UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කිත් පැසසුම් නොපතන උදාර අරමුණ - පන්නිල ආනන්ද නා හිමි

කිත් පැසසුම් නොපතන උදාර අරමුණ - පන්නිල ආනන්ද නා හිමි

අද වෙසෙන දරු පරපුර රටේ අනාගත ජීවනාලියයි. එබැවින් ඔවුන් වෙත පැවරෙන වගකීම් සම්භාරය සුළුපටු නොවේ. එහෙයින් ඔවුන් ගුණ නැණ බෙලෙන් පෝෂණය කිරීම මෙකල වෙසෙන සැම සතු වගකීම වේ. එවන් උදාර මෙහෙවරක යෙදෙන සංඝපීතෘන් වහන්සේ නමක් බුදුසරණ වරින්වර හඳුන්වා දී ඇත.

අද මෙම කෙටි සටහන තබනුයේ ද උන්වහන්සේගේ මෙහෙවරෙහි තවත් වෙසෙස් අවස්ථාවක් මෙම 20 වන දා ට යෙදී ඇති බැවිනි. එනම් ඌරාපොල ප්‍රාථමික විද්‍යාලයේ පන්නිල ආනන්ද නාහිමි නව තෙමහල් පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පිරිනැමීම ය.

ඓතිහාසික අත්තනගල්ල අරහත්ත රාජමහා විහාරාධිපති ඇමෙරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරයේ සහ තායිවානයේ ථෙරවාද බෞද්ධ විහාරයේ අධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යුග මෙහෙවරක නිරත සංඝපීතෘන් වහන්සේ නමක් වේ.

ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය මෙන්ම, භාෂා ශාස්ත්‍රාදිය මැනවින් හදාරා දශක කිහිපයක් පුරා විදේශ ධර්මදූත මෙහෙවරෙහි නිරතව වැඩ සිටි පන්නිල ශ්‍රී ආනන්ද නායක හාමුදුරුවෝ මෙරටට වැඩමවා සම්බුදු සසුන් කෙත සෝභාවත් කරනු පිණිස අත්තනගල්ල රජමහා විහාරස්ථ ශ්‍රී පතිරාජ පිරිවෙන ස්ථාපිත කළහ. ඊට අවශ්‍ය තෙමහල් ශිෂ්‍ය නේවාසිකාගාර ආදී පහසුකම් සලසා එහි අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලා වෙත ත්‍රිපිටක දහමත්, විදේශීය භාෂා ඤාණයත් ලබාදීමෙහි පුරෝගාමී මෙහෙවරක් සිදු කරති.

ස්වකීය විහාරස්ථ දහම් පාසල ද සංවර්ධනය කරමින් නව ගොඩනැගිලි ආදිය ඉදිකරමින් හැදෙන වැඩෙන දරු පරපුර සුමගට යොමුකරවීමෙහිලා උන්වහන්සේ අප්‍රමාණ නිහඬ මෙහෙවරක නිරතව වැඩ සිටිති.

ප්‍රදේශයේ විහාරස්ථාන කීපයකම අවශ්‍ය විහාරාරාංග ඉදිකරවීමට ද පුරෝගාමී වූ පන්නිල ආනන්ද නායක හාමුදුරුවෝ සුනාමි උවදුර පැමිණි අවස්ථාවෙහි නව නිවාස රැසක් ඉදිකරවීමෙහි අප්‍රතිහත ධෛර්යයෙන් ක්‍රියා කළහ.

වතුපිටිවල මූලික රෝහලේ පහසුකම් රැසක් සංවර්ධනය කළ පන්නිල ආනන්ද නායක හාමුදුරුවෝ සිසු දරුවන් රැසකට මාසිකව ශිෂ්‍යාධාර පිරිනමති.

මේ අතර දැයේ දූ පුතුන් ගුණ නැණ දෙකින් පෝෂිත මනා පෞරුෂයකින් යුතු දරු පිරිසක් බවට පත් කිරීමේ උදාර අදහසින් පාසල් ගොඩනැගිලි ඉදිකරවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළහ. ඊට විදේශයන්හි වෙසෙන හිතවත් ගිහි පැවිදි විදේශීය පරිත්‍යාගශීලීන්ගේ ද නොමද සහාය හිමි විය.

පටු වාද භේදයෙන් තොරව පාසල් දරුවන්ගේ ම යහපත පතා පාසල් ගොඩනැගිලි ඉදිකරවීමේ ව්‍යාපෘතියේ 22 වන පාසල් ගොඩනැගිල්ල ඌරාපොල ප්‍රාථමික විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල වේ. කිත් පැසසුම් හෝ අපේක්ෂාවකින් තොරව තමන් වහන්සේට කළ හැකි සත්කාර අපේ මව්බිම වෙනුවෙන් සිදු කිරීම උන්වහන්සේගේ කාරුණික අපේක්ෂාවයි. රට දැය සමයට වැඩ ඇති යහපත් දූ පුතුන් දක්නට ලැබීම උන්වහන්සේගේ එම උදාර ආදර්ශවත් මෙහෙවරේ ඒකායන අරමුණයි.

නූගත්කම දිළිඳුකමට පවා හේතුවන අතර බුද්ධිමත් බව ධනවතෙකු මෙන්ම ගුණවතකු ද බිහිකරවීමට හේතු වන්නක් යැයි පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්ගේ උදාර අදහසයි. එම උදාර අදහස සාර්ථක කිරීමට උන්වහන්සේ දරන ඒ අපමණ උත්සාහයට තෙරුවන් බලයෙන් කායික හා මානසික ශක්තිය නිරතුරුව හිමිවේවා.

 

නවම් පුර පසළොස්වක පෝය


නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 19 වන දා අඟහරුවාදා පූර්වභාග 01.11 ට ලබයි. එමදා අපරභාග 09.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 19 වන දා අඟහරුවාදා.

 

 මීළඟ පෝය
පෙබරවාරි 26 වනදා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

පෙබරවාරි 26

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]