UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරජාණන් වහන්සේ වදාළ දාන කතා

බුදුරජාණන් වහන්සේ වදාළ දාන කතා

බුදුරජාණන් වහන්සේ තම උපන්ගම වූ කිඹුල්වත්නුවර නෑයන් ඉදිකළ නිග්‍රෝධාරාමයෙහි වැඩ සිටියදී කිරි මව් මහා ප්‍රජාපති ගෝතමිය අලුත් වස්ත්‍ර යුගලක් රැගෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ වැඳ එකත්පස්ව හිඳ ”ස්වාමීනි, මා සතු මේ වස්ත්‍ර දෙක භාග්‍යවතුන් වහන්සේ උදෙසා ම මා විසින් නූල් පවා පිළියෙළ කොට වියන ලද්දකි. ස්වාමීනි, මට අනුකම්පා පිණිස එය පිළිගන්නා සේක්වා”යි ඉල්ලා සිටියා ය.

එවිට බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් “ගෞතමිය, එය සංඝයාට පූජා කරන්න. එසේ සංඝයා විෂයෙහි දුන් කල මට ද පුදන ලද්දේ වෙයි. සංඝයාට ද පුදන ලද්දේ වේ” ය යි වදාළ සේක, දෙවනුව ද, තෙවනුව ද “මට අනුකම්පා පිණිස භාග්‍යවතුන් වහන්සේ ම එය පිළිගන්නා සේක්වා”යි ඉල්ලා සිටියා ය. ඒ සෑම වරක ම පළමු සේ විය.

එවිට ආසන්නයේ සිටි ආනන්ද තෙරුන් වහන්සේ ‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ගෞතමියගේ අලුත් වස්ත්‍ර දෙක පිළිගන්වා සේක්වා. මේ මහා ප්‍රජාපතී දේවි භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාර ඇත්තී ය. කිරි පෙවු මව වූවා ය. අත් පා මනා කොට වැඩුවා ය. පෝෂණය කළා ය. වැදූ මව කලුරිය කළ කල්හි කිරි පෙව් මව වූවා ය. ස්වාමීනි, තිසරණ සරණ ගිය මෝ තොමෝ ආර්යකාන්ත ශීලයෙහි හැසිරෙන්නේ අචල ශ්‍රද්ධා ඇත්තේ චතුස්සත්‍යය අවබෝධ කළේ සැක නැත්තියකි.” ආනන්දය, එය එසේ ම ය. එය එසේ ම ය. (සැක නැත්තේ ය ) ආනන්දය, එනමුත් යමෙක් තම ගුරුවරයා නිසා කුමන තත්ත්වයකට පත් වූවත් වැඳීමෙන්, පෙරගමන් කොට පිළිගැනීමෙන් – දසැඟිලි එකතු කොට දොහොත් මුදුන් තබා වැඳීමෙන්, වෙනත් කුමන ආකාරයේ ගෞරව කිරීමෙන් හෝ චීවර , පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර යන මේවා දීමෙන් (ප්‍රත්‍යුපකාර ) කළ නො හැක්කේ ම ය. ආනන්ද ඒවා සියල්ල පෞද්ගලික කළගුණ සැලකීම වේ.” (මේ අනුව ගෝතමී මාතාවගේ එම වස්ත්‍ර දානය ද පෞද්ගලික දානයක්ම ය) “ආනන්ද මෙවැනි පෞද්ගලික දාන 14 මම මෙහි දී දක්වමි.”

1. අර්හත් තථාගත සම්‍යක් සම්බුද්ධයන් විෂයෙහි දන් දෙයි ද එම පෞද්ගලික දානයකි.

2. පසේ බුදුරජාණන් වහන්සේට දන්දීම

3. තථාගත ශ්‍රාවක රහතන් වහන්සේට දන් දීම

4. රහත් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා පිළිවෙත් පුරන (අරහත් මගෙහි සිටින) ශ්‍රාවකයාට දන් දීම

5. අනාගාමී ඵලස්ථයා හට දන් දීම

6. අනාගාමී ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා පිළිවෙත් පුරණ (අනාගාමී මගට පිළිපන්) ශ්‍රාවකයාට දන්දීම

7. සකෘදාගාමී ඵලස්ථයා හට දන් දීම

8. සකෘදාගාමී ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා පිළිවෙත් පුරන (සකදාගාමී මගෙහි සිටින) ශ්‍රාවකයාට දන්දීම

9. සෝවාන් ඵලස්ථයා හට දන් දීම

10. සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා පිළිවෙත් පුරන (සෝවාන් මගෙහි සිටින) ශ්‍රාවකයාට දන්දීම

11. කාමයෙහි නො ඇලෙන (වීතරාග) බාහිරක තාපසයකු හට දන් දීම, (මොවුහු පඤ්ච අභිඥා සඳහා වෙහෙසෙන කර්මවාදීහු ය)

12. පෘථග්ජන සිල්වතෙකුට දන්දීම (මොවුහු අනුන් නො රවටයි. නො පෙළයි. කපටි නැත. මායා නැත. ගොවිතැනින් වෙළෙඳාමින් ධාර්මිකව ජීවත් වෙයි)

13. පෘථග්ජන දුශ්ශීලයාට දන්දීම ( මසුන්, ඌරන්, ගවයින් වැනි සතුන් මරමින් අනුන් පීඩාකොට ජීවත් වන්නා දුශ්ශීලයා ලෙස ගැනේ)

14. තිරිසන් ගත සත්ත්වයන්ට දන් දීම යනුවෙන් ය. (මේ සතුන් ගැන කීමේ දී සුනඛයාගේ වැනි ගුණයක්, අශ්ව, හස්්ති, ගව ආදීන්ගේ උපකාරයක්, එළු, බැටළු, ගව ආදින්ගේ පෝෂණ ප්‍රයෝජනයක් සලකා දීම මෙහිදී නො සැලැකේ. තමා විසින් පෝෂණය කරන අඹු දරු ආදින් හා තමාගේ ප්‍රයෝජනයක් සලකා නිවසේ ඇති දැඩි කරන සතුන්ට දෙන දීම දානයක් නොව යුතුකම් ඉටුකිරීමකි. සිඟාලෝවාද සූත්‍රයේ දක්වන පරිදි යුතුකමට ද පින් තිබේ. තමා සමීපයට එන ඕනෑම තිරිසනෙකුට දීමේ අනුසස් දැන අනුකම්පාවෙන් දීම මෙහි දී සැලැකේ. ගෙදර සිටින සුනඛයාට කෑම දීම යුතුකමකි. දඩාවතේ යන සුනඛයාට කෑම දීමද පින්කමක් බව මෙයින් කියැවේ)

මේ තුදුස් දානයේම පෞද්ගලික දාන ලෙසින් මෙම දක්ඛිණා විභංග සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. (මේ සියල්ල පෞද්ගලික දාන වනුයේ මක් නිසා ද? ප්‍රතිග්‍රාහකයා (දාන වස්තුව ලබන්නා) ඒ ඒ ගුණයන්ගෙන් යුක්ත අය බව තමා හැඳිනගෙන දීමේ හේතුවෙන් ය)

“ආනන්දය, ඒ දානයන් අතුරෙන් තිරිසන් සතෙකුට යමෙක් දන් දෙයි ද එය අනුසස් සියයක් ඇති දානයක් බව මම කියමි. පෘථග්ජන දුශ්ශීලයෙකුට දන් දීමෙන් අනුසස් දහසක් කැමැති විය යුතු ය. පෘථග්ජන සිල්වතෙකුට දීම සියක් දහසක් (ලක්ෂයක්) අනුසස් ඇත. කාමයෙහි නො ඇලෙන ගෞතම ශ්‍රාවකයකු නොවන බාහිරක තාපසයකුට දන් දීම කෝටි ලක්ෂයක් (කෝටි සතසහස්ස) අනුසස් ඇත. සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා පිළිවෙත් පුරන්නකුට දන් දීම සංඛ්‍යාවකින් දැක්විය නො හැකි (අසංඛේය අප්‍රමෙය) අනුසස් ලැබෙන දානයකි. මෙසේ වු කල්හි යමෙක් මා තථාගත වූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ බව දැන දෙන දානයේ අනුසස් පිළිබඳ කවර කථා ද?

 

උඳුවප් අව අටවක පෝය


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 29 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.52 ට ලබයි. 30 වන දා ඉරිදා පූර්ව භාග 2.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 29 වන දා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 05 වන දා සෙනසුරාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29

Full Moonඅමාවක

ජනවාරි 05

First Quarterපුර අටවක

ජනවාරි 14

Full Moonපසෙලාස්වක

ජනවාරි 20


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]