පාපයේ විපාකය අපායේ දුකය
අම්බලන්ගොඩ,
කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ
ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ මහා ලේඛකාධිකාරී
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
පිනට දහමට යොමු වී කටයුතු කළොත්, අපාගාමී නොවී සුගතියක ම වාසය කළ හැකි යි. ‘අය’ යනු
සැපය යි. අපාය යනු සැප පහ වූ තැන යි. ‘නි’ යනු නැත අර්ථය යි. ‘ර’ ආගමනය වුණහම සැප
නැති තැන නිරය යි. මේවාට වැටෙන්නේ පව් කළ අය යි. යහපත, අයහපත තේරුම් බේරුම් නොකර
පාප කර්මවල යෙදීම නිසා දුක් විඳින්න සිදු වී තිබෙයි. අපායේ දොරටු වසන කාලය වන්නේ
සම්මා සම්බුද්ධ ශාසන කාලය යි.
අද සඳහන් කරන්නේ හැටහතර වන අපායේ සිට යි. එනම්, දස කල්ප නරකය යි. මේ අපායේ උපත
ලැබීමට හේතු වන්නේ මිනිස් ලොව දී බුදුපිළිම වහන්සේලාට, තුනුරුවන්ට, දාන මානවලට
යැ’යි සම්මාදන් කළ මුදල් තමන්ගේ ප්‍රයෝජනයට ගත් අය යි. ඒ පාපකර්මයෙන් තමයි දස කල්ප
නරකයේ උපත ලබන්නේ. කල්ප දහයක් මේ අපායේ දුක් විඳිනවා. ඒ නිසා හොඳින් මතක තබා ගන්න,
වෙහෙර විහාර, දාන මානවලට, සම්මාදම් කරන්නේ නැතිව තමන්ට පුළුවන් සේ පින්කම් කරන්න.
සම්මාදම් කරනවා නම්, ඒ මුදල
අනිවාර්යයෙන් අදාළ පින්කමට වැය කළ යුතු යි. අද බොහෝ
දෙනෙක් නොයෙක් ක්‍රමවලට, වංචනිකව සම්මාදම් කරනවා. රට පුරා කරඬු වඩමවාගෙන සම්මාදම්
කරනවා. නොයෙක් පින්කම්, වෙහෙර විහාර ඉදිකිරීම්, ආදී දේ පවසමින් සම්මාදම් කරනවා.
සම්මාදම් කළ දෙයින් ඒ කුමන දෙයක්වත් කරන්නේ නැතිව මුදල් තමා බාරයේ තබා ගෙන වංචනිකව
කටයුතු කළොත්, සම්මාදම් මුදල් නැවත නුදුන්නොත් කල්ප දහයක් දස කල්ප නරකයේ උපත ලබනවා.
ඒ නිසා දාන, ශීල, භාවනා , පින්කම් වැඩිකරගත යුතු යි. සම්මාදම් කරන මුදල් අදාළ
පින්කමට යෙදවිය යුතු යි, එවිට බිය විය යුතු නැහැ. මනුලොව, දෙව් ලොව උපත ලබා සුගතියක
ම වාසයෙන් නිවන් සම්පත් ලබන්න පුළුවන්. අපායේ ස්වභාවය දුක් ලබා දීම යි. තමන් කරගත්
පාපයට අනුව අදාළ තැන පහළ වෙනවා. එතරම්ම භයානක යි. මින් මතු පව් නොකරන බවට නිරි
සතුන් කෙතරම් පොරොන්දු වුවත්, කළ පාපයට දුක් විඳිය යුතු ම යි. එසේනම්, හොඳින්
පින්දහම් කර සුගතියක ම වාසය කර නිවන් සම්පත් ලැබේවා යන පැතුමෙන් ම කටයුතු කරන්න.
හැටපස්වන නරකය ඒකාදස කල්ප නරකය යි. මෙහි කල්ප එකොළහක් දුක් විඳිය යුතු යි. මනුලොව
සිටියදී පන්සල්වල, විහාරස්ථානවලට, ආරණ්‍ය සේනාසනවලට පූජා කළ භාණ්ඩ රැගෙන විනාශ කළ
අය මෙහි උපත ලබයි. තුනුරුවන්ට, සිල්වත් ගුණවත් උතුමන්ට පූජා කළ අය ප්‍රසාද ජනකව එම
පූජා ද්‍රව්‍ය පූජා කරයි. නමුත් සමහරු ඒ භාණ්ඩ රැගෙන ගොස් විනාශ කරනවා. තමන්
පරිහරණය කරනවා. එය බොහොම භයානක යි. අද වුවද වෙහෙර විහාරස්ථානවල නොයෙක් බඩු
බාහිරාදිය නැතිවී යනවා. ශබ්දවාහිනී, පිළිම, කරඬු, ඌර්ණ රෝම ධාතූන් වහන්සේ , පිත්තල
පහන්, ඝන්ඨාර ආදිය සොරාගන්නන්ට ලැබෙන දඬුවම වන්නේ කල්ප එකොළහක් මෙම නරකයේ උපත ලැබීම
යි. සුළු පාපයක් ලෙස සිතුවත් විපාකය දරුණු යි. එසේනම් , විහාරයට කුමක් හෝ දෙනවා මිස
, ලැබුණු දේ විනාශ කරන්න හොඳ නැහැ. ඇතැම් අය පන්සල්වල ඉඩ කඩම් අල්ලාගෙන වැට කඩොළු
වෙනස් කර, සඟ සතු දේ ලබා ගන්නවා. එලෙස තුනුරුවන් සතු දේ, සිල්වතුන් සතු දේ රැගෙන
ගියොත්, විනාශයට පත් කළොත් මෙම අපායේ උපත ලබන බව මතක තබා ගන්න. මුහුදේ රැළි
ගසන්නාක් මෙන් පෙරළෙන ගිනි දැල් මත නිරි සතුන් උපත ලබනවා. එතරම් ම මෙම අපාය බියකරු
යි. ඒ නිසා විහාරස්ථානවල පූජනීය භූමි ලබා ගත්තා නම්, ඒවා වහා ම නිදහස් කර දමන්න.
කෙනෙක් සැදැහැ සිතින් නිවන් සුව පතාගෙන තුනුරුවන්ට යමක් පූජා කළානම්, එය සොරා
ගන්නන් උපත ලබන්නේ මෙම නරකයේ බව අමතක නොකරන්න.
එසේනම්, තුනුරුවන්ට සැලකීමෙන්, වෙහෙර විහාර ඉදිකිරීමෙන්, මංමාවත් සකස් කිරීමෙන්,
පුජා භාණ්ඩ පූජා කිරීමෙන් මනු ලොවත්, දෙව් ලොවත්, බඹ ලොවත් උපත ලබන්න පුළුවන්.
සුගතිගාමීව ම වාසය කර, නිවන් සම්පත් ලබන්න පුළුවන්කම තියෙනවා.
හැට හයවන අපාය වන්නේ ද්වාදස කල්ප නරකය යි. එනම්, කල්ප දොළහක් අපායේ දුක් විඳිනවා.
ප්‍රාණීන් මැරීම, ගෙඩි, මල්, පලතුරු ආදිය සොරකම් කිරීම ආදිය කළ අය උපත ලබන්නේ මෙම
නරකයේ ය. එය කෙතරම් කාලයක් ද බලන්න? යමෙක් සත්ත්ව ඝාතනයෙන්, සොරකමෙන් වැළකුණොත්,
මනු ලොව අති විශාල සම්පත්, දෙව් ලොව දිව්‍ය විමාන, පාරමී ගුණත් දියුණුවෙන් නිවන්
සම්පත් ලබන්න පුළුවන්කම තිබෙනවා.
හැට හත්වන අපාය තේරස කල්ප නරකය යි. එනම් කල්ප දහතුනක්. මනු ලොව සිටියදී අනුන්ට අයත්
ගෙවල්වල, උළුවහු, ලී දඬු , උළු, තහඩු ආදිය අන් සතු දේ සොරාගත් අය මෙහි උපත ලබයි. එය
බොහොම බියකරු යි. මෙවැනි අවාසනාවන්ත ක්‍රියා කරන්නන් කල්ප දහතුනක් නිරන්තරයෙන් ගිනි
ජාලා මැද කෑම බීමක් , ඇඳුමක් පැළඳුමක් නැතිව කල්ප දහතුනක් ම දුක් විඳි යි. එහෙත්
මිය නොය යි. නැවත එහි ම උපත ලබයි. එබැවින් මේ ගැන කල්පනාවෙන් කිසිදිනක අන් සතු දේ
ගන්නට එපා. තමන් සතු දේ හොඳින් පරිශීලනය කර දීම පුරුදු පුහුණු කරන්න. තණ්හාව, තරහව,
වෛරය , ක්‍රෝධය , ඊර්ෂ්‍යාව අඩු කරගන්න. පිනට දහමට යොමුව, මවට පියාට සලකා, පන්සලට
යන්න එන්න, වතාවත් කරන්න , ගමේ දැහැමිව ජීවත් වන්න, සූදුව සුරාව දුරාචාරයෙන්
වළකින්න. එවිට තමන්ට දැහැමි දිවි පෙවතක් ගත කර, මනු ලොව, දෙව් ලොව, ඉපදෙන්නට
පුළුවන්. භාවනා කර බඹ ලොවට යන්නටත්, නිවන් පසක් කරන්නටත් පුළුවන්.
එසේනම්, අපායේ තතු මෙලෙස හොඳින් මතක තබා ගන්න. අපායේ ස්වභාවය දුක් ලබාදෙන බව ත්,
එහි දුක සීමාවක් නොමැති බවත් මතක තබා ගන්න. බුදුරජාණන් වහන්සේ මේ සියල්ලම අවබෝධයෙන්
වදාළා. මුගලන් මහ රහතන් වහන්සේ අපායට වැඩම කර, ගිනි නිවා, නිරි සතුන්ගෙන් අහනවා, ඔබ
කුමක්ද කළ පාප කර්මය කියා? ඒ අය ප්‍රකාශ කරන්නේ. අනේ! ස්වාමීනී, මේ පව කරලයි දුක්
විඳින්නේ, මින් මතු නම් පව් කරන්නේ නැතැ’යි යනුවෙන් පවසනවා. මුගලන් මහ රහතන් වහන්සේ
මනු ලොවට වැඩම කරලා, තමන් වහන්සේ දැනගත් නිරිසතුන් මවා, අපාය මවා පෙන්වා මේ බලන්න
මේ සතා මෙලෙස දුක් විඳින්නේ මෙම පව කරලයි යනුවෙන් වදාළා. එවිට පවට බය වෙනවා. ඒ බය
නිසා පව් කරන්නේ නැතිව දෙව් ලොව උපත ලබනවා. එවිට මේ බලන්න, පව් කරන්නේ නැතිව පිනට
දහමට ලැදිව කටයුතු කළ නිසා දිව්‍ය සම්පත් විඳිනවා. කුමන දෙයකින්වත් අඩු පාඩුවක්
නැතැ’යි පෙන්වා දෙනු ලබනවා. මේ ගැන හොඳින් වටහාගෙන අපායේ තතු හොඳින් ඉගෙන ගෙන, පවට
බියෙන් , පිනට දහමට ලැදිව පන්සිල් රැකිය යුතු යි. මවට පියාට සැලකිය යුතු යි.
වැඩිහිටියන්ට සැලකිය යුතයි. දිනපතා පන්සිල් රැකිය යුතු යි. කවුරු වුණත් පංචශීලය
දිනපතා ම ආරක්ෂා කරගනු ලැබුවොත්, මේ කියන කිසිම දුකකට පත් වන්නේ නැහැ. නරකාදී දොරටු
වැසී යනවා. සිල්වන්ත ගුණවන්ත ජීවිත පෙළක් ලැබෙනවා.
මේවා බුදු, පසේ බුදු , මහ රහතන් වහන්සේලා හොඳින් අවබෝධෙයෙන් දේශනා කර වදාළා.
උන්වහන්සේලා සදහටම අපායෙන් නිදහස් වුණා. සෝවාන්, සකෘදාගාමී , අනාගාමී, අර්හත් ආදී
උතුමන් අපායෙන් නිදහස් වුවත්, ඉන් මෙහා සිටින කිසිවෙක් අපායෙන් නිදහස් වී නැහැ.
එසේනම් , පින් බලගතු කළ යුතු යි. බලගතු පින්කම් කොට, අපායෙන් නිදහස් ව මෙලොව ජීවිතය
සරුසාරව, සිල්වත් ගුණවත් බව දියුණුවෙන්, සුගතියක වාසය කරන්න පුළුවන්. මෙලෙස
කල්පනාවෙන් සම්මා සම්බුදු ශාසනය හොඳින් ආරක්ෂා කරගෙන අපායේ දොරටු වසා ඉදිරියට ම
යන්න.
බුදු පියාණන් වහන්සේ මේ අපායේ තතු පැහැදිලි කළේ, වැඩිපුරම ලෝක සත්ත්වයා වාසය කරන්නේ
අපායේ. ඉන් බේරීම සඳහා මේ ප්‍රතිපත්ති අනුගමනය කරන්නැ’යි වැදගත් දහමක් දේශනා කළා. ඒ
දහමට අනුකූලව ඔබ අප කවුරුත් කටයුතු කළ යුත්තේ. සියලු දෙනා පාපයෙන් වැළකී , සැවොම
පින් දහම් කළ යුතු යි. සිත දමනය කළ යුතු යි. මේ කාරණා තුන දමනය කළොත් ඕනෑම කෙනෙක්
අපායෙන් නිදහස් වෙයි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කල්ප ලක්ෂයක් පුරාවට අපාගාමී
වුණේ නැහැ. ඒ උතුමෝ බුද්ධ පූජා, වන්දනා මාන , දාන මාන පින්කම්, බණ භාවනා කළා . ඒ
අනුහසින් සංසාර ගමන සැපවත්ව පාරමී ගුණ ධර්ම දියුණුවෙන් , සම්බුද්ධ ශාසනයත් රැකගෙන
ධූතාංග ධාරීන් අතර අගතැන්පත් ව ලෝකයටම බුද්ධ ශාසනය ව්‍යාප්ත කිරීමට පුරෝගාමී ව
කටයුතු කළා. උන්වහන්සේ දිගු කලක් නීරෝගී ව වාසය කළේ, මේ පින්දහම් කළ නිස යි. මේවා
හොඳින් වටහාගෙන ඔබ අප සැවොම අපායෙන් අත්මිදීමේ මාර්ගය ඔස්සේ ගමන් කළොත් අපායෙන්
නිදහස් ව සුගතියකම වාසය කර, නිවනට පත් වන්නට පුළුවන්කම තියෙනවා.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |