[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වෙසක් සමයේ අධ්‍යාත්මික සංවර්ධනය ඇති කරමු

වෙසක් සමයේ අධ්‍යාත්මික සංවර්ධනය ඇති කරමු

තුන් ලොවක් සනහාලූ තථාගත බුදුපියාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරන පින්බර වෛශාඛ්‍ය දිනය තවත් මාසයකින් උදාවේ. ලෝ සත වෙත පතළ මහා කරුණාවෙන් පුරා පන්සාළිස් වසක් උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළ, ඒ අමා දහමින් ඝෝර සසර මඟ නිමක් නැති දුක් විඳින සත්ත්වයාට දුකින් මිදෙන මඟ පෙන්වා වදාළ ඒ අසමසම ශාස්තෘන් වහන්සේගේ ගුණ සමරනු වස් ලෝ වැසි බොදු ජනතාව බක් පුර පසළොස්වක පොහෝ දිනය ගෙවී යාමත් සමඟම සැදැහැ සිතින් සූදානම් වෙති.

අනුබුදු මිහිඳු මා හිමි ආගමනයත් සමඟ ශ්‍රී සද්ධර්මයෙන් සුපෝෂිත වූ ලක්වැසි දනන් අනාදිමත් කලෙකට සිට ම වෙසක් පුන් පොහෝ දිනය ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් ස්මරණය කරති. විශේෂයෙන් පොහෝ දිනට දින ගණනාවකට පෙර සිටම තථාගතයන් වහන්සේ පහන් පුජාවෙන් පුදනු පිණිස වෙසක් පහන්කූඩු නිර්මාණය කරති. මෑත ඉතිහාසය වනතුරුම එය සිදු කෙරුණේ ඉතා අපූර්වතම ලෙස ය. ආදර්ශවත් ලෙස ය. ශ්‍රද්ධාව, සාමුහිකත්වය, ඕනෑකම එහි මුල්තැනට පත් වූයේ ය.

වැඩිහිටියන් සමඟ කුඩා දරුවන් ද එකතුව බට කෝටු කපා ගෙනවුත් ඒවා සුද්ධ පවිත්‍රකොට පහන් කූඩු සැකිලි තැනූහ. නේක වර්ණ ගළපා සව් කොළ අළවා ඒවා අලංකාර කළහ. වෙසක් පෝදා ඒවායේ පහන් දල්වා ආලෝක පූජාව සිදු කළහ. අද මෙන් අතීතයේ විදුලි ආලෝකය නොවුණි. එකල පහන් කූඩු ආලෝකවත් වූයේ පොල්තෙල් පහනිනි. එසේත් නැති නම් ඉටි පන්දමෙනි. ඇතැම් විටෙක පහන් දැල්ල සුළඟට නිවී ගියේ ය. ඇතැම් විටෙක පහන් කූඩුව ගිනිගෙන දැවුණේ ය. ජීවිතයේ අනියත බව වැඩිහිටි බෞද්ධයා තම දරුවන්ට ඒ තුළින් ද පෙන්වා දුන්නේ ය. දරුවන් මේ ක්‍රියාකාරීකමෙන් ජීවිතය පිළිබඳ ධාර්මික අවබෝධයක් ලැබී ය. අටපට්ටම් වැනි පහන් කූඩු තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැනි ධාර්මික පණිවුඩයක් සන්නිවේදනය කළහ.

වෙසක් පහන් කූඩුවක් නිර්මාණය කරන්නට බට කෝටුවක් කපා ගන්නා මොහොතේ සිටම ලැබුණේ අභ්‍යාසයකි. සිතට දැනුණේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගෞරවයකි. සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් තරම් දීර්ඝ කාලයක් පාරමී දම් පුරා අසරණ ලෝ සත දුකින් මුදවා ගන්නට ඒ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේ මොන තරම් ජීවිත පරිත්‍යාගයකින් කටයුතු කළා ද? එවන් ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේ නමකට කරන ගෞරවය, කෘතවේදීත්වය එසේ පහන් කූඩුවක් තැනීම ආරම්භයේ සිටම නිමාව දක්වාම පිළිබිඹු විය.

වෙසක් පහන් කූඩුවක් තැනීමේ දී ඊට ආකෘතියක් කල්පනා කිරීම, ඒ අනුව සැකිල්ල නිමවීම පියවරෙන් පියවර අවශ්‍ය දෑ සොයමින් එය නිමකිරීම සාමාන්‍ය ශාරීරීක ක්‍රියාකාරකමක් නොවේ. එය චිත්තභ්‍යාසයකි. අධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කරන ක්‍රියාවලියකි.

එහෙත් දැන් දැන් ඒ නිර්මාණශීලීත්වය සමාජයෙන් ටිකෙන් ටික ගිලිහී යමින් තිබේ. අම්මා, තාත්තා, ආච්චී, සීයා, දරුමුනුපුරන් සමඟ එක්ව කළ සාමූහික නිර්මාණය වෙනුවට පහන් කූඩුවක් කඩයෙන් මිලදී ගන්නට ඇතැම් බෞද්ධයෝ පෙළඹී සිටීම සැබැවින් ම අභාග්‍ය සම්පන්න ය.

වෙසක් පහන් කූඩු නිර්මාණය කිරීම පිළිබඳව අපූර්වතම සංස්කෘතිය අපේ රටට පමණක් උරුම වූවකි. එය ලාංකේයයන් සතු අද්විතීය සංස්කෘතිකාංගයකි. ඒ කාර්යාවලිය තුළ පවුලේ සාමාජිකයන්ගෙන්, අසල්වාසීන්ගෙන්, හිත මිතුරන්ගෙන් ලබන සහය මේ සියල්ල තුළ ඉගෙන ගන්නා පාඩම විශිෂ්ටය. එහෙත් අද සමාජයෙන් මේ වටිනාකම් ගිලිහී යමින් තිබේ. පරිසර හිතකාමී පහන් කූඩු වෙනුවට බොහෝ දෙනෙක් ප්ලාස්ටික්වලින් නිමවූ සැකිලි මිලදී ගනු පෙනේ. බැලූ බැල්මට ඒවා අලංකාර ය. භාවිතය ලෙහෙසිය. පහසුය. එහෙත් විපාකය විශාල ය. වෙසක් සමය අවසන් වීමත් සමඟ පරිසරයේ ගොඩ ගැසෙන ප්ලාස්ටික් ප්‍රමාණය දෙස බැලූ විට ඒ විනාශය මොනතරම් ද යන්න ගැන අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. දේශීයත්වය ඉක්මවා විදේශයන්ගෙන් එන මේ ප්ලාස්ටික් නිර්මාණ නිසා සිදුවන ප්‍රබලතම විනාශයකි ජාතියක් සතු උදාර සංස්කෘතික ලක්ෂණයන්ගෙන් ළමා පරපුර වෙන් කිරීම, දෙවැන්න පහන් කූඩුවක් නිර්මාණය නොකිරීම තුළ දරුවා වෙතින් ආගමික යෙදවීම, ශ්‍රද්ධාව, ක්‍රියාකාරීත්වය ගිලිහී යාම ය. එමගින් සිදුවන්නේ විශාල සදාචාරමය පරිහානියකි.

පහන් කූඩුවක් නිර්මාණය කරමු යැයි ඉල්ලීමක් කරන දරුවන්ට ඇතැම් වැඩිහිටියන් අද පිළිතුරු දෙන්නේ "ඔය වැඩවලට කාලය නාස්ති කරන්න එපා. ඕනෑ තරම් කූඩු කඩේ තියෙනවා අපි එකක් අරගමු"යනුවෙනි.

සුළු යැයි සිතුව ද මෙවැනි මඟ හැරීම් නිසා වන හානිය ගැන වැඩිහිටියන්ට සිතන්ට පවා දැන් කාලයක් නැත.

පෙර මෙන් නොව දැන් සමාජයේ ඇතැම් පිරිස් කාර්ය බහුල බව කියමින්, වෙහෙසකර බව කියමින් ක්ෂණික ආහාරවලට යොමුව තිබේ. ආහාරවලින් සිදු වන්නේ මුලින්ම ගත ලෙඩ වීමය. දෙවනුව සිතද ලෙඩවීම ය. පහන් කූඩුවක් කඩයෙන් මිලදී ගැනීම තුළ ද බාලපරපුරේ නිර්මාණශීලී බව පෝෂණය වන්නේ නැත. අධ්‍යාත්මික සංවර්ධනයක් සිදු වන්නේ නැත. ඒ තුළ ඇතිවන හිදැස පිරවීමට වෙනත් ආදේශකයක් නැත. අනෙක් අතට තමන්ගේ උරුමය, දේශීයත්වයට මුල් තැන දීම පිළිබඳ හැඟීමක් නැත. හීන පෞරුෂත්වය, දීනත්වය මිස පෞරුෂ සංවර්ධනයක් ඇති වන්නේ නැත. ගෙදර තිබෙන දේ නොසලකා වෙළෙඳපොළටම මුල් තැන දීම තුළ අපේ දරුවන් අලසයන් බවට පත්වීම වැළැක්විය නොහැක. සුභරතා ගුණය, සමජීවිකතාව ආදී ගුණාංග කිසිත් පිහිටන්නේ නැත. මහන්සි වී නිමවන දැයෙහි අගය වටහා ගන්නේ නැත. එය අනාගතයට මහත් ව්‍යසනයකි. රටක් රාජ්‍යයක් දිළිඳු වීමට, නිර්මාණශීලී පරපුරක් බිහි නොවීමට මග පාදන්නකි. මේ නිසා එළඹෙන වෙසක් සමයේ මේ අදුරදර්ශී මානසිකත්වයෙන් මිදී තම දරුවන් තුළ අධ්‍යාත්මික සංවර්ධනය ඇති කරමු. ඊට සම්බුදු හිමියන් උදෙසා නිමැවෙන වෙසක් පහන්කූඩුවේ සිටම මූලාරම්භයක් ලබා දෙමු.

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 18 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 07.26 ට ලබයි. 19 වන දා සිකුරාදා අපරභාග 04.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 19 වන දා සිකුරාදා ය.

 මීළඟ පෝය අප්‍රේල් 26 වන සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]