UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අටුවා රසකතා : වෙසෙස් ගුණැති මහ සඟ රුවන

වෙසෙස් ගුණැති මහ සඟ රුවන

අද අප ඉදිරිපත් කරන්නේ අභිධර්ම පිටකයේ විභංග අටුවාවෙහි සඳහන් භික්ෂූන් වහන්සේලාගේ විශේෂ ගුණයක් වූ පිඬු පිණිස ගමේ හැසිරෙන අවස්ථාවන්හි කිසිවෙකු සමඟ කතා නො කිරීමේ ගුණය පිළිබඳ කරුණු දැක්වෙන කතා ප්‍රවෘත්තියක් ය.

මජ්ක්‍ධිම නිකායේ එන චූලගෝසිංහ සූත්‍රයේ සඳහන් එම කාරණාවන් දැනගැනීම ධර්මාවබෝධය සඳහා වඩාත් පහසු වනු ඇත.

එක් කලක භාග්‍යවතුන් වහන්සේ නාදිත නම් ගම ‘ගිඤ්ජකායසර’ (ගෙඩි ගේ) නම් වූ විහාරයෙහි වැඩ වාසය කළහ. එකල්හි අනුරුද්ධ තෙරුන් වහන්සේ ද, නන්දිය තෙරුන් වහන්සේ ද, කිම්බිල තෙරුන් වහන්සේ ද ගොයිංහ සාලවන නම් වූ ආරණ්‍යයෙහි වාසය කළහ. මෙම තුන් නමගේ ප්‍රතිපත්තීන් පිළිබඳ දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ අතිශය ප්‍රසාදයට පත්ව ඵල සමාවතින් නැඟී සිට උන්වහන්සේලා බැහැ දැකීමට ගෝසිංහ පාලවන නම් ආරණ්‍ය සේනාසනයට වැඩි සේක.

එහි වූ වන පාලකයා වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුවේ ය. දැක භාග්‍යවතුන් වහන්සේ යැයි නො හැඳින උන්වහන්සේට මෙසේ කීය. “ශ්‍රමණයන් වහන්ස, මේ වනයට ඇතුළු නො වන මැනවි. තමන්ට වැඩ කැමැති ස්වභාව ඇත්තා වූ කුල පුත්‍රයෝ තුන් දෙනෙක් මෙහි වාසය කරති. ඔවුන්ට අපහසුවක් නො කරනු මැනවි යනුවෙනි.”

අනුරුද්ධ තෙරුන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ සමඟ කථා කරන්නා වූ වන පාලකයාගේ කතාව ඇසුණි. ඊටපසු අනුරුද්ධ තෙරුන් වහන්සේ වනපාලකයාට මෙසේ කීහ. වනපාලකයෙනි, භාග්‍යවතුන් වහන්සේ නො වළක්වුව, අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ පැමිණියහ” යැයි කීහ. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ ආයුෂ්මත් නන්දිය තෙරුන් වහන්සේද, ආයුෂ්මත් කිම්බිල තෙරුන් වහන්සේ ද යම් තැනක ද එතැනට පැමිණියහ. පැමිණ මෙසේ කීහ. “එන්න ආයුෂ්මතුනි, එන්න ආයුෂ්මතුනි අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ වැඩියහ”යි කී හ.

ඊටපසු පනවන ලද අසුනෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ උන් වහන්සේලාගේ සුවදුක් විචාළහ. එවිට උන්වහන්සේලා ඉතා සමගිව තමන් වහන්සේලා වසන බව පැවසූ අතර, බුදුරජාණන් වහන්සේ සමඟිය සඳහා හේතුවන එම ප්‍රතිපත්තීන් තවදුරටත් විමසන ලදුව අනුරුද්ධ හිමියන් විසින් මෙසේ ඉදිරිපත් කරන ලදී.

“ස්වාමීනි, මෙහි අප අතුරෙන් යමෙක් පළමු කොට ගමෙන් පිඬු පිණිස හැසිරීමෙන් ආපුස එයි ද, හෙතෙම ආසන පනවයි. පානය කළ යුතු ජලය ද, පරිභෝග කළ යුතු ජලය ද, ගෙනවුත් තබයි. යමෙක් පසුව ගමින් පිඬු පිණිස හැසිරීමෙන් ආපසු එයි ද හෙතෙම ඉදින් අනුභවයෙන් ඉතිරි ඇත්තේ වේනම් ඉදින් කැමැත්තේ වේනම් වළඳයි. ඉදින් නො කැමැති නම් නිල් තණ කොළ නැති තැනක දමයි. පණුවන් නැති ජලයක හෝ පාකර හරියි. හෙතෙම ආසන තැන්පත් කර තබයි. පානය කළ යුතු පැන් ද, පරිභෝග කළ යුතු පැන් ද තැන්පත් කරයි. වැඩි ආහාර දමන බඳුන් නියම තැන් තබයි. බොජුන් හල් අමදියි. යමෙක් පානය කරන පැන් තබන කළය හෝ සෝදන පැන් තබන කළය හෝ, වැසිකිළියෙහි පැන් තබන කළය හෝ හිස්ව තිබෙනු දකී ද, හෙතෙම එහි දිය වත්කරයි. ඉදින් ඔහු විසින් එය එසවිය නො හැකි නම්, අතින් සංඥා කිරීමෙන් දෙවැන්නකු කැඳවා දෙඅත් එක්කොට අත් උඩ තබා ගැනීමෙන් ගෙන ගොස් තබයි. ස්වාමීනි, අප ඒ සඳහාවත් කථා නො කරන්නෙමු”. මේ ප්‍රතිපත්තීන් බුදුරජාණන් වහන්සේ විසින් ඉතා අගය කොට සලකා ඇත.

එක් කලක ලක්දිව ගලම්ඛුතිත්ථ නම් ස්ථානයේ භික්ෂුන් වහන්සේලා පනස් නමක් පමණ වස් විසීම සඳහා වැඩම කළ අතර, සැදැහැති දායකයින් විසින් උන්වහන්සේලා පිළිගැනීමෙන් අනතුරුව වස් සමාදන්වීම සඳහා අවශ්‍ය සෙනසුන පිළියෙළ කරදෙන ලදී. එහි දී භික්ෂූන් වහන්සේලා තුළ මෙවැනි කතිකාවක් ඇතිවිය. එනම් ඇවැත්නි අපි මේ වස් කාලය තුළ රහත් නොවී එකිනෙකා සමග කතා නො කරමු යනුවෙනි. මේ සඳහා භික්ෂූන් වහන්සේලා පනස් නම ම එකඟ වූ අතර, ගමට පිඬු පිණිස ඇතුළු වන විට මුඛයෙහි දිය පුරවාගෙන යන්නට වූ හ. ඇතැම් අවස්ථාවක මිනිසුන් පෝය ගැන විමසීමක් කළහොත් උන්වහන්සේලා මුඛයෙහි පුරවාගත් දිය ගිල දමා උත්තර දෙති. එසේ නො අසන ලදහොත් පිඬු පිණිස ගොස් ආපසු වඩින විට සෙනසුන ආසන්න සීමාවෙහි ඉවත දමා යති.

මේ භික්ෂූන් වහන්සේලා මිනිසුන් සමඟ හෝ උන්වහන්සේලා සමඟ හෝ කතාබහ කිරීමක් නො කරන ලද බැවින් මිනිස්සු මෙසේ සිතූහ. “ මේ භික්ෂූන් වහන්සේලා කතා නො කරන්නේ අප සමඟ පමණක ්ද? එසේත් නැතිනම් උන්වහන්සේලා ඔවුනොවුන් සමඟ කතා නො කරත්ද? යනුවෙනි.” එසේ උන්වහන්සේලා ඔවුනොවුන් සමඟ යම් අමනාපයක් හෝ අසමගියක් ඇත්නම් අපි මැදිහත්ව සමගි කරවා කතා කරවමු’යැයි කතිකා කොට දායකයෝ උන්වහන්සේලාගේ සෙනසුන් කරා ගියහ. එහි දී ඔවුන්ට දෙ නමක් එක් තැනක සිටිනු දක්නට නො ලැබුණි. ඔවුන් අතර සිටි බුද්ධිමත් මිනිහෙක් අන් අයට මෙසේ කී ය. පින්වත්නි, කලහකරුන් වෙසෙන තැනක මෙසේ නොවේ. සෑ මළු බෝ මළු ඉතා හොඳින් ඇමැ ද තිබේ. මුස්නු ආදිය ඉතා මැනවින් ක්‍රමානුකූලව තැන්පත් කර තිබේ. පැන් බඳුන් මැනවින් පුරවා ඇත. මෙය උන්වහන්සේලා සතු ගුණයකි, යනුවෙනි මේ වදන් අසා කරුණු තේරුම්ගත් පිරිස භික්ෂූන් වහන්සේලාට කිසිවක් නො කියා ආපසු හැරී ගියහ. ඒ භික්ෂූන් වහන්සේලා පනස් නම ම එම වස්කාලයේ දී ම උතුම් රහත් බවට පත්වූහ.

 

උඳුවප් අව අටවක පෝය


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 29 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.52 ට ලබයි. 30 වන දා ඉරිදා පූර්ව භාග 2.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 29 වන දා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 05 වන දා සෙනසුරාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29

Full Moonඅමාවක

ජනවාරි 05

First Quarterපුර අටවක

ජනවාරි 14

Full Moonපසෙලාස්වක

ජනවාරි 20


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]