[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අවබෝධයෙන් යුතු මහලුවිය සැහැල්ලුය

අවබෝධයෙන් යුතු මහලුවිය සැහැල්ලුය

" බුදුන් වහන්සේ මහලුවිය දුටුවේ බුද්ධියේ පැසුණු අවදිය වශයෙනි. දැනුමෙන් මුහුකුරා ගිය පුද්ගලයා තමා හා සමාජය පිළිබඳ මනා අවබෝධයකින් යුක්තව කටයුතු කරයි. ජීවන ගමන ගැන මැනවින් තේරුම් ගනියි. එසේ නිවැරැදි ජීවන අවබෝධයක් ලබන්නේ නිවැරැදි ජීවිතයක් ගෙවන ලද පිරිසයි."

මිනිස් ජීවිතයේ එක් අවදියක් වන්නේ මහලු බවයි. එයට ගැහැනු, පිරිමි භේදයක් හෝ ජාති, ආගම් භේදයක් හෝ නොමැත. මහලුවිය සමස්ත මනුෂ්‍ය ප්‍රජාව තුළ දක්නට ලැබෙන කායික පරිණාමයේ ඵලයකි. අතීතයේ මහලුවිය සම්බන්ධව සාමාජීය ගැටලු උත්පන්න නොවූව ද වර්තමානයේ පොදුවේ සියලු ප්‍රජාව විෂයයෙහි විවිධ ගැටලු උද්ගත කරන හා කරවන අවදියක් වී ඇත. එකී කායික හා මානසික ගැටලු මහලුවියට පා තබන පුද්ගලයාට මෙන්ම සාමාජීය වශයෙන් සෙසු අයට ද විවිධ ගැටලු උත්පාදනය කරයි.

මහලුවිය හා එහි සමාජීය ගැටලු පිළිබඳ බුදුන් වහන්සේ මැනවින් කරුණු විවරණය කර ඇත්තේ මීට වසර දෙදහස් පන්සියයකට පෙර ය. මහලුවිය. බුදු දහමේ ජරා යනුවෙන් හඳුන්වා ඇත. ජරා යනුවෙන් දැක්වෙන්නේ පුද්ගලයෙකු කායික වශයෙන් දිරාපත් වීමයි. උපතේ සිට කෙමෙන් හා සෙමෙන් සිදු වූවත් මැදි වයසෙන් පසු එකී විපරිණාමයන් වේගවත්ව සිදුවන ආකාරය පැහැදිලිව දැකිය හැකි ය. මහලුවිය තුළ විද්‍යමාන ලක්ෂණ කිහිපයක් සච්චවිභංග සූත්‍රයෙහි මෙසේ දැක්වේ.

දත් දිරායාම (ඛණ්ඩිච්චං), හිසකෙස් සුදුපැහැ ගැන්වීම (පාලිච්චං), සමෙහි පැහැය අවපැහැ ගැන්වීම හා රැළි වැටීම (වලිච්චතා), ආයුෂ ගෙවීම (ආයුනො සංහාති) යනුවෙනි.

මෙම කායික වෙනස් වීම මහලු වියේ දී පොදුවේ සමාජය තුළ දක්නට ලැබේ. මිනිසා එකී කායික තත්ත්වයන්ට අකැමැත්තෙන් මුහුණ දෙයි. කිසිවෙක් රුචි නොකරයි. මානසික පීඩනයට පත් කරයි. එසේ පිළිකුල් කිරීමට හා මහලුවිය ප්‍රාර්ථනා නොකිරීමට හේතු වන්නේ තරුණ වියත් සමග පුද්ගල මනසේ ගොඩනැඟී ඇති ආශාවන් ය. තරුණ වියත් සමඟ බැඳුණු පැහැපත්, දැකුම්කළු ශාරීරක ලක්ෂණ විනාශ වී යාමෙන් දක්නට ලැබෙන ශාරීරික වෙනස්කම් සූත්‍ර දේශනාවල මෙසේ සඳහන් වේ.

කේශකලාපය සුදු පැහැ ගැන්වී හණ නූල් බවට පත්වීම, හාවෙකුගේ හා එළුවෙකුගේ ලොම්වල දුර්ගන්ධයෙන් යුක්ත වීම, දෙබැම මහලුවියේ දී එල්ලේන රැළිවලින් යුක්ත වීම, රැලි සහිතව කන් දෙක එල්ලීම, කැඩුණු කහපැහැති දත්වලින් මුඛය යුක්ත වීම, වචන පැටලීම, කායික වැහැරීම නිසා කය කුදු වීම, හැකිළුණු නහර නිසා බෙල්ල නැමීම, සම රැලි වැටීම, දෙකකුල් හැකිලුණු උණ ගසක් බඳු වීම, පා දෙක පැළුණු රැලිවලින් යුක්ත වීම යනුවෙනි.

මහලු වියත් සමඟ සිදුවන කායික වෙනස්කම් වටහා නොගන්නා පුද්ගලයා මානසික වශයෙන් දුර්වල අයෙක් බවට පත්වේ. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියල්ලෝ ම තරුණ විය අපේක්ෂා කරන අතර එය රැක ගැනීමට මහත් පරිශ්‍රමයක් දරයි. විශේෂයෙන් කායිකව සිදුවන වෙනස්කම් රැක ගැනීමට උත්සාහ දරන ඇතැම්හු මහලුවියට මුක්කු ගසමින් රූපලාවන්‍යාගාරවලට මුදල් ගෙවමින් සිදු කරන මූල්‍යමය විනාශය අප්‍රමාණ ය. හිසකෙස් කළුවර්ණ ගැන්වීම, ඇස් බැමි හැඩ ගැන්වීම, දිරාගිය සම ඉවත් කිරීම හා රැලි සම වසන් කිරීම, විවිධ ආලේපනයන් ගල්වා සුදු පැහැ ගැන්වීම, වයසට නොගැළපෙන ඇඳුම් භාවිතය වැනි අනවශ්‍ය දේ සිදු කරති. මෙසේ මහලුවියට එරෙහිව කුමන ප්‍රතික්‍රියාවන් සිදු කළත් කය වැහැරීම වටහා නොගත් පුද්ගලයා අවසානයේ දී එළඹෙන මානසික පීඩනයන් හා කායික චර්යාවන් බුදුන් වහන්සේ මෙසේ පැහැදිලි කළහ.

කය වැහැරීම පිළිබඳව දැඩිව සෝක කරයි. (සෝචති), පීඩනය විඳදරාගත නොහැකිව ක්ලාන්ත වෙයි. (කිලමති), විලාප කියයි (පරිදේවති), ළයෙහි අත්ගසා වැළපෙයි (උරත්තාළිං කන්දති), සිහිමුළාවට පත්වෙයි. (සම්මෝහං ආපජ්ජති).

මහලුවියට පිවිසි පුද්ගලයා අනුක්‍රමයෙන් පැමිණෙන කායික හා මානසික තත්ත්වයන් මෙසේ දැක්වීමෙන් බුදුන් වහන්සේ අපේක්ෂා කරනු ලැබුයේ සිය කායික වෙනස්කම් අවබෝධ කර නොගැනීම අගතිගාමී තත්ත්වයන්ට හේතුවන බව පැහැදිලි කර දීමයි.

ඇතැම් පිරිස් මහලුවිය අපේක්ෂා නොකරන්නේ මහලුවියෙන් පසුව පැමිණෙන ජීවන චක්‍රයට මුහුණ දීමට ඇති අකැමැත්ත නිසා ය. ජීවන ආශාවන් නිසා ජීවත් වීමට දක්වන අසීමාන්තික තෘෂ්ණාව නිසා පුද්ගලයා මහලුවියත් සමඟ ඇතිවන කායික වෙනස්කම් පිළිබඳ අසහනයෙන් පසුවෙයි.

බුදුන් වහන්සේ මහලුවිය දුටුවේ බුද්ධියේ පැසුණු අවදිය වශයෙනි. දැනුමෙන් මුහුකුරා ගිය පුද්ගලයා තමා හා සමාජය පිළිබඳ මනා අවබෝධයකින් යුක්තව කටයුතු කරයි. ජීවන ගමන ගැන මැනවින් තේරුම් ගනියි. එසේ නිවැරැදි ජීවන අවබෝධයක් ලබන්නේ නිවැරැදි ජීවිතයක් ගෙවන ලද පිරිසයි. ඇතැම්හු ළමා නැතහොත් තරුණ විය සමාජයට පීඩනයක් ගෙන දෙමින් ගත කර, වයසට ගියත් සමාජයට මහත් ව්‍යසනයන් සිදු කරති. එබඳු පුද්ගලයන්ට චරිත සංවර්ධනයක් හෝ පෞරුෂයක් හෝ නොමැත. සමහර අවස්ථාවලදී එබඳු පුද්ගලයන්ගේ ජීවිත අවසානයේ පශ්චත්තාපයෙන් ගත වෙයි. තමා කළ, කී දේ පිළිබඳ සිතමින් කල් යවයි. ඇතැම් පුද්ගලයෝ බීමතින්, සිය අඹුදරුවන්ට පීඩා කරමින්, සිය අසල්වාසීන්ට කරදර පමුණුවමින්, අනුන්ගේ දියුණුවට බාධා කරමින් සමාජයට පිළිලයක් වූ අඳුරු වූ, ජීවිත ගෙවූ අය මහලුවියත් අඳුරෙහිම ගෙවයි. ඔවුන්ට ජීවිත නිවැරැදි කර ගැනීමට කාලයක් නැත. තමා විසින් සිදුකළ අකටයුතුකම් හේතුවෙන් තමාම කෙලෙසෙමින් ජීවත් වීමට සිදු වෙයි.

බොහෝ දෙනෙකුගේ මහලුවිය තෘප්තිමත් ය. කායිකව සිදුවන වෙනස්කම් පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කරන එම පිරිසගේ බාල හා තරුණ විය ආදර්ශසම්පන්න ය. දරුවන්ට, සමාජයට හා රටට සිය වගකීම් නොපිරිහෙළා ඉටු කරමින් තෘප්තිමත් හා සුවදායිව ජීවිතයෙහි සැඳෑසමය ගෙවන්නෝ මෙලොව හා පරලොව දිණුවෝ ය. කායිකව නිරෝගී ය. මානසික සැනසුම හා සැහැල්ලුබව සමඟ මහලුවිය ගෙවති. එබඳු පිරිපුන් ජීවිත සමාජයට ආශිර්වාදයකි.

වර්තමානයෙහි මහලුවියට එළඹි පිරිසගේ ජීවිත වුව ද සංකීර්ණ ය. ඇතැම්හු නිදහස්ව කාලය ගෙවුවත් සමහරු ජීවන අරගලයට මැදිව කාලය ගෙවති. නිදසුනක් වශයෙන් ඇතැම් මව්වරු ස්වාමියා අහිමිවීමෙන් සිය දරුවන් සමඟ කාලය ගෙවන අතර ඔවුන්ගේ ගේදොර කටයුතු කරති. ඇතැම්හු සිය දරුවන්ගේ විවිධ රෝගාබාධයන් නිසා ජීවන අරගලයෙන් බැහැර නොවී කල් ගෙවති. තවත් පිරිසක් දරුවන්ගේ නොසැලකිල්ල හමුවේ අසරණව මහමග හා වැඩිහිටි නිවාසවල කාලය ගෙවති. ඇතැම් මව්පියෝ දරුවන්ගේ දරුවන් රැකබලා ගනිමින් බාධක මැද දිවි ගෙවති. මෙසේ සංකීර්ණ සමාජයක මහලුවියට පත් පිරිස අපහසුතා මැද ජීවත් වීම නිසා චෝදනාව එල්ලවන්නේ දරුවන්ට ය. එබැවින් මහලුවිය කුමක්දැයි වටහා නොගැනීම නිසා වියපත්බව සුවදායීව ගෙවීමට හැකියාව නොලැබේ.

මහලුවිය ගැටලුවක් නොවන අතර ජීවන අවබෝධය ඉතාමත් වැදගත් වේ. මහලුවියට පත් බුදුන් වහන්සේ වදාළේ මාගේ මහලුවිය දිරාගිය කරත්තයක් මෙන් බවයි. (ජජ්ජර සකටො විය) මෙසේ නිවැරැදි ආත්මාවබෝධයකින් යුක්තව කාලය ගෙවන මහලුවියට එළඹි පිරිසට ද කායිකව හා මානසික ශක්තිමත් ජීවිතයක් ගෙවීමට හැකි වේ. ඔවුන්ගේ දවස ගෙවීම සැහැල්ලු ය. ජීවිතය සුන්දරය, ආදර්ශසම්පන්න ය, පී‍්‍රතිමත් ය.

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 18 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 07.26 ට ලබයි. 19 වන දා සිකුරාදා අපරභාග 04.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 19 වන දා සිකුරාදා ය.

 මීළඟ පෝය අප්‍රේල් 26 වන සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]