෙ යි. එතකොට අපට තමන් හිටපු බව ඇත්තට ම ඔප්පු කරන්න වෙන්නේ නැහැ. කවදාවත් ඒක
කරන්න බැහැ. ඇයි , බැරි? පේන දේ තමන් නොවන නිසා. ඇහෙන දේ තමන් නොවන නිසා. හැබැයි,
අප ඔප්පු කරන්න ගන්නෙම පේන, ඇහෙන දේවල් ටිකම තම යි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ
ටිකම තමයි, අපට ගන්න වෙන්නේ. ඒකෙන් කියන්නේ අප හැම වේලාවක දී ම මමත්වය ගොඩනඟා
ගන්නේ, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ආයතන ගේන අරමුණු ටික නිස යි.
මේ පැත්තේ රූප තියෙනවා. තියෙන රූප බලන්න මම මේ පැත්තේ ඉන්නවා. මෙහෙන් ශබ්දෙ ඇහෙනවා,
ශබ්දෙ ඇසෙන මම මේ පැත්තේ ඉන්නවා. ගද , සුවඳ තියෙනවා. ගඳ , සුවඳ විඳින මම මේ පැත්තේ
ඉන්නවා. දැන් අපට මම හිටපු බව ඔප්පු කරන්න ඕන වුණොත්, අප කොහොමද, කියන්නේ, මේ අහවල්
අයත් හිටියා. මේ විදිහේ රූප තිබුණා කියලා අප රූප ටික ගැන තමයි, කතා කරන්නේ. ශබ්ද
ටික ගැන තමයි, කතා කරන්නේ. හැබැයි, එකක්වත් තමන් නෙවෙයි.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |