UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුරාතන සංස්කෘතිකාංග අනාගතයට රැකදෙන කොළඹ නවම් මහා පෙරහර

පුරාතන සංස්කෘතිකාංග අනාගතයට රැකදෙන කොළඹ නවම් මහා පෙරහර

" පටු වාද භේද දුරැර ජාති, ආගම් භේදයෙන් තොරව සියලු ආගමිකයන් කොළඹ නවම් පෙරහර සඳහා ඒකරාශී වේ. නවම් මහා පෙරහරේ දී ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයේ සිසු දරුවන්ගේ මූලිකත්වය ගන්නා සංවිධාන ශක්තිය ඒ තරුණ දරුවන්ගේ ශක්තිය වේ. "

තථාගත සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ අසිරිමත් සම්බුදු සිරිතේ සහ සම්බුද්ධ ශාසනයේ ද ඓතිහාසික උදාර සිද්ධීන් රැසක් සිදු වූ පින්බර පොහොය දිනයකි, නවම් පුර පසළොස්වක පොහොය දිනය. සැරියුත් මහරහතන් වහන්සේත්, මුගලන් මහ රහතන් වහන්සේත් තථාගත සම්බුදු සසුනෙහි අගසව් තනතුරු ලබන ලද පූජනීය ඓතිහාසික දිනය නවම් පුන් පෝදා ය. ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදු වූයේ ද, සම්බුදු පියාණන් වහන්සේ මහ සඟරුවන වෙත ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරන ලද්දේ ද අද වන් නවම් පුන් පෝ දිනක ය.

නවම් මහ උදාවෙත්ම අපගේ මනසට නැගෙන තවත් එක් සුවිශේෂී කරුණක් වේ. ඒ කොළඹ නවම් මහා පෙරහර පිළිබඳ මතකයයි. කොළඹ ගංගාරාමය කලකට පෙර ජූලි මාසයේ දී දෙවුන්දර වාචිස්සර නාහිමියන් දවස, ඇසළ පෙරහර නමින් පෙරහරක් පවත්වා ඇත. කොළඹ නවම් මහ පෙරහර පෙබරවාරි 18 සහ 19 දෙදින වීථි සංචාරය කරනු ලබන්නේ මෙවර හතළිස්වනවරට ය.

ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නා හිමි කිරින්දේ අස්සජි හිමි

 

ගංගාරාමාධිපති ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එදා මෙන් අදත් බොහෝ දෙනා හඳුන්වනු ලබන්නේ ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ නමිනි. දෙස් විදෙස් පතළ කීර්තිමත් යතීන්ද්‍රයන් වහන්සේ නමකි ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ.

කොළඹ ගංගාරාමයේ නමකී පමණින් ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝත්, පොඩි හාමුදුරුවන්ගේ නමකී පමණින් ගංගාරාමයත් මනසට නැගෙන අයුරෙන් කොළොම්පුරයට අලංකාරයත්, අභිමානයත් ගෙන දීම සඳහා යුගයේ අවශ්‍යතාවය අනුව නවීකරණය වෙමින් ඓතිහාසික යුග මෙහෙවරක් ඉටු කරන විහාරස්ථානයක් ලෙස ගංගාරාමය ගොඩනැගී ඇත.

ගංගාරාමය යම් දියුණුවක්, අභිවෘද්ධියක් ලබා තිබේ නම්, ඒ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ ශක්තියේ සහ උත්සාහයේ අනගි ප්‍රතිඵල වේ. කොළඹ නවම් මහා පෙරහරේ නිර්මාතෘන් වහන්සේ ගංගාරාමයේ පොඩිහාමුදුරුවෝ හෙවත් ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නායක ස්වාමීන් වහන්සේ ය.

නවම් මහා පෙරහර පිළිබඳ සංකල්පය ගංගාරාමයේ පොඩිහාමුදුරුවන්ගේ මනසෙහි කලක සිට පැවැති උදාර අදහසකි. එවකට අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මැතිතුමා සමඟ සාකච්ඡා කර මෙයට හතළිස් වසරකට පෙර කොළඹ නවම් මහා පෙරහරේ ආරම්භය සිදුවිණි. නවම් මහා පෙරහරේ පළමු පෙරහර පිළිබඳ එසේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාසයක්, දෙකක් වැනි කෙටි කාලයක් තුළ එම පෙරහර ආරම්භ කෙරුණි. එසේ ආරම්භ වූ නවම් පෙරහර දිනයේ දී අසිරියක් මෙන් මහා ධාරානිපාත වැස්සක් පතිත වුව ද ඉතා සුළු වේලාවකින් එය නතර වූ අතර එය පෙරහරට ආශීර්වාදයක් විය.

ගංගාරාමයේ නවම් මහා පෙරහර තෙරුවන් උදෙසා පවත්වනු ලබන පූජෝපහාරයකි. මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව වැඩම කිරීමත්, බුදුරජාණන් වහන්සේගේ සුවාසු දහසක් ධර්මස්කන්ධය මනසට නංවමින් ධර්ම පුස්තක වැඩම කිරීමත්, සිය ගණනක් මහ සඟරුවන වැඩම කරවීමද නවම් මහා පෙරහරේ සුවිශේෂත්වයකි.

කොළඹ නගරයට අලංකාරයක් මෙන්ම, අපේ රටට මහත් ගෞරවයක් නවම් මහා පෙරහර මගින් නිරන්තරයෙන් හිමි වේ. විදේශිකයන් විශේෂයෙන් නවම් මහා පෙරහර නැරඹීම සඳහා මෙරටට බහුලව පැමිණෙන කාලයක් ද වේ. නවම් මහා පෙරහර ආරම්භ වීමට පෙර ඉකුත් 11 වන දා සති පිරිතත්, මල් පෙරහර හතක් පවත්වා එම වාර්ෂික පෙරහර මංගල්‍යයට සූදානම්වීම ද සිහිපත් කළ යුතු වේ.

පටු වාද භේද දුරැර ජාති, ආගම් භේදයෙන් තොරව සියලු ආගමිකයන් කොළඹ නවම් පෙරහර සඳහා ඒකරාශී වේ. නවම් මහා පෙරහරේ දී ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයේ සිසු දරුවන්ගේ මූලිකත්වය ගන්නා සංවිධාන ශක්තිය ඒ තරුණ දරුවන්ගේ ශක්තිය වේ. එම දරුවන්ට නායකත්ව පුහුණුවක් වැනි ය. ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයේ විවිධ ජාතික දරුවන් අධ්‍යාපනය ලබන අතර ඒ සියලු දරුවන් තුළ මේ පෙරහරට ඇති කැපවීම අගය කළ යුතු වේ. එමෙන් ම ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නවම් මහා පෙරහරට ලබා දෙන සහාය අගය කළ යුතු වේ.

උඩරට, පහතරට, සබරගමු සම්ප්‍රදායන්ට අයත් සංස්කෘතිකාංග, විවිධ නර්තන සම්ප්‍රදායන්ට අයත් නර්තන ශිල්පීන් දහස් ගණනක් පමණ, අලි ඇතුන් සිය ගණනකට ආසන්නව සහභාගි කරවා ගනිමින් පැවැත්වෙන මෙම සංස්කෘතික මංගල්‍යය මුළු රටටම ආශිර්වාදයකි.

මාළිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනෙහි අධ්‍යාපනය ලැබූ බොහෝ ස්වාමීන් වහන්සේලා අතීතයේ ගංගාරාමයේ නේවාසිකව සිට ඇත. අනතුරුව ගංගාරාමස්ථ පිරිවෙන ආරම්භ වූ අතර එහි සිය ගණනක් අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සීමා මාලකයට වැඩමවා සන්ධ්‍යා කාලයේ පිරිත් දේශනාවට වඩින ආකාරය සිත් සනහන දසුනක් විය.

එය ව්‍යාප්ත වී පාසල් හැර යන දරුවන් සඳහා වෘත්තීය පුහුණුව ලබා දෙන ප්‍රමුඛ ආයතනයක් ලෙස ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලය මහත් කීර්තියට පත්ව ඇත. එහි වෘත්තීය පුහුණුව ලැබූ කාර්මික පිරිස අති විශාල ය. එසේ අධ්‍යාපනය ලැබූ සිසු දරුවන් මෙරට පමණක් නොව විදේශයන්හි පවා රැකියාවල නිරතව සිටින අතර ඔවුන් ගංගාරාමයේ සුවිශේෂ මෙහෙවර අගයන අවස්ථා ද බහුලව දක්නට ලැබේ. ගංගාරාමයේ එම අර්ථවත් සමාජ මෙහෙවරෙහි ඵල ලැබූ අය එසේ සිටිනු දක්නට ලැබීම ද භාග්‍යයකි. එම වෘත්තීය පුහුණුව ඇතැම් විහාරස්ථානවල ද සම්බන්ධීකරණය කළ අතර ඇතැම් විහාරස්ථාන විසින් අද පවා එය සිදු කරගෙන යනු ලැබේ.

ඒ කාලය පොඩිහාමුදුරුවෝ රුක් රෝපණ වැඩසටහන කෙරෙහි ද මහත් ඕනෑකමින් කටයුතු කළ යුගයක් විය. ඒ නිසාම ගංගාරාම දායක සභාව මගින් පාලනය වන අකුරැස්සේ පිහිටි ඌරුමත්ත වත්ත ද, එහි සේවකයන් දැනුම්වත් කරමින් නිෂ්පාදනාදිය ද වර්ධනය කළේ ය. ආර්ථික වශයෙන් රටට වැඩදායක ලෙස අකුරැස්සේ ඌරුමුත්ත වත්ත සංවර්ධනය කරමින් පැළ ලක්ෂ ගණනක් රෝපණය කළේ ය.

බෞද්ධයන්ගේ අධ්‍යාත්මය සුවපත් කර ගැනීමේ පසුබිම ද පොඩිහාමුදුරුවෝ එහි නිර්මාණය කළහ. ආර්ථික හා කෘෂිකාර්මික වශයෙන් ද එබඳුම මහ මෙහෙවරක් සිදු කළහ. දෙතුන් දහසකට නේවාසික පහසුව ලබා ගත හැකි අයුරෙන් කතරගම විශ්‍රාම ශාලාවක් පවත්වාගෙන යන අතර එමඟින් ද මහඟු මෙහෙවරක් සමාජයට සිදු වේ. කැමැති ආධාරයක් ඊට ලබා දීමට හැකිවීම ද සුවිශේෂ ය. සේවක ආදීන්ට වැටුප් ගෙවීමටත්, ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමටත් මුදල් වැයවීම ද අමතක නොකළ යුත්තකි.

කොළඹ කෝට්ටේ ප්‍රදේශයේ භාවනා මධ්‍යස්ථානයක් ද පවත්වාගෙන යනු ලබන අතර, ඉංගිරියේ පිහිටි මධ්‍යස්ථානය ද සුවසහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට පියවර ගෙන ඇත.

පෙරහර යනු සංස්කෘතික අනන්‍යතාවය ඉස්මතු කරන අවස්ථාවකි. අපගේ සංස්කෘතිකාංගයන් ආරක්ෂා කිරීම වගකීමකි. ඒවා ගිලිහී ගියහොත් මතු පරපුරට ඒවා අහිමිවීමේ අවධානම ද පවතී. පෙරහර නර්තන ශිල්පීන් කලාකරුවන් නඟා සිටුවීමට ද දෙන ධෛර්යයකි. පෙරහරේ ගමන් ගන්නා නර්තන ශිල්පියා ශික්ෂණයකින් කැපවීමකින් හා පේවීමකින් පෙරහරට සහභාගි වේ.

නර්තන ශිල්පීන්ට වේතන ලබා දෙන අතර පාපැදිය, රූපවාහිනි යන්ත්‍ර, මහන මැෂිම්, රන් පවුම් ආදිය ලබාදීමට නවම් පෙරහර නිමිත්තෙන් හැකිවීමද මහත් ශක්තියකි. එමෙන් ම එසේ පිරිනැමූ භාණ්ඩ අතර නර්තන ශිල්පීන්ගේ නිවාස ඉදිකර ගැනීමට අවශ්‍ය සෙවිළි තහඩු ලබාදීම ද සිදු කෙරිණි. රජයේ විවිධ ආයතන සහ පෞද්ගලික ආයතන විසින් ද නවම් මහා පෙරහර සඳහා විවිධ ආධාර උපකාර කරනු ලැබේ.

පෙරහර නැරඹීමෙන් සිත් පහන් කරවන අතර හෙළ කලාවෙහි ආරක්ෂාවට මෙන්ම පෝෂණයට ද ඉන් සිදුවන මෙහෙවර සුවිශාල ය. ආගමික කටයුත්තක දී ශබ්ද පූජා ආදිය පැවැත්වුව ද පෙරහරටම පමණක් ආවේණික වූ පුරාතන සංස්කෘතිකාංග පෙරහරකදී ම පමණක් ඉදිරිපත් කෙරෙන හෙයින් එම සංස්කෘතිකාංග රැක ගැනීමට වෙහෙසෙන ශිල්පීන් ආරක්ෂා කිරීම ද වගකීමකි. මෙවර කොළඹ නවම් මහා පෙරහර පෙබරවාරි 18 සහ 19 දිනවලදී රාත්‍රී 7 ට වීථි සංචාරය කරන අතර පෙරහරෙහි ආශීර්වාදයෙන්, විදේශගතව ප්‍රතිකාර ලබන පොඩිහාමුදුරුවන්ට නිරෝගි සුවය හා දිගාසිරි ප්‍රාර්ථනා කරමු

 

 

නවම් පුර පසළොස්වක පෝය


නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 19 වන දා අඟහරුවාදා පූර්වභාග 01.11 ට ලබයි. එමදා අපරභාග 09.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 19 වන දා අඟහරුවාදා.

 

 මීළඟ පෝය
පෙබරවාරි 26 වනදා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

පෙබරවාරි 26

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]